Tuesday, 23 September 2008

විප්ලවය - මගේ විප්ලවීය මිතුරන්ට

විප්ලවය


නුඹත් මමත් එක්ව
නොපිට පෙරලුනු ලෝකය
පෙරලන්නට හොඳ පිටට
කරන විප්ලවය
ඇත්තටම කාටද
ලොවටද...
අපටද...

එසේ පෙරලුවත් අප
සිහිනෙන් හෝ ලෝකය
එය පෙරලී පවතීද
සදහටම...

ලොව එතෙක් මෙතෙක්
පිරිපුන් මිනිසුන් නොමැති කල
එසේ වන්නට තැත් දරා
පෙරලෙන්නේ අපම පමණද...

උපන් දා සිට
නා නා විසූක දස්සන
උදේ හවා පානය කොට
මත් වී හිඳින මිනිසුන්
කෙසේ පිලිගන්නද
ඔවුන්ගේ මත් බව...

රජ පෙල පතින් උරුම වූ
බුදුන් සතු වූ බලය
බුදුන් ජීවත් කරවූ සේම
අදටත් වලංගුද එලෙසින්ම
විප්ලවයට...

ජේසුන්ට නොමැති වූ එම බලයම
ජේසුන් කුරුසිපත් කරවූ ලෙසම
වලංගුයි අදටත්
බලය නොමැතිව
ලොව තනන්නන් සියල්ලට
එම සේම...

නමුත් මියැදෙන්නේ
කා වෙනුවෙන්ද
කැපවන්නේ කාහටද
බේබද්දන් වෙනුවෙන්
දිවි පුදන්නේ කුමටද

...

ලොව පෙරලා පලක් නැත
එය නිති ඒ මේ පෙරලෙන
ස්වභාවයේ නීතියට යටත් හෙයින්
ලොවින් එපිටට ගොස්
නුඹට යා හැකි බව දැන
නැවතත් එන්න කූඩුවට
ජීවිතය විඳින්න

ලොව දෙස බැලූ විට
විශ්වය හා සමව ගෙන
අත්‍යුනික කාලයක්
එහි වසන අප
සිහින පමණක් දකිමු

සිහින තුල අපවම සොයා
අපට හමුවූ පසු අප
නිහඬවම
වෙනස් වන ලොව දෙස බලා
සිනාසෙමු
විප්ලවය ඉවත හැර
වෙළෙඳුන්ට විකුණන්න දී එය
බේබදු ලෝකයට
බීමත් ආතල් වලට...


© හරේෂ් එරංග ද සිල්වා
2008-09-23





22 comments:

  1. ලෙනින් සිටියානම් අද
    ඔහුව විකුණන හැටි දැක
    චේ සිටියානම් අද
    ඔහු මෝස්ත්රයක් වී ඇති බව දැක
    මා සමග පියනගනු ඇත
    නුගේගොඩ තැබෑරුම වෙත
    විප්ලවය බැංකුවට උකස් කර

    ReplyDelete
  2. (අත්පොලසන්...)
    නියමම නියමයි!

    විප්ලවය අද මාකට් වෙලා. මානව දයාව වෙනුවෙන් දිවි පිදුවන් අද සුපර්ස්ටාර්ස්ලා වෙලා. විප්ලවය අද life style එකක් trend එකක් වෙලා.

    ඒක ඇතුලේ පදුරක් පදුරක් ගානේ වදන්වල එල්ලී සෙම්බුව ඔලුවෙ තියන් පිපාසෙන් මියයන අය බිහිවෙලා.

    අපි එමු දැන් සාර්ථක විප්ලවයකට..

    හරේ කියුව වගේ ඕනෑම ප්‍රතිඵලයක් තාවකාලිකයි. ඒක ඒ වකවානුවක් තුළ පොදු‍වේ සමාජය විසින් පිලිගනු ලබන තත්ත්වයක්. නමුත් අප පවා මොහොතින් මොහොත වෙනස් වන පුදුගලයින් වන බැවින් කාලයත් එක්කම නැවත පෙරකී ප්‍රතිඵලය නටඹුන් ගොඩක් වෙනවා.
    මමත්වය ඉහලට එනවා. ඒ තත්ත්වය තුලදි අර පෙරකී කැපවීම් නිකන් පුරාවෘත්තයක් බවට පත්වෙලා යනවා.අන්ධ භක්තිකයන් වගේ ඒ මග යන්නන් පිරිස් බිහිවෙනව. ඒ තුලින් ඩුප්ලිකේට් චේල,කැස්ත්‍රෝල මිසක් නිමල්ල,සමන්ල කමල්ල බිහිවෙන්නෙ නැහැ.

    හරේට මතක ඇති මම ලියපු සතුට තුල සිරගතව කියන සටහන. ඒකෙදි මම කියන්න උත්සාහ කලෙත් මීට සමාන දෙයක් තමයි.මනසින් පිඹුරුපත් ගහල ලෝකයක් එක්ක යුද වදින එක නවත්වන්න... ජීවිතය විදින්න..මනුෂ්‍ය ස්වබාවය උපේක්ෂාවෙන් දරාගන්න. අන්න එතනදී එයි පරම සතුටක්.

    ReplyDelete
  3. ඔයා මොන එකක් හින්දා අදම මේ කවිය ලිව්වද මම දන්නේ නෑ..ඒත් අද දවල් වරුවේ මටත් මුණ ගැහුනා විප්ලවවාදියෙක් හුයවල් දෙකකදිම මාරුවෙන් මාරුවට එයා එක්ක කථා කරන්න අවස්ථාව ලැබුනා..මම කිව්වම මම මං ගැන බලාගෙන පැත්තකට වෙලා ඉන්න කැමති කියලා එයා කියනවා එ‍ක හොද නෑ අපි සමාඡය වෙනුවෙන් අපිව ගල්බෝර දාලා හරි පුපුරවා හරින්න ඕනිලු...ඔය සමාඡය හදනවට වඩා මමත් කැමතියි බෝ අයියා කියනවා වගේ මං ගැන බලාගෙන මගේ වැරදි හදාගෙන ඡිවත් වෙන්න....මොන බයිලාවක් කියෙව්වද මංදා..
    කවිය ගැන කියනවා නම් එකේ බුදුන් හා ජේසුස් ව අරගෙන ඔයා පුදුම තර්කයක් නේ ගොඩ නගන්නේ...සමස්ථයක් විදියට මුළු කවියම මගේ හිතට ඇල්ලුවා කියලා මම කියන්නම් ඒ හැර වැඩි යමක් කියන්න තරම් දැණුමක් මට නො‍මැත

    ReplyDelete
  4. @ මරණය -
    ඔබ පියනගන කලෙක
    අපටත් පවසන්න
    මියගියවුන් අවදිකර
    සව්දිය පුරමු
    ඔවුන්ගේ මරණයට

    @ බෝ - මතකයි මතකයි. ලෝකයට ආදරයෙන් සතුට විඳන හැටි ගැන ඔයා නියමෙට කියල තිබුණ. අපි හිතමු විප්ලවය තුලින් නව ලෝකයක් බිහි වුණා කියල. ඒත් අර 1984 වගේ දෙයක් වෙන්න ලොකු ඉඩක් තියෙනව නේද. විප්ලවය තුල හැමෝටම සම අයිතීන් ලැබෙන තත්ත්වයක් උදා කරන්න කලින් ඉටු විය යුතු. පාලනය කල යුතු දේවල් ගොඩාක් තියෙනව. ඒව එක්කෙනෙක් දෙන්නෙක්ට ඕන වුණ පමණින් කරන්න බෑ. ලෝකය මතවාද ගොඩක්නේ. ඉතිං නිවැරදි ක්‍රමය මිනිසුන් අතරින්ම බිහිවෙන්න ඕන. ඒකට හැමෝම එකවගේ කැපවෙන්න ඕන. තනියෙන් යුද්ධ කලොත් අන්තිමේදි කිසිම හරයක් නැති දෙයක් වෙනුවෙන් වන්දි ගෙවන්න වෙයි. හික් හික්.. ඕන නම් ජීවිතය පූජා කරල ටික කාලෙකට ඉතිහාසගත වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. @ සුදුවත හැඳි කත - ගල්බෝර දාල තමන්ව පුපුරවගන්න ඕන නම් කැමැත්තක්. ඔන කෙනෙක්ට තමන්ගෙ මරණය තෝරගන්න විකල්ප තියෙනවනේ.
    බුදුන් සහ ජීසස්ගෙ තත්ත්වයන් දෙක හරහා බොහොමයක් දේවල් වලට පිලිතුරු තියෙනව. අර තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ. හැබැයි අපට අපි ආදරය කරන ටික දෙනෙක්ගෙ වැඩ ගැනත් ඔය අතරෙ බලන්න වෙනව නේද.

    @ මරණය - ඔන්න මරණය ඔයාට මැරෙන්න තවත් ක්‍රමයක්. සමාජය වෙනුවෙන් අරගල කරල දිවි පුදන්න. බෝනස් විධියට ඔයා සමාජය තුල කතිකාවක් වෙයි කාලයක්. ;)

    ReplyDelete
  6. @ B0 - මේ අර වදන් වල එල්ලී පඳුරක් පඳුරක් ගානෙ මියෙන අය ගැන වෙනම කවියක් දාන්නකෝ. ඔය වචන ටිකත් එක්කම.

    ReplyDelete
  7. හරේශ් මාවත් විකුනයිද මචං?? කොහේ ගහල වික්කත් කමක් නැහැ මුන් මාව යට ඇඳුම් වල ගහල වික්කොත් එහෙම???

    ReplyDelete
  8. @ my death - කාන්තා යට ඇඳුම් වල ගහනව නම් ෂෝක්! පිරිමින්ගෙ ඒවගෙ ගැහුවොත් තමා අවුල.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ලෝකයේ යම්තාක් විප්ලවයන් ඉතිහාසය තුල සිදුවූවත් ඒ සියලු විප්ලවයන් මිනිස් සන්තානයේ හට ගන්නා රාග,ද්වේෂ,මෝහ වලට යටවෙනවා නේද?අවසාන ප්‍රතිපලය නැවත මුලට ගමන් කිරීම ‍නොවේද?සැබෑ විප්ලවය නම් තමා තුල තිබෙන්නාවූ ඇලීම් සහ ගැටීම් වලින් නිදහස් වීමය.එවිට තමා නිදහස් වනු ඇත.ඔබේ කවිය වදන් භාවිතය ආකෘතිමය වශයෙන් මගේ සිත්ගනී. සුභපැතුම්

    ReplyDelete
  11. විප්ලවයට බොහෝ අර්ථ කථන තියෙනවා. ඒත් ඒකේ යථාර්තය තේරුම් කරන අපූර්ව නිසඳැස් අකෘතියේ කවියක් මේ. බොහෝ තැන්වල fashion එකට චේ, කාල් මාක්ස් වැනි විප්ලවීය චරිත යොදාගත්තත්, දන්නවාද චේ කියන්නෙ කවුද කියලාවත් නොදන්නා පිරිස් මට මුණගැහිලා තියෙනවා හද්දා පිටිසර ගම්වල,ගොවිතැනක් බතක් කරගෙන, ගේ දොර වතුපිටි රැකගෙන, සාමකාමීව ජීවත්වෙන, ජීවිතේ විඳින, සැබෑ විප්ලවය ලෙස මම දකින්නේ, ජීවිතේ ජීවත්කරවන්ට කරනා අරගලයයි. මම වැරදිද නොදනිමි. පවතින ක්‍රමයට පහර ගහලා, ලෝකේ පෙරලන්න හැදුවට ඒක එහෙම කරන්න බෑ කියන එක හරේෂ් ගේ කවියෙන් හොඳට පැහැඳිලි වෙනවා. ස්තූතියි මල්ලී දිගටම ලියන්න..

    ReplyDelete
  12. @ හේම - ඇත්ත අයියේ... අවසානයෙදි ආයෙමත් මුලට ගිහින් ආයෙත් කැරකෙන නොනවතින ගමනක් මේක. යම් කාලයක් විධිමත් වෙයි. ආයෙත් පරණ කතන්දරේට යනවා ඉක්මනින්ම. හැමෝම තමා තුල මේ විප්ලවය කරගත්ත නම් විප්ලවයක් ඕන නෑ.

    @ බෝ මෙනෙවිය - ජීවිතේ ජීවත් කරවන්න විවිධ අයට විවිධ මට්ටමින් දතකන්න වෙලා. සමහරු නිකං ඉඳන් සුවසේ ජීවත් වෙන අතරෙ සමහරු දවසට පැය 12කට වඩා වැඩ කරලත් සැපක් ගැන නොදැන ඉන්නව. මේ වෙනස නැති කරන්නයි අරගලය ඕන වෙන්නේ. මිනිස්සු සමාන කරන්න. ඒත් ඒක මිනිසුන් තුලින්ම පැමිණිය යුත්තක්. පැත්තක ඉන්න අය කෑගැහුවට වැඩක් නෑ. ක්‍රමය නම් කවදත් අලයක් තමයි. ඒත් ඒක වෙනස් කරන්න වෙන්නෙ අල වුණ ‍මිනිස්සු වෙනුවෙන්. මොන දහිරියක් දාල හරි ක්‍රමය වෙනස් කලත් ඊට පස්සෙ ඒක පවත්වගන්න කට්ටිය ආයෙත් කෙලින්නෙ බුල.

    @ බෝ මහත්මිය - ඔයාට කවුරු හරි කිව්වද නැත්නම් ඔයාම හිතල වෙනස් කලාද මුල් comment එක? ;) දාපු කමෙන්ට් එකක් edit කරන්න පුළුවන්කම bloggerල තවම දීල නෑ. මොනා වුණත් හිත ඇතුලෙ කවිකාර තමාම හොල්මන් කරන එක කොයි තරම් ශෝක්ද?

    ReplyDelete
  13. අපි හැමෝම විප්ලව වාදියෝ....විප්ලවය චේටවත්,විජේවීරටවත් අයිති දෙයක් නෙවෙයිනේ......මට ජීවිතේ සැදෑ සමයට එනකන් නොතේරුනු දේ උඹලට නව යොවුන් වියේදීම තේරිලා........ඒ අතින් උඹලා දක්ෂයෝ.....නමුත්.....ඔය වයසෙදිත් නොකරන විප්ලව කවදා කරන්නද? උඹලගෙ වයසෙ එවුන් විප්ලව නොකලොත්......විප්ලවයට මොනවා වෙයිද?

    හරේෂ් අහන පැනයට එයා කියන දේ තුලම පිළිතුරු තියෙනවා!!!!

    ReplyDelete
  14. තවත් අපූරු කවියක් හරේශ්ගෙන්.

    විප්ලව කරන එකේ නම් වරදක් දකින්නෙ නැහැ මමත්. නමුත් ඕනිම විප්ලවයක් පසු පස තියෙන්නෙ පහත අරමුණු 3කින් එකක්.
    1) මුදල්
    2) භූමිය
    3) ස්ත්‍රීයක්

    ඉතිහාසේ පුරාවටම ඔය හේතු 3 නිසා විප්ලව නම් කීයක් ඇතිවෙන්න ඇත්ද?

    නමුත් ඉතින් කවියෙන් කියන්නා වාගේ විප්ලව කරන්නෙත් ෆැශන් එකට හෝ පටු ලාභ බලාගෙන නම් කිසිම විප්ලවයකින් ඵලක් නැහැ තමයි.

    මේකත් අර අපි අපිටම හිනාවෙන ජාතියේ කවියක් හික් හික්

    ReplyDelete
  15. තව දෙයක්..

    ඇත්ත. ජෙසුස්ට, බුදුන්ට වෙනස් කරන්න බැරි වුනු මිනිස්සු එක්ක මොන විප්ලවද? ලොල්

    සෝ හැමදාම කරනව වගේ, පෙරලුනු පිට හොඳයි කියාලා - තැනේ හැටියට ඇණේ ගහල ජීවිතේ විඳිමුද?

    ReplyDelete
  16. බෝ නංගියේ..ඔබේ මේ වචන දෙස නැවත වතාවක් සැලකිල්ලෙන් බලන්න.."මේ වෙනස නැති කරන්නයි අරගලය ඕන වෙන්නේ. මිනිස්සු සමාන කරන්න. ඒත් ඒක මිනිසුන් තුලින්ම පැමිණිය යුත්තක්." මොකද හිතන්නෙ නංගියේ??කෙලෙස් වලට යට උනා නේද??තමාට එරෙහි තමාගේ අරගලය තුල හැරෙන්නට අන් සෑම තැනම තිබෙන්නේ අන්‍යයන් කෙරෙහි ද්වේශය නේද?අනෙක මිනිසුන් සමාන වන්නේ කෙසේද නංගියේ..නානත්ත කායා නානත්ත සංඥා...විවධ ශරීර..විවිධ හදුනාගැනීම්..මේ ජීවිතයේ ලැබී ඇති රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන මේ සියල්ල ඇති උනේ කලින් භවයේ සිදුකල අවිද්‍යා පච්චයා සංඛාර නිසා නේද??

    ReplyDelete
  17. @ ජයා - ගොඩක් ස්තූතියි අයියේ! ඔව් පැණය සහ පිලිතුර දෙකම තියෙනවා. මිනිස්සු දේවල් වටහාගැනීමේ හැකියාව අතින් ඉදිරියෙදි සෑහෙන්න දියුණු වෙනවා. පරිණාමය වෙන නිසා අපි තවම. දැන් ඔය සුපුන් සුදාරක වගේ මල්ලිල තවම සාමාන්‍ය පෙල වත් නොකලට අවබෝධය සහ දැනුම අතින් සෑහෙන්න ඉහලයිනේ. ඒ වගේ අද ඉන්න පොඩි අය සෑහෙන්න දියුණුයි ඒ කාලෙ අපට වඩා. මොකද දැනුම හොයන අයට ඕන තරම් දැනුම තියෙනවා දැන්.

    ReplyDelete
  18. @ එක්ස්පී - ඇත්ත මචෝහ්! මේ හේතු තුනට අමතර එකක් නැති තරම්. නමුත් සමහරු ඉඳල තියෙනවනේ ජීවිතයෙන්ම කැපවුණ. දන් නෑ ඉතිං අපි ඉතිහාසය කියල දන්නෙ කතන්දර ටිකක්නේ එක එක අය ලියපු. ඒ නිසා ඒක විශ්වාස කරන්නත් බෑ. අපි හැමෝමත් අර ජයා කිව්ව වගේ විප්ලවකාරයොනේ. මම නම් විප්ලව කරන්නෙ ඕන අය වෙනුවෙන් විතරයි. මාව තේරෙන අය ඇවිත් බලපල්ලා. නැතිනම් පලයල්ලා. එපමණයි. ආවොත් මාත් එක්ක යන්න පුළුවන් මාවත් බලාගෙන. නැත්නම් මම දන්නෙ නෑ.

    ඔයාගෙ දෙවෙනි කමෙන්ට් එක ගැන කියනව නම් ඒක හරි තමයි. මොකද අපි ඉන්න අවකාශය තුල අපි කරන දේට සීමා එල්ල වෙනව. මම කිව්වෙ බේබදු සමාජයක් වෙනුවෙන් මැරිල වැඩක් නෑ කියල. ඒ නිසා ඔන්න මම නම් මගේ පාඩුවේ ඉන්නව. මාව තේරෙන අයත්, ම‍ට තේරෙන අයත් එක්ක කතා කරල දියුණුවෙන්න බලනව. ඔය අස්සෙ මගේ ජීවිතේ ගෙවනව.

    ReplyDelete
  19. @ හේ - බලමු මේකට බෝ නංගි පිලිතුරු දෙයිද කියලා. ඔයා කියන කතාව මට අදාලම නෑ අයියේ. නමුත් මිනිස්සු සමාන ‍වීම දැනට පමණයි සාපේක්ෂ. ඒ ගැන මිස්ට බෝ ලේ වලින් ලියල තියෙනව. මිනිස්සු සම අයිතීන් එක්ක පවතින සමාජයක් ඕන නම් දවස් කීපයක් තියෙයි. ආයෙ කැරකිල්ල පටන්ගන්නවා. ඒත් ඒ ගැනවත් කතා නොකලොත් අපට ඉතිරි වෙන්නෙත් අර විසූක දස්සන ටික තමයි. හික් හික්..

    අනික මේ වචන නම් මොනාද...

    ReplyDelete
  20. ඔබ හිනා වෙන්නෙ කොහොමද
    මට කියා දෙන්න ඒ කොහොමද
    ....
    මීටත් වඩා කියන්න දෙයක් තියේද හරේ...අපි මේ ගැන විවිධ වථා වලදි ඔළුවෙන් හිටගෙන කථා කරල ඇති නේ...

    "වෙනස් වන ලොව දෙස බලා
    සිනාසෙමු
    විප්ලවය ඉවත හැර
    වෙළෙඳුන්ට විකුණන්න දී එය
    බේබදු ලෝකයට
    බීමත් ආතල් වලට.."

    ඇස් දෙක‍ ලොකු කරල බලල සීලිම දිහා බලගෙන තර්ක කරන්න තමා වෙන්නෙ...

    ReplyDelete
  21. හරේශ් - මම ඔයාගේ එකේ වැරදිලා බෝමන්ට කොමෙන්ට් එකක් ටයිප් කරලා දාලා, ඒකයි ඒක ඉවත් කරේ, දන්නවනේ එහෙ මෙහෙ දුවන ගමන් ලොග් වෙලා ටිකකින් ආයෙත් දුවලා ඇවිත් ඉඳගත්තම එක පාරට මතක නෑ ඉතින්, අසිහියෙන් වැඩ කරනවට හොඳ පාඩම. වැඩිය දුර හිතන්න එපා, මගේ අතපසුවීමක්

    ReplyDelete
  22. @ sam -ඇත්ත බං! අපිට තවත් කතා කරන්න දෙයක් නෑ වගේ නේ. එකම දේ කරකවන එකනේ කරන්නේ. හික් හික්...

    @ ‍මිස් වුණ ‍බෝ - මම ඔයා ඒක අයින් කරන්න කලින් දැක්කා. මම දන්නවා වුණේ මොකද්ද කියලා. අවුලක් නෑ. ඕව ඒම තමා.. හිත හීලෑ නෑනේ :P ;)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!