Tuesday, 10 February 2009

නිදහස

මම තාමත් හිතන්නෙ පාරෙ සින්දු කියන, බස් වල සින්දු කියන සහ හිඟා කෑම වගේ එදා වේල පමණක් ගැන කල්පනා කරන්න වෙන තනි ජීවිතයක් තුල මම බලාපොරොත්තු වෙන නිදහස මට ලැබෙයි කියලයි. කාලයක් මම හිතුව ඇත්තටම හිඟා කන එක පවතින්න හොඳ ක්‍රමයක් කියලයි. ඒ කාලෙ මට ජීවිතේ වෙනත් බලාපොරොත්තුවක්වත් රක්ෂා කරන්න තියෙන අය ගැන ලොකු හැඟීමක්වත් තිබුණෙ නෑ.

නමුත් දැන් තත්ත්වෙ වෙනස්. මං වෙනුවෙන් වෙහෙසෙන අය වෙනුවෙන් කැපවීම මගේ ජීවිතේ අරමුණ වෙලයි තියෙන්නෙ. තාමත් මං වෙනුවෙන් මහන්සි වෙන මගෙ අම්මයි තාත්තයි ඒ අතරින් ඉහලින්ම ඉන්නව. මං හැමදේම කරන්නෙ එයාල වෙනුවෙන්. ඒ ඔස්සේ එයාල දකින හීනය තමයි මං ඇත්තක් බවට පත් කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ජීවිතේ යම් කාලෙක තනියෙන් ඉන්න වුණ වෙලාවක පාරට බහින එක කෙසේ වෙතත් දැනට මට විධිමත් රස්සාවක් කරන්නම වෙනව. ඒ ඔස්සේ බලාපොරොත්තු ගොඩනගන්න සහ ඒ වෙනුවෙන් කැපවෙන්න සිද්ධ වෙනව මට.

ඉපදීම නම් දුකක්. ඒක දුකක්ය කියල තේරෙණ එක තව දුකක්. එහෙම තේරෙන එක වරදක්ද? උදේ හවස ඉර පායල බැහැල යනව වගේ ඔහේ ජීවත් වෙන එකද මම කල යුත්තේ? අයි මට බැරි මට ඕන විධියකට ඉන්න මේ බැඳීම් වලින් ගැලවෙලා.

ජීවිතේ විඳින්න කියල තමයි හැම වෙලේම හැමෝම කියන්නේ. ඔව්! ජීවිතේ විඳින්න ඕන තමයි. භෞතික දේවල් ගොඩක් එක්ක ජීවිතේ සංකීර්ණ වෙලා තියෙද්දි ජීවිතේ තවත් විඳින්න දෙයක් නම් නෑ. භෞතික වට පිටාව හැමවෙලේම වින්දනීය ලෙස ජීවිතේ එහෙට මෙහෙට ගෙනියනව හුස්මක්වත් ගන්න ඉඩ නොදී.

ජීවිතේ නියම සුවය සහ අර්ථය දැනෙන්න අපි නිදහස් වෙන්න ඕන බොහොමයක් දේ වලින්. ඒ වුණාට එහෙම නිදහසක් නම් නෑ පේන තෙක්මානෙක.

දැන් මට ජීවිතේ අභියෝගයක්! දිනන්න ඕන තරගයක්. අනිත් බොහෝ දෙනා දුවනව වගේ මාත් දුවන්න පටන්ගන්නව. මෙතෙක් කල් මට ඕන පාරවල දුවපු මම දැන් දුවනව අනිත් අය ඇඳපු පාරක. බලමු මම දිනයිද කියල.

6 comments:

  1. :( ඔය කියන ගැටළුවම මටත් තියනවා... නිදහසක් නෑ කියලා මට නම් තේරිලා තියෙන්නේ.. එක බැම්මකින් මිදුනම තියෙන්නේ තමත් බැදීමක්.. එතනින් තව එකක්.. ඔය විදියට හැමදාම අපි මොකකින් හරි බැදිලා.. මගේ ජිවිතේ මම තාමත් නිදහසක් උපරිමව අත්විදලා නෑ.. ඉදිරියෙදි කොහොම වෙයිද කියලා අදහසකුත් හරියට නෑ මේ යන විදියට බැලුවම නම්... :(

    ReplyDelete
  2. එදා වේල හොයා ගන්න තනිකඩයෙක් ගාව තමයි මාත් හොයන නිදහස තියෙන්නේ. ඒත් ඒක ලබා ගන්න විදිහක් නැහැ. ඒක නිසා නිදහසක් නැතිව ජීවත් වෙනවා

    ReplyDelete
  3. බොහොමයක් දේවල් අපිට ඕනෙ වෙන්නේ "මම" නිසා සහ මගේ පැවැතීම ඔප්පු කරන තවත් අය සහ දේවල් නිසා කියලයි මට හිතෙන්නෙ. අඩුම තරමේ මගේ කියල ජංගම දුරකතන අංකයක්වත් නැතිව ඉන්න බැරි තැනකනේ අපි ඉන්නෙ.

    මට නම් නිදහසක් නෑ.

    ReplyDelete
  4. මට ඔය ගැන හිතලා හිතලා එපාවෙලා තියෙන්නේ අපි හොයන දේ මොකද්ද ඒක හොය ගත්ත කියලා අපි ඒකෙන් නවතීද... මට වෙලාවට එපාවෙනවා මෙ පීඩනය දරාගන්න බෑ... රස්සාවක්... පවුලක්... අන්තිමට සල්ලි.... ඔන්න ජීවිතේ අන්තිමට ඔය ටීකට ජීවිතේම ගෙවිලා මැරිලා යනවා.... ඕක්.....මටත් නිකං වමනේ යන්න එනවා වගේ.... එපාවෙනවා....

    ReplyDelete
  5. ඇත්තටම හැමදේම වගේ අපි එකිනෙකා නිදහස විඳින විධියත් සාපේක්ෂයි. මම දැනට නිදහස මහපාරෙ දැක්කට එතනට ගියාම මට හිතෙයි මේකත් අරකම තමයි කියල. කාලයක් ඉඳන් කැලෑගතවීම පිළිබඳ කතා කලත් අන්තිමේදි ඒකත් අවලංගු වුණා තේරුමක් නැති නිසා. ඒ නිසා දැනට නිදහස විඳින්න පුළුවන් අංශු මාත්‍ර විධියට විතරයි. ඒ ගෙවන ජීවිතය වෙනස් කරල. ඒ වෙනස තුල වෙනත් මනුස්සයෙක් විඳින නිදහස භුක්ති විඳල. ඕන නම් තාවකාලිකව හිඟා කෑමත් හොඳ වෙන්න පුළුවන් ;)

    ReplyDelete
  6. ko ara api mahagama sekara mahaththyalage athuley dakka nidahas chinthanaya...ara maha nagaraya unath maha kalawa widiyata dakapu..duk kada pani rasa widiyata dakapu apooru chinthana.....wadak naha owa gana katha karala..apiwa ara boman meeta kalpa kalantharekata kalin kiwwa wagey apiwa gata gahala..a warapata apita liha gann baha...awasaneta hamadama may widiyata hamadama nidahasa hoya hoya idi marenakanma...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!