Tuesday, 24 February 2009

සතුට මා තුල...

සතුට තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ. අපි මොනව කලත් අවසානයේ සතුට මිස අපි වෙන යමක් ගැන හිතන්නෙ නෑ. සතුට ගැන නොහිතනවාය කියල වෙන මොන මොන දේවල් කලත් ඒ හැම දේම කෙලවර වෙන්නෙ අපි සතුට හඹා යාම හමුවේයි.

සතුට වෙනස් එකිනෙකාට. සතුට විවිධයි. ඒක අනෙක් ඕනම හැඟීමක් විඳිනවා වගේම එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ඒ කොහොම වුණත් සතුට විධියට කෙනෙක්ට දැණෙන හැඟීමේ ලොකු වෙනසක් නැතිව ඇති.

සතුට දැණෙන්න නිදහස ඕන. නිදහස කියන්නෙ නිරායාස සතුටක් ලැබෙන දෙයක්. සතුට විඳින්න නිදහසක් නැත්නම් ඒ සතුටට අරුතක් නෑ.

ඒ අතරෙ අපි හිතන දේ ඒ විධියට ඉටු වීම තුල ආයෙමත් සතුටට අර්ථ තියෙනව.

අපි හිතන දේවල් සිද්ධ වීම තුල. හිතෙන අය එක්ක ඉන්න ලැබීම තුල. හිතන දේවල් ලැබීම තුල...

හැමෝගෙම ජීවිත වල හෙටක් තියෙනව. එහෙම නැතිව ඉන්න පුළුවන්. ඒ කියන්නෙ අද පමණක් ඉන්නවය කියන එකයි. අද පමණක් ඉන්න පුළුවන් වුණාට ඒ විධියට පවතින්න අමාරු වට පිටාවක් තමයි අපි අවට තියෙන්නේ. රස්සාවක් කරන්න වෙනව. මිනිස්සු ඇසුරු කරන්න වෙනව. සම්බන්ධතා ගොඩනගන්න සහ පවත්වගන්න වෙනව. එහෙම ඉන්න මිනිස්සු අතර අද විතරක් ජීවත් වෙන්න ඕන වුණොත් ලොකු කැපකිරීම් ටිකක් කරන්න වෙනව. එහෙම පුළුවන් වුණොත් නම් ඔය සතුට දුක කියන දේවලුත් වැඩක් නෑ තමයි. ඔය හැම දේකටම උපේක්ෂාව තුල විසඳුමකුත් තියෙනව.

ඒ වුණාට සතුට දැණෙද්දි ඒක නොවිඳ මොනව කරන්නද?

ඉතිං.....





රෑ සඳුත්
උදෑසන මල් පෙතිත්
දිවා තුරු යට සිසිල් සෙවණත්
මෙතුවක් කවියන් නුඹව සම කල සියල්ලත්
එක පෙළින් ගෙන...
ඒ නුඹට සම කරමි
බිය හැර

රෑ සඳු බැස ගොස්
උදා මල් පර වී
පත් හැලී තුර යට උණසුම් ව
කවි සිතිවිලි වියලී ගොස් වියැකුණත්
බියක් නෑ මට
නුඹ ඒ කිසිවකට
සම නොවන නිසාම

නුඹ අසම සම නුඹමයි
මා සිත ගෙන දොවා පිසදා
සියුම්ව දෑතින්ම ගෙන විමසිලි කොට
එහි වූ නෙක සියුම් සිතිවිලි බිඳිති කැටි කර
සුවඳ කවා හැඩ කල
නුඹම මිස අන් අයෙක් නැත
මා ඉදිරි මාවතේ අතර තුර




හික් හික්...

සතුට ඉස්මොල්ලෙ ගියාම ඔහොම වෙනවා. ගණං ගන්න එපා. ;)

5 comments:

  1. හ්ම්ම්... උපේක්ෂාව තුල පිලිතුරු තියෙනවා කියලා අපි පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්න් නිසා දන්නවා මිසක් ඇත්තටම අපි උපේක්ෂාවෙන් සතුට දුක විඳ දරා ගෙන තියෙනවද? ඒක නිසා තමයි ඔයා අන්තිමට කියලා තියෙන්නේ සතුට දැනෙද්දි ඒක විඳින්නේ නැතුව මොනව කරන්නද කියලා. ඒක අපි හැමෝගෙම හැටි. පෘථග්ජන කියන්නේ ඒක වෙන්න ඇති. උත්තරේ දන්නවා උනාට උත්තරේ ක්‍රියාත්මක කරන්න ශක්තියක් නෑ. ඒ ශක්තිය ගන්නනම් මාර්ගඵල ලබන්නම ඕනේ.

    ReplyDelete
  2. සතුට එන්නේ නිදහසත් සමගම තමයි.. අපි සතුටු වෙන විදියත් ‍කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවානේ...

    ලස්සන කවියක්!

    ReplyDelete
  3. මාත් මෙම දින ඉන්නෙ සතුට ඉස්මොල්ලෙ ගිහින්.
    සතුට තුලින් නිදහස් වීමය්, නිදහස තුලින් සතුටුු වීමය් පැහැදිලිව තෙරුම් ගනිමින් ඉන්න අවදියක්.
    එච් ගෙ කවියට උඩින් තියෙන වාක්යට නම් මමත් සම්පූර්ණයෙන් එකගය්.
    කවියත් අපූරුය්.:)

    ReplyDelete
  4. hare mekata meka adala nathuwa athi namuth meka mama dan tikakata kalin baluwe...sathuta ganama oyath kiyala thibba nisa danna hithuna

    http://www.youtube.com/watch?v=qx8yLvb0gZM

    ReplyDelete
  5. @ ච - ම් ම් ම් ඒක එහෙමමත් නෙවෙයි. උපේක්ෂාව ඕන වෙන්නේ දේවල් සාධාරණව විඳගන්න. ඒක නිසා පිස්සු කෙලින තත්ත්වයට පත් නොවී ඉන්න. ඒ කියන්නේ සතුට වැඩි කමට හෝ දුක වැඩි කමට වටපිටාවත් වනසන වැඩ නොකර ඉන්න. හැම දේම පැති කීපයකින් දකින්න. ඒ වුණාට සතුටක් හෝ දුකක් දැනෙද්දි ඒක දරුණු ලෙස පාලනය කරන්න යාම නම් ඒ හැටි හොඳ නොවන්න පුළුවන්. ඒ නිසා දුකක් දැනුණම අඬන එකත් සතුටෙදි පැලෙන්න හිනා වෙන එකත් හොඳ වෙන්න පුළුවන්.

    @ ලී - බිස්කට් කනව නේද? :) :)

    @ ග - සතුට අපමණව දැණෙද්දි ඒකත් නිකං මත් වීමක් තමයි. හොඳ වෙලාවට අපේ ජීවිත ගෙවෙන විධියට අපට සතුටින් මත් වෙලා එක දිගට ඉන්න අමාරුයි. මොකක් හරි වෙනවා දුක් වෙන්න.

    @ ස - ආහ්... මේ Once නේද? ආයෙත් බලන්න ඕන. සින්දුව මතකයි හොඳට. ඇත්තටම මේ ගැන ඔයා කියද්දිත් මට සතුටක් දැණුනා... වැඩ කාරයන්ට බොරු බෑ

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!