Friday, 5 September 2008

මොසාර්ට් සහ ස්කොච් විස්කි වලින් පටන් අරන් අමරදේව සහ මහගමසේකර වෙත...

ඊයෙ (2008-09-04) අපේ යාළුවෙක්ගෙ අවුරුදු 55 උපන් දින සාදයට මටත් තවත් තුන් දෙනෙකුටත් ලැබුණ ඇරයුම පිළිඅරන් අපි එහෙ ගියා. නොයෙක් විධියෙ කෑම වර්ග කීපයක් එක්ක තිබුණෙ මීට කලින් ඇසුරු කරල නැති ස්කොච් විස්කි වර්ගයක්. අඳුරු කොලපාට බෝතලේ ලා කහ පාට සැර බීම අපේ උගුර හරහා ගියා. දිවේ ගෑවුණා තවත් සැර මසවුළු. ලොකු උද්‍යෝගයක් එක්ක කට්ටියම චිත්‍රපටි සහ සංගීතය ගැන කතාවකට සෙට් වුණා. අපි සහභාගි වුණ පැදුරු පාටි වලදි ඒව මධුවිතත් එක්ක පැදුරු ජෝගි වුණ හැටි, නැවත ඒ වගේ එකක් කරන හැටි, එදිනෙදා දකින සිදුවීම් සහ අපේ ලොක්කන්ගෙ බයිලා ව‍ගේ නොයෙක් දේවල් අතරෙ අපේ යාළුව‍ ගෙනාව මොසාර්ට්ගෙ ඇල්බම් එකක්. එයා ඒ සංගීතය අහන කෙනෙක් නෙවෙයි. මිල්ටන්, ජෝති රසිකයෙක්. එයා‍ට කොහෙන්දෝ හමු වෙල තිබුණ ඒක. අපි වත් හරියට මොසාර්ට්ව ඇසුරු කරල නෑනේ. ඒ නිසා වහාම අපි ඒක දැම්ම ධාවකයට.

හරිම විවෘත සංගීතයක් අපිව උපරිමයෙන් සුමට කරමින් අපේ පසුබිමින් වාදනය වුණා. අපේ කතාව කිසිම හැල හොල්මනක් නැතිව ගලාගෙන ගියා. කතාව නතර වෙන තැන හිස්තැන් වල තිබුණෙ සංගීතය ආයෙමත්. කොහොම හරි ඊට පස්සෙ ගෙවුණ පැයක විතර කාලය දැණුනෙම නෑ. මම අර කලින් වමනෙ දාපු කවියෙ කිව්ව වගේ මම හිටියෙ මිතුරු කැල අතර ප්‍රේමනීය ප්‍රමෝදයෙන් පූර්ණ වෙලා. මම ඒ ඇල්බම් එක ඉල්ලගත්තා...

ඔයාලට එයින් එකක් දෙන්නම්....

mozart - magical music - energizing the mind body - track 01.mp3


කොහොම හරි නැවත නවාතැනට ආව‍ට පස්සෙ මම ඇහුවෙ මගේ යාළුවෙකුගෙ ප්‍රේම වෘත්තාන්තක්. මධු විතෙන් මත් වෙලා ඒ මොහොතෙ හිටපු හැඟීමත් එක්ක මම ආයෙමත් උපරිමව පිරුණා. යාළුවා එයාගෙ ආදරවන්තිය ගැන කියාගෙන යද්දි වෙනදට මම ගනන් ගත්තෙ නැතත් මේ මොහොතෙ මම සාවධානව අහගෙන හිටිය. එයා ඒක කිව්වෙ හරියට කවියක් වගේ. ඉතිං මම සහ වෙනත් මිතුරන් ප්‍රේමය කවි කල විධිය මට සිහි වුණා. කියලම වැඩක් නෑ. ඒ එක්කම මට මතක් වුණේ මේ සින්දුව. මේක මේ තරම් සුමටව ලියල තියෙන්නෙ අපි කවුරුත් දේවත්වයෙන් සලකන මහගමසේකර. මේ තරම් ලයාන්විතව කි‍යන්නේ ඉතිං අමරදේව මාස්ටර් තමයි.

මුලින්ම ඒකත් අරන් ඉන්නකෝ.

ගී ‍පොතයි මී විතයි



ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි ඔබ සතුයි
ගී පොතයි මී විතයි...

අවන්හල නැති සුරා
ලවන් විත උර උරා
වහස් බැල්මෙන් නුරා
රහස් ගී කිය කියා
ගී පොතයි මී විතයි

මගේ හදවත එයින්
සදාකල් මත් කරන්
කිසිම ගීයක් නොවේ
ඒ තරම් රස නොවේ

ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි
ඔබ සතුයි


මට හිතෙන්නේ සේකර මේ මුළු ජීවිතයෙන්ම මත් වුණ කෙනෙක් කියලයි. එයා එයාගෙ ගැහැණියත් එක්ක ගෙවන්න ඇත්තෙ නිරන්තරයෙන් අළුත් වෙන දිවියක්. නදීක කියනව වගේ...

මේ මනරම් ගීයෙන් කියන්නෙ ගැහැණියක් හරහාත් මත් වීමට ඇති හැකියාවයි. ගැහැණියත් අපේ සම්පත්ගෙ මනෝ කන්ද නගින්න භාවිතා කරන දෙයක්. ගැහැණිය මධුවිත තරම්ම පිරිමි අපව මත් කරනවා. සමහර විට ඊටත් වඩා. ළඟදි මට යාළුවෙක් පෙන්නුව එයා‍ට මාර්ගගතව සම්බන්ධ වුණ පරාජිත පෙම්වතෙක්ගෙ අතක පින්තූරයක්. ඒකෙ හැම තැනම ලේ. අතේ අකුරු කොටාගෙන. මම ඒක දැක්කෙ මල විකාර විධියට මධුවිතටම ඇබ්බැහි වීමක් වගේ. ඒකත් අවශ්‍ය දෙයක් නෙවෙයි ඇත්තටම ගත්තොත්. ජීවිතේ කියන්නෙ ‍එක දෙයක් නෙවෙයි. සමස්තයමයි. ඒ තුල දේවල් අපට හිමි වීම සහ අහිමි වීම හරහා අපි තෘප්තිය හෝ වේදනාව ලබනව වුණාට ඒක ජීවිතයෙන් පලායන්න හේතුවක් නෙවෙයි. ඒ හරහාත් අපට ජීවිතේ විඳින්න පුළුවන්.

අළුතින් ජීවිතය අරඹන්න මොනම මොහොතකවත් කෙනෙක් ප්‍රමාද නෑ.


3 comments:

  1. කියවන්න ආස හිතෙන සටහනක්. තුති.

    "ආදරය සුන්දර වරදකි" කියන අයත් ඉන්නව, "ආලේ මාගෙ ආහාරේ" කියන අයත් ඉන්නව :-)

    ReplyDelete
  2. අද තමයි මුලින් ම ආවෙ. කියවන්න බොහොම ප්‍රිය දේවල් හමු වුනා. ඒ නිසා අවසාන පැමිනීම නෙවෙයි.

    දිගටම "වමාරන්න" :D cheers!

    ReplyDelete
  3. @ foss - බොහොම ස්තූතියි. බලාගෙන යනකොට හැමදෙනාම තම තමන්ගෙ නිර්වචන තුලට ගොනු කරගත්ත එකක් තමයි ආදරය නේද?

    @ ආ - ආවට බොහොම ස්තූතියි. මගේ අනිත් යාළුවො කීප දෙනාගෙ වැමෑරීම් මගෙන් ගොඩක් වෙනස් වෙන එකක් නෑ... ගිහින් බලන්න...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!