Saturday, 9 August 2008

අහේනිය

බත් ගැන කතාවත් එක්ක මට අද මුහුණ දෙන්න වුණ තවත් කතාවක් කියන්න හිතුවා. අද දවල් ආහාරය ගන්න ගිය වෙලාවෙ මගේ නැන්ද කෙනෙක් එක්ක කතාවක් දාන්න අවකාශ ලැබුණා. කතා කලේ ජීවත් වෙන්න අද තියෙන අමාරුව ගැනයි.

මට නම් ඔය ආහාර වල මිල ගණන් ගැන කිසිම අදහසක් නෑ. කෑම බීම ගෙවල් වලට අරන් යෑමේ උවමනාවක් තවම නෑනේ. ඒත් අපේ වැඩිහිටි පරපුර නම් ඒව ගැන විමසිලිමත්නේ. පරිභෝජන ද්‍රව්‍ය වල මිල ගණන් වල විචලනය වීම් එයාල දන්නව. මම දන්නෙ එහෙම ආර්ථික විපර්යාසයක් වෙනව කියල විතරයි.

නැන්ද හරිම දුකින් කතා කරනව එයා ගැන. හැමදේම මිල වැඩිවෙලා ලැබෙන සොච්චම ඒ තරමටම තියෙද්දි. ටික කාලෙකට කලින් රුපියල් 30ට ගත්තු ලුණු පැකට් එක දැන් රුපියල් 45ක් ලු. රට වටේම මුහුද තිබුණට බලන්න ලුණු වලට ගිය කලක්! වෙනද ලුණු පැකට් 3ක් රුපියල් 10ක ඉතිරි මුදල් එක්ක රුපියල් සීයට ලැබෙද්දි දැන් ඒ මුදලම ඉතිරි ලැබෙනවලු ලුණු පැකට් දෙකක් එක්ක. ලයිට් බිල වතුර බිල සියයට එකසිය පණහකට වඩා වැඩි වෙලා.

වෙනද රුපියල් 5000ක් වියදම් කරල ගෙදරට ගන්න බඩු ටිකම ගන්න දැන් 12000ක් යනවලු. මේව හරියටම හරි කියල මම හිතනව. මොකද ඒයාල නුගේගොඩ පාරම්පරික පදිංචිකාරයෝ. කොහොම හරි කඩේ මුදලාලි නැන්දට කියනවලු "නෝන වෙනද ගන්න බඩු ටිකම තමයි අදත් ගන්නේ. පොඩ්ඩක් වත් එහා මෙහා වෙලා නෑ" කියලා. ඇත්තනේ. එකම බඩු ටික වුණාට ඒවයේ මිල දෙගුණයකින් වැඩි වෙලා.

මේ අහේනිය තියෙන්නෙ දුප්පතුන්ට විතරයි. පෝසතුන්ට මේ ආර්ථික වෙනස දැනෙන්නේ නෑ. හරිම වැඩක් තමයි. කොච්චර නෑ කිව්වත් ඇඳුම් සාප්පු වල මාර සෙනග. ඒවයෙ වාහන නැවතුම් හවසට පිරෙනවා හැමදාම. අළුතෙන් දාපු නුගේගොඩ ඩොනල්ඩ් අප්පුහාමිගෙ කඩේ හුස්මක් ගන්න බැරි තරම් සෙනග දකින හැම වෙලේම.

ඇත්තම ප්‍රශ්නය ආදයම් බෙදීයාමේ විෂමතාවය කියල තමයි කියන්න වෙන්නේ. ඒත් ඒ ගැන මෙතන කියන්න ගියොත් කෙලවරක් නැති පැති ගොඩක සරන්න වෙනවා...

දුප්පතුන් අද ගොඩක් කැපකිරීම් කරලයි තියෙන්නේ මේ යුද්ධය වෙනුවෙන්. ඒක ගැන මතවාදත් සෑහෙන්න තියෙනවනේ. මෑත කාලෙකදි මිනිස්සු බහුතරයක් එක අරමුණක් වෙනුවෙන් කැප වුණේ මේ ‍යුද්ධය වෙනුවෙන් තමයි. "අපි ටිකක් ඉවසමු යුද්ධෙ ඉවර වෙනකල්" කියල තමයි බොහොමයක් දෙනා කිව්වෙ. එයාල වෙනුවෙන් හැමදාම යුධ පුවත් ලැබෙනව. ඒවයින් දුප්පතුන් සැනසෙනව ඇති. මේ අහේනිය දරාගෙන.

බලමු යද්ධෙ ඉවර වුණාම (?) මේ ගැටළු විස‍ඳෙයිද කියලා.. ඊට කලින් යුද්ධෙ ඉවර වෙනකල් ඉමුකෝ.

3 comments:

  1. ෆී ගේ නැන්දා කියලා තියෙන්නේ සහතික ඇත්ත.අද කාලේ සිල්ලර බඩු කඩේකට ගිහිං රුපියල් 100කින් එක වේලක් කන්න බඩු ගන්න තියා ‍රපියලේ ෂොපින් බැග් එකක් පිරෙන්නවත් බඩු ගන්න බැරි තරම්. මම නම් අම්මා එක්ක ඉරිදා පොළට යනවා ඒක නිසා බඩු මිල ගැන පොඩි අවබෝධයක් තියෙනවා.මට මතකයි මීට අවුරුදු 4කට විතර කලින් අපේ අම්මා රු.100කින් සතියටම කන්න එළවළු අරගන්නවා දැන් හික් හික්..!
    මම කල්පනා කරන්නේ මාස් පඩි ගන්න අපි මෙහෙමවත් ඉන්නවා කුලී වැඩ කරන දවස් පඩියට වැඩකරන මිනිස්සු කනවද ලෙවකනවද? ඉගන ගන්න ලමයි 2ක් 3ක් ඉන්න පවුල් වලට බුදු සරණයි දෙවි පිහිටයි...!
    කඩ දිහා බලද්දි නම් දුප්පත් පෝසත් වෙනසක් නෑ කියලයි මට නම් හිතෙන්නේ මොකෝ මිනිස්සු තමන්ගේ නැති කම ලොකෙට පෙන්නන්නේ නැහැනේ ඉතිං බඩට නො‍කෑවත් ‍අගේට ඇදලා පැලදලා ඉන්නවා....
    ඔව් අපි බලමු යුද්දේ ඉවර වෙනකම්.....!

    ReplyDelete
  2. මට ඒත් හිතාගන්න බෑ freed මම adsl වලට විතරක්ම මාසිකව රුපියල් 2500ක් ර්‍විතර වියදම් කරනව ....නමුත් ඔය වගේ මුදලකින් ඇතම් විට පවුලක් මාස 1/2 ජීවත් වෙනව...මට freed ට වඩා ඔය හා සම්බන්ධ අත්දැකීම් වැඩියි මම හිතන්නෙ ,මොකෝ කොහෙමත් කොළඔ රැකියා අවස්ථා වැඩියි...ඔන්න ඔය තත්වෙ නිසා දෙයියන්ගෙ පිහිටෙන් ලංකාවෙ හමුදාවෙ කොල්ලන්ගෙන් බහුතරයක් පුරවන්නේ මගෙ ගම් පළාතෙන්..යහමින් පඩියක් ගන්න තියෙන එකම අවස්තාව වැඩි අධ්‍යාපනයක් නැතුව...නමුත් තත්වය ඔහොම තියෙන කොට මම මීට මාස කීපයකට කලින් මට දකින්න ලැබුනු අත්දැකීමක් කියන්නම්...ඔන්න මම එක්තරා අපිට සම්බන්ධතාවයක් තියෙන ආයතනයක dealer conference එකකට waters-edge club එකට ගියා..ඊට පහු වෙනිදා උදේම වෙන වැඩ වගයක් තිබුන නිසා මම ටිකක් කලින් එළියට ආව..මගෙ අප්පේ තියෙන වාහන....එකක් වත් නෑ එසේ මෙසේ... බහුතරයක් over 10 million....මුළු වාහන අංගනයම පුරෝල...ඉතින් කොහොමද ලංකාව දුප්පත් කියන්නෙ...මේක මාර රටක්....ඒත් මම අද අපේ ආයතනයේ බොහොම පොළවට පය ගිහල ඉන්න කළමනානාර තැනත් එක්ක පොඩි කදයක් දාගෙන ඉන්නකොටත් කීවෙ ලංකාවෙ ආදායම් විෂම තාවය පයට පෑගෙන දූවිලි කැටේ ඉදල අහසෙ තරු කැටේ එනකම් විහිදෙනව කියල...නමුත් ඒ හැමොම ජීවත් වෙනව...මේව නම් කියන්නත් හරිද මන්ද ඒක නිසා මම දන්න කියන කෙනෙක් කියල කියන්නම්..මම දන්න කියන පවුලක බලලොන්ට විතරක් මාසෙකට 10000(ඔව් දහදාහක්) යනව..මොකෝ දැන් ඔය බල්ලෙන්ට දෙන කිලෝ 5 pedigree පැකට්ටුවක් රුපියල් 5000ක් විතර වෙනව...බල්ලෙ 3න් දෙනාට මාසෙකට පැකට්ටු 02 ක් විතර යනව...හරි ෂෝක් නේ...

    ReplyDelete
  3. @M & සම්:- මේ අත්දැකීම් දෙකින්ම කියවෙන පොදු දේ තමයි අදටත් ලංකාවෙ හැමෝටම යම් විධියක ජීවන තත්ත්වයක වෙසෙන්න හැකියාව තියෙද්දි මේ සුළුතරයක් පමණත් අති සුඛෝපභෝගී ජීවිත ගෙවන අතරෙ බහුතරයක් යන්තමින් එදාවේල කාල ඉන්න බව. මේක ලෝක ප්‍රශ්ණයක් මම දන්න තරමින්. හැමෝම ඒක තේරුම් අරගෙන තමයි ඉන්නේ. ඒත් මුදල් සියල්ලටම ඉහල නිසා ඒක අතේ තියෙන අය ලෝකයම තමන්ට උවමනා විධියට හසුරවනවා. කොටින්ම ඒ ගැන කතිකාවල් හදන්නේත් එයාලමයි.

    දුප්පතුන්ට ධනවාදී චින්තනය තියෙනවා. ප්‍රශ්ණ අමතක කරන්න ටෙලි Dramaaaaas තියෙනවා.

    අපිට කියන්න වෙන්නෙ ඉතිං හික් හික් කියල තමයි.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!