Saturday, 27 September 2008

නුගේගොඩ අං දිය

අද (2008-09-26) මම හවස 3ට විතර නුගේගොඩ බෝ ගහ ගාව හන්දියට ගියේ පරණ නුගේගොඩ හන්දිය පැත්තට යන බස් එකක් ගන්න. වෙනදට සීරුවට තමන්ගෙ වාරයෙදි හන්දිය හරහා ගමන් කරන වාහන රොත්තක්ම අද හන්දිය මැද විවිධ දිශා 6-7කට හැරිල පොදි ගැහිල තිබුණ. මෑතකදි නොදැකපු දසුනක් නිසා බලද්දියි තේරුණේ වර්ණ සංඥා පුවරු වැඩ නොකරන බව. කොහොමත් වෙනදට එහෙම නොවෙන වෙලාවලදි එතන පොලිස් නිලධාරියෙක් ඉන්නව වුණාට අද කවුරුත් නෑ. ඉතිං හැමෝම එක පාර හන්දියෙන් එපිටට යන්න වලි කනවා. කාටවත් යන්න බෑ. කවුරුවත් පස්සට ගිහින් අනිත් පැත්තක ‍ඉන්න කෙනෙක්ට ඉඩ දෙන්නෙ නෑ වගේම කාටවත් පස්සට ගන්නත් බෑ. මොකද පිටිපස්සෙ වාහනේ තියෙන්නෙ පස්ස ඉඹින්න ඔන්න මෙන්න. යන්තම් ඉදිරියෙ තියෙන වාහනේ අඟල් කීපයක් ඉදිරියට ගිය ගමන් කට්ටියම ඒ ගානටම තමන්ගෙ වාහනෙත් ඉදිරියට ගන්න නිසා ආයෙ පස්සට යන්න ඉඩක් නෑ. ඉතිං හැමෝම මැද හිරවෙලා.

කොහොම හරි ඔන්න තම තමන්ගෙ දක්ෂතාවය උඩ කට්ටිය හන්දිය පහු කරමින් හිටියා. යතුරු පැදි අයියල අස්සෙන්, හරහට දාල හැමෝටම වඩා ඉක්මනින් ගියා. මම ගොඩවුණ 163 බස් රියේ රියදුරු මහත්තයත් ලොකු යුද්ධයක් කරල හන්දිය පහුකලා. ඊට පස්සෙ එයා ඇරිය විදුලිය වගේ. මොකද එයාගෙ යාළුවෙක් පිටිපස්සෙන් එමින් හිටිය.

මට මේ යක්කු මොනව කරගත්තත් එකයි.

මට කියන්න ඕන කලේ පාලනය ගැන. වෙනදට වර්ණ සංඥා පද්ධතියට අනුව සීරු මාරුවට යන උදවිය ඒව නැති වුණාම පුක කැඩිච්ච කඩි වගේ. තමන් විතරයි කියන හැඟීමෙන් යාගන්න දඟලනවා. ඒකට එයාලට වරදක් කියන්න බෑ. system failures වලදි usersල තමයි ෆිස්සු කෙලින්නේ. කොහොමත් ස්වභාවිකවම මිනිසා ප්‍රචණ්ඩකාරී සත්ත්වයෙක්නේ. එහෙම නොවුණ නම් මෙහෙම ලෝකය වෙනස් කරගෙන ඒක යම් විධියකට පාලනයකුත් කරගෙන ඉන්නෙ කෙහොමද? මිනිසාට ස්වභාවික සත්ත්වයන්ගෙන් අභියෝගයක් නැති හින්දම මිනිස්සු තමන්ගෙ දැනුම වෙනත් දේවල් වලට යෙදවීමේ ප්‍රතිඵලය තමයි මේ විධියට දියුණු(?) වීම. ඒ දියුණුව හරහා මිනිස්සුන්ට තව දුරටත් ප්‍රචණ්ඩකාරී වෙන්න ඕන වුණේ නැතත් වෙනම ආකාරයකට මේ ප්‍රචණ්ඩත්වය පැවතුණා සහ පවතිනවා අළු යට ගිණි පුපුරු වගේ.

කාලයක් යද්දි මේ ප්‍රචණ්ඩත්වය සහ බලය පිලිබඳ හැඟීම එක්ක විවිධ කණ්ඩායම් සහ පන්ති වලට සමජය බෙදීමත් එක්ක ඒක වෙනත් විධියකට සමථයක් කරන්න ආගම් සහ දර්ශණයන් බිහි වුණා. නොයෙක් පාලන ක්‍රම බිහි වුණා. ඒ හරහා මිනිස්සු පාලනය වුණා. යම් ක්‍රමයකට හැඩගැහිල ඉන්න පුරුදු වුණා. කාලයක් තිස්සේ මේක වෙමින් තියෙනවා තවමත්.

ඒත් ඒ නිසා කියන්න බෑ ඒ හුරු වුණ දේවල් අපි තුල මුල් බැහැල කියල. අවස්ථාවක් ආපු ගමන් අපි ආයෙත් අර වනචාරී පිරිසම තමයි නේද? මේක මාත් ඇතුලත්ව හැමෝටම පොදුයි. ඉස්කෝලෙ යන කාලෙ පන්තියෙ ගුරුවරයෙක් නැත්නම් පන්තියෙ එකම ගාලගෝට්ටියක්. ආයතනයේ ලොක්ක නැත්නම් සේවකයො ඉන්නෙ ගෙදර ඉන්නව වගේ. නුගේගොඩ හන්දියෙදිත් ඒක හොඳටම පැහැදිලි වුණා. අන්තිමේ බලද්දි අපි හැමෝම මේ සිස්ටම් එක ඇතුලෙ තියෙන සීමා වලට හිර වෙලා තමයි ඉන්නෙ. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ පාලනය කරල තියෙන හැඟීම් සේරම එලි බහිනව අවස්ථාවක් ආ ගමන්. ඒ වෙලාවට අපි ඉගෙන ගෙන තියෙන, පුරුදු වෙලා තියෙන, අවබෝධ කරන් ඉන්න කිසි දෙයක් මතකවත් නැති වෙයි.

ආගමික අදහස් අනුව නම් කියවෙන්නේ ඒ නිසා පසුව පසුතැවිලි වෙන්න වෙන බවයි. මොකද මේ හිරවුන හැඟීම් ඔස්සේ තමයි පාපයන් සිද්ධ වෙන්නේ. ඒ පාපය සිදුවෙන අවස්ථාවෙදි ඉගෙන ගත්තු කිසිම දෙයක් හිතේ නෑනේ. ඉතිං සිද්ධ වෙන දේ ගැන වැටහීමක් නෑ.

හික් හික් කතාව ඉවර කලේ කිසිම තේරුමක් නැති දෙයක් ගැන කියවල. කවුරු හරි අහයි ආගම් තේරුමක් නැතිවෙන්නෙ කොහොමද කියල. ආගම් වල නම් ‍‍තේරුමක් තියෙනව තමයි. ඒත් අද කවුද ආගම් වල කියන ඒව හරියට තේරුම් ගන්නේ....




11 comments:

  1. නුගේගොඩ!!!!
    ලංකාවෙ පිස්සු කෙලින හන්දියක්නෙ!!

    මිනිසා දියුණු වුනත්,ඔහු මුල් තැන දෙන්නෙ තමන්ගෙ තාක්ෂණික දියුණුවට.ඒ කියන්නෙ ලෞකික දියුණුව...ඒ තුල ඔහු බිසි වීම නිසා අධ්‍යාත්මය දියුණු කරගන්න වෙලාවක් නැහැ.තමන්ගෙ තාක්ණීක දියුණුව ගැන කොයිතරම් උදම් ඇනුවත් මිනිසා දියුණු කරගෙන තියෙන්නෙ තමන්ගෙ එක් අර්ධයක් පමණයි...ඉතින් ශිෂ්ටාචාර ගත වූ මිනිසා සහ වනචාරී මිනිසා අතර වෙනස තාක්ෂණය එහෙමත් නැත්නම් දැනුම පමණයි...
    මොකද සංස්කෘතිය කියන දේ වෙනස් වෙන්නෙත් තමන්ගෙ දැනුම මත නිසා...
    මිනිස් මනසේ මූලික චින්තනය එකමයි...
    හරියට Oparating Systems(OS)වෙනස් වුනත් පරිගනකයේ දෘඩාංග වල Systems වෙනස් වෙන්නෙ නැහැ වගේ!!

    නුගෙන් ගොඩ වුන නිසා නුගේගොඩ වුනා!!
    ගුවන් පාලම හැදුවට පස්සෙ නම වෙනස් වෙයිද?? :D

    ReplyDelete
  2. මාත් හොදට බලන් ඉදලා තියෙනවා, වට රවුමක පොලිසියෙන් නැත්නම් ගමන හරිම ඉක්මන්...... :) .

    ReplyDelete
  3. කොච්චර අඅනවශ්‍ය නීති රීති සහ නිදහස ගැන කතා කලත් නිදහස ලැබුන විටදී තමන්ගේ හැරමිට්ට වනලා අනිත් එකාගෙ නහය කඩන සිද්ධි නිසා හරිම ජංජාල තමයි වෙන්නෙ නේද.

    දැන් බලන්න අපි මුලින්ම පාපැදියක් පුරුදු වෙද්දි කවුරු හරි පිටිපස්සෙන් අල්ලන් ඉන්නව..අපි සීරුවට යනව. දවසක බලද්දි එයා අපි නොදැනුවත්වම ඒක අත ඇරල. මුලින්ම අපිට බයයි. පස්සෙ අපිට තේරුම් යනව දැන් අපිට සයිකලේ හුරුයි කියල. ඊට පස්සෙ ඉතින් අපි තනි රෝදෙන් යනව,බ්රේක් තිබිද්දි කකුලෙන් බ්රේක් ගහනව වෙට්ටු දානවා.
    අනේ මන්දා ඉතින්..අපි විතරක් පාලනය වෙලා ඉදලත් බැහැ. නොවීත් බැහැ.

    ReplyDelete
  4. @ SK - අද නුගේගොඩ හන්දිය දූවිලි පුරයක් වෙලා තිබුණ. ගොඩනැගිලි ඉවත් කිරීම් සහ පදික වේදිකා කැඩීම් නිසා...

    @ පීවී GM - ඇත්ත ඇත්ත. සංඥා පද්ධති කෙසේ වෙතත් පොලිස් කට්ටිය නම් අනනවා. හික් හික්...

    @ බෝ - හික් හික්.. යමෙක් අල්ලන් ඉන්නකල් තියෙන සීමාව නිදහස ලැබුනම බිඳ වැටිල යනව නේද. ඊට පස්සෙ ඉතිං කඩාගෙන යනවා... මේ නිදහස කියන දේ භාවිතා කිරීමෙදි ටිකක් ප්‍රවේසම් වෙන්න වෙනව. මොකද ඇත්තටම සමහර දේවල් වලදි අපි නිදහස බලාපොරොත්තු වුණාට සාමූහිකය ඇතුලෙ අපේ ඒ නිදහස වෙනත් අයට බාධාවක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. ඔක ඉතිං නුගේගොඩ වාහන සම්බන්ධයෙන් විතරක් නෙවෙයි කොතනත් වෙන දෙයක්..ඒ අතින් බලනකොට අපේ මිනිස්සු‍න්ගේ ස්වයංපාලනය හා ස්වයංවිනය තියෙන්නේ බොහොම පහළ මට්ටමක කියලයි මම හිතන්නේ..අනිත්‍ කෙනාට තමන්‍ට පෙර අවස්ථාව ලබා දෙන එක නිග්‍රහයක් කියලා හිතනවද මන්දා...නමුත් අපි මේ ක්‍රමය ‍තනි තනිව හෝ වෙනස් කරන්න දායක වෙන්න ඕනි කියලයි මම හිතන්නේ...

    ReplyDelete
  6. මේක ඇතුලෙ කවුරු හරි කෙනෙක් ස්වයං විනයක් ඇතුව ඉන්න හැදුවොත් එයාට කවදාවත් තද බදෙන් එලියට යන්න බැහැ ඒ වගේම තමන් පිටිපස්සෙන් ඉන්න අයගෙන් කුණුහරප නොඅහ ඉන්නත් බැරිවෙනව. ඒකෙන් වෙන්නෙ හැමෝම තව තව හිර වෙන එක මිසක් නිදහස් වෙන එකනම් නෙමෙයි. හැමෝම විනීතයි නම් හොඳයි එත් ටික දෙනෙකුට විතරක් විනීත වෙලා මේක හදන්න අමාරුයි.

    ReplyDelete
  7. මේක ලිපියට අදාල නැහැ. නුගේගොඩ හංදිය කිවුවම මට මතක් වෙන්නෙ මෙච්චරයි
    බෝ ගහ, ගෑණු ලමයි, ඩොමීනියන් බාර් එක. ඒකනිසා වෙන මොන තද බද තිබ්බත් හංදියෙදි මගේ ඔලුවෙ වැඩකරන්නෙ ඔය ටික විතරයි ;-)

    ReplyDelete
  8. @ M - ඇත්ත ඇත්ත.. ඒත් ඕකමනේ නැත්තේ. අර මරණය කියපු දේ තමයි අන්තිමේ වෙන්නේ. ස්වයං විනය තිබුණොත් පරම්පරාවටම බැනුම් අහගන්න වෙනවා සහ කවදාවත් හන්දිය පහු කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා හැමෝම හදන්නෙ කඩාගෙන යන්න...

    @ ම.ම. - හික් හික්.. මටත් ඉතිං ඩොම් එක සහ ගෑණු ළමයි තමයි! 20 වෙනිද පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න කට්ටිය සෙට් වෙනකල් නුගේගොඩ බෝ ගහ ගාව ඉඳන් මම ලස්සන නංගිලා කී දෙනෙක්ගෙ ඇඳුම් ගැලෙව්වද?

    ReplyDelete
  9. නීතියක් තියෙන එකෙන් සමාජයේ හැල හැප්පීම් වෙන්න තියෙන අවස්ථා අඩු වෙනවා කියලා හිතෙනවා. ඒවගේම ප්‍රබලයා ජය අරගෙන දුබලයාට තැනක් නැතිවෙන අවස්ථා මග හැරෙනවා. පෝලිම්, වාහන සංඥා , වෙලාව වැනි දේ අපි කොයිතරම් විවේචනය කලත් සමාජයේ පැවැත්මට ඕනා කියලා හිතෙනවා. ඔන්න බලන්නකෝ, හෝන් ගහන්න තහනම් කියලා නිතියක් ගෙනාවොත් මිසක ඔය හෝන් එකෙන් වාහන එලවිල්ලත් නතර වෙන්නේ නෑ. ඒකට බලන්න එපායැ මේ යුරෝපාකරයේ රටවල හෝන් සද්දයක් ඇහෙන්නෙම නැති ගානයි.

    ReplyDelete
  10. apiwa system athuley kotu karata idak thibba gaman eliyata enawa ney...ehema enne naththe ehemath ekek...eka uge hodada naththam manasika gataluwakada kiyana eka nam tikak hithala balanna oney...~bahu jana sukaya system aagaya~ kiyanne okata wenna athi ney

    ReplyDelete
  11. @ බෝ - ඇත්ත... යුරෝපීයයන් අපට වඩා සංස්කෘතිකව දියුණුයි දැන්. එයාල නිවැරදිව ඒක වෙනස් කලා. අපි තාම එල්ලිලා...

    @ සෑම් - හ්ම් හ්ම්... බහුජන හිත සුව පිණිස ක්‍රම ක්‍රමයෙන් තමයි ක්‍රමය බිහිවුණේ. ක්‍රමය වෙනස් වෙන්නේ ක්‍රමයට අවශ්‍ය වුනාමයි. තනි තනිව බිඳින්න පුළුවන් වුනත්. ආපහු ක්‍රමයෙම ජීවත් වෙන්න එපැයි!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!