Monday, 16 February 2009

අභිමානය

අභිමානය හැමෝටම තියෙන දෙයක්නේ. කවුරු මොනව කිව්වත් ඕනම කෙනෙක් තමන් ගැන, තමන්ගෙ හැකියාවන් ගැන, තමන්ට තියෙන පිළිගැනීම ගැන යනාදී නොයෙක් හේතු මුල් කරගෙන ස්වයං අභිමානයකින් තමයි ඉන්නේ. අභිමානයත් මිනිස් හැඟීමක්. ඒක මේ සමාජයේ තුලනයට උවමනා කරනවා කියලයි මට හිතෙන්නේ.

ප්‍රශ්ණෙ ඒක නෙවෙයි. හැම දේම වගේ මේක හින්දත් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. මේ අභිමානය ඉහවහා ගියාම තමයි ලොකුම ප්‍රශ්ණෙ. ඇත්තටම අද අපි මුහුණ දෙන ලොකු, පුංචි, දේශීය සහ ජාත්‍යන්තර, පවුල් සහ අසල්වැසි හැම ප්‍රශ්ණයක්ම නොවිසඳී පවතින්නත් මේ අභිමානය හේතුවක් වෙනව.

අභිමානය ඔළුව පුරා ඔඩු දුවපුවම ඕන කෙනෙක් අධිමානයකට පත් වෙනව. එතකොට මේ ලෝකෙ ඉන්න සිරාම සිරා පොර තමන්ය කියන හැඟීම එනව. ඒක ආවට පස්සෙ හැම වෙලේම අවට සමාජයෙන් තමාට ඒ ඉහල මානසික තත්ත්වයෙන් පවතින්න ඕන කරන පිළිගැනීම බලාපොරොත්තු වෙනව. ඒක නැති වුණාම යකා නැගල හතර වටේ දෙවනත් කරල එක එක විකාර කරනව.

අභිමානය බිඳ වැටෙද්දි ඕන කෙනෙකුට පවතින්න අමාරුයිනේ. ඒක ඉහවහ ගිය කෙනෙක්ට තමන් කවුද, ඉන්නෙ කොහෙද කියල පවා අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අභිමානයත් ඕනවට වඩා වැඩි වුණාම ඒක ලෙඩක් වෙනව.

මගේ ජීවිතේ මට හමුවුණ බොහොමයක් ලොක්කො මේ අභිමානය ඔළුවෙ තියාගත්තු උදවිය. ඒ නිසාම එයාල හැම වෙලේම නිවැරදියි. තමන්ගෙ වරදක් නිවැරදි කරනවටත් අකමැතියි. අතපසු වීමකින් හරි අපි වගේ පොඩි අය අතින් වෙන වැරැද්දක් නිසා එයාලගෙ අභිමානයට හානි වුනොත් ලොක්කො මුළු සේවා කාලය පුරාම අපව කපල දාන්නත් ඉඩ තියෙනව.

මොන විධියෙන් අභිමානය ගොඩනගාගත්තත්, ඒ පුද්ගලයගෙ තරාතිරම මොකක් වුණත් සරල සත්‍යය කියන දේ ඒ අභිමානයටවත් තරාතිරමටවත් යටත් නෑ. ඒ නිසා සත්‍යයට පුළුවන් අභිමානය බිඳින්න. නමුත් ප්‍රවේශමෙන්. අභිමානයෙන් පිරුණ අයත් එක්ක ඇත්ත කතා නොකරන තරමට හොඳයි. ඒ වගේ අයට තවත් අභිමානය ටිකක් දීල තමන්ගෙ වැඩේ කරගන්න එක තමයි කල යුත්තේ.

අභිමානය දෙන්න. ඒත් ගනිද්දි සැලකිලිමත් වෙන්න. :D

5 comments:

  1. ආව්ව්ව්...මෙයා බ්ලොග් එක සස්සන කරලා..

    හොද ලිපියකුත් ලියලා ඇත්ත ඇත්ත.. මං හිතන්නේ අපේ සමාජේ බොහෝ ගැටුම් වල මුල හොයලා බැලුවොත් මුලය අභිමානයට පහර ගැසීම හෝ නොසලකා හැරීම.. පවුලක් ඇතුලෙන් පටන් ගත්තම ලෝක මට්ටමට එනකම් කථාව එකමයි මං හිතන්නේ..!

    ReplyDelete
  2. ඔයා කියන එක ඇත්ත, ඒ ඇත්ත නිසායි ලොකේ බොහො ප්‍රශ්ණ වලට හේතුකාරක වෙලා තියෙන්නේ. එක මම කියන ප්‍රතිරූපය මගින් පැතිර යන්නේක්.

    ReplyDelete
  3. අභිමානය පිරිලා ඉතිරිලා ගිහින් අධිමානයට පත් වෙච්ච චරිත කොච්චර හම්බ වෙනවද.. ප්‍රශ්නේ වෙන්නේ මේ චරිත අපි පස්සෙම පන්නන එකනේ අපේ වැරදි හදන්න..හික්...
    ඔය අධිමානයන්ගේ මානයට ටිකක හරි වැදුනා කියලා හිතුන ගමන් කෝප වෙනවා හරියට. ඔන්න එතකොට ලියන බාසාවෙන් ලියන්න පටන් ගන්නවා පරම්පරාවම මතක් කරලා.
    මම දන්න චරිතයක් ගැන කිව්වේ. අවුල් වගේ නම් මකන්න.

    ReplyDelete
  4. අධිමානය... එක අතකට ලොක්කා කියන සත්ත්වයට ඕක නැතුවත් බෑනෙ... නිකමට හිතපංකො ලොක්කා කඩුකාරයෙක් නෙමෙයිනම් ඌ ගොඩයෙක් "පොස්"කියලා කියාගන්න එවුන් ඌව තඹයකට මායිම් කරන එකක් නෑ...

    ReplyDelete
  5. @ මලී - ඔව්... සාධාරණවාදය අනුව ඕන කෙනෙක් නිවැරදියි ඒ වෙලාවෙ තියෙන සාධක අනුව. ඒ වුනාට පද්ධතියක් වුණාම එහෙම බෑනේ.

    @ ෴ ෴ - හ්ම්.. :)

    @ ච - අපෝ ඒ වගේ අය ඕන තරම් ඉන්නවා. ඇත්තම කිව්වොත් අපි තුලත් අභිමානය තියෙනවනේ. අපි දන්නෙ නෑ ඒකට පහර වදිනකොට දරාගන්න පුළුවන් උපරිමය. ඒකය අවුල. සමහරුන්ට නම් පුරුද්දක් විධියටත් තද වෙනවනේ.

    @ ආ - ඔව් ඔව්.. ලොක්කෙක් වුණාම ඒක ටිකක් වැඩි පුර තියෙන්න ඕන තමයි. ඒ වුනාට ඒ නිසා වැඩ වරද්දගන්න බෑ. :)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!