Tuesday, 13 December 2011

සුද්දන්ගෙ සංගීත පිඟානක්....

සංගීතය කෑමක් නොවෙන්නෙ ඒක කෑමට නොගන්නවනම්. නමුත් උවමනා නම් කෙනෙකුට කන්න බැරි දෙයකුත් නැති තරම්. සංගීතය කියන එක සින්දු වලින් ගලවගෙන රස විඳින කොට ඒක කෑමක් වෙනවා විතරක් නොවී ලෝකෙ පුරාම කරක් ගහමින් තවත් රසය හොයන්න පොළඹවන කාරණයක් වෙනවා.

ඒ නිසාම සින්දු කියන රාමුවෙන් සංගීතය නිදහස් කරගත්තම මල වදයක්. ඒක ඇත්තටම කෙනෙක්ව පැත්තකට කරල විනාශ කරල දාන එකක්.

ෂහ්! මාත් ආසයි රේඩියෝ එකේ පැයකට සැරයක් යන සින්දු ටිකම ෆෝන් එකට දාගෙනත් අහමින් සැනසිල්ලෙ ඉන්න පුළුවන් වුණානම්. ඒත් මේ හෙවිල්ලේ අසනීපයත් එක්ක එහෙම එක තැනක පොඩි පොඩි රවුම් ගහමින් ඉන්න එක අමාරු වැඩක්.

සමහර මිනිස්සුන්ට සංගීතය තේරෙන්නෙ නෑළු. ඒ නිසා තමන් දන්න වචන සෙට් එක ඔන්න ඔහේ තාලෙකට කියාගෙන යද්දි එක මාර ආතල් එකක් වෙනවා. හැමෝම එකම වචන ටිකම වෙනස් තාල වලින් කියනවා. වචන වලින් සංගීතය විනාශ කරල තියෙද්දි ආයෙ කොහෙද ඒක තේරෙන්නේ.

ඇත්තටම මිනිස්සුන්ට එදිනෙදා උවමනා වෙන්නෙ බොහොම සීමිත වචන ටිකක්. එක තැන ජීවත් වෙන්න ගත්තම ඕන මිනිහෙක්ට ඒක වෙනවා. නමුත් තේරෙන ඒව සහ නොතේරෙන ඒවට අමතරව මිනිහෙක්ට දැණෙන දේවල් ඕන තරම් තියෙනවා. ඒ දැණෙන දේවල් වල තේරුමක් ඇත්තටම නැති වෙන්න පුළුවන්. සංගීතයත් වෙලාවකට කිසිම තේරුමක් නැති එකක්. නිකං හැඟීමක්. වචන වලින් නිර්වචනය කරන්න බැරිවුණ හැඟීමක්. ඒක දැණෙනවා විතරයි. කාටවත් කියන්නත් බැරි නම් ලත වෙන්නැතිව ඔහේ විඳගෙන ඉන්න පුළුවන් එකක්.

ලෝකෙ කිසි දේක තේරුමක් නැති එකේ සින්දු වල තේරුම ගැන විතරක් උනන්දු වෙන්නෙ මොකටද? ඔන්න ඔහේ විඳිනව මිස. කෙල්ලන්ව මල් වගේ විතරක්ම කරල තියෙනකොට, ඒ මල් මල් ගීත වමනය ඇති කරවන තරම් එපා වෙලා බෝරිං වෙලා නතර වෙලා තියෙද්දි අහන්න හිතෙනවා ආදරේට හෙණ ගහපන් කියල කියන සින්දුවක්. ඒක කියන්නෙ ඩැඩීලගෙ විරේෂ් කුරේ...




කතාව කවදාවත් ඉවර වෙන්නෙ නෑ. ලංකාවෙ කොල්ලන්ට කෙල්ලන්ට ආදරණීය විවෘත ලිංගික ගණුදෙනුවක් හදාගන්න බැරිව සංස්කෘතික අටමගුල් හැටහුටාමාරක් එක්ක ගැටෙද්දි ඒක කියාගන්න බැරිව වටේ කැරකෙන මල් සින්දු වලට හෙණම ගහපන්... කියල මට කියන්න බැරි ලංකාව තවම සංවර්ධනය වෙමින් පවතින රටක් හින්දා... ඒ වුණාට ලංකාවෙදි ගැහැණු පිරිමි අතරෙ එහෙම සංස්කෘතියකට ආශ්චර්යය උදාවෙන පාටක් පේන තෙක්මානෙක නැති නිසා තව පරම්පරාවක් දෙකක්වත් ඔය මල් වලට ලොල් වෙයි.

ලෝකෙ තියෙන සුන්දරම සංගීතයන් තියෙනවයි කියල මම විශ්වාස කරන්නෙ බටහිර ලතින් ඇමරිකානු රටවල. ඔය චිලී, පේරු වගේ. ඒවයෙ මුල් තියෙන්නෙ යුරෝපයෙ වෙන්න පුළුවන්. පෘතුගාලයේ, ස්පාඥ්ඤයේ සහ ප්‍රංශයේ. කියුබාව කියන්නෙත් ලතින් ඇමරිකානු රටක්. චේ නොහිටින්න අපි එහෙම රටක් ගැනත් නොදැන ඉන්න තිබුණා. කොහොම නමුත් ඒක තියෙන්නෙ දකුණු ඇමරිකාවෙ නැගෙනහිරට වෙන්න. කියුබාවෙ අගනුවර වෙන හවානා නුවර 1940 ඉඳන් 1990 වගේ වෙනකල් තිබුණ සමාජ ශාලාවක් තමයි Buena Vista Social Club කියන්නෙ. මේක ඒ දවස්වල සංගීතකාරයො, නැට්ටුක්කාරයො හොඳට සෙල්ලම් පෙන්නපු තැනක්. ඒ වගේම කියුබානු සංගීතයෙ අනන්‍යතාවය රැඳුණ තැනක්. මෙතන දැන් වැහිලා. හොයාගන්නත් බැරි තරමට කියුබාවෙ පැවතුණ අනන්‍ය සංගීතය තියෙන්නෙ මියැදෙමින්. ඒ අක්මුල් හොයන්න කරපු උත්සාහයක ප්‍රතිඵලයක් වුණේ Buena Vista Social Club කියන ගීත ඇල්බමය. මේ ඇල්බමයට සහභාගි වෙන බොහොමයන් ශිල්පීන් කියුබාවෙ මියැදෙන සංගීත රටාවන්වල අවසාන පුරුක්. මේ නමින්ම පස්සෙ හැ‍දෙන Buena Vista Social Club (1999) වාර්තා චිත්‍රපටිය ගැන මෙතන නොකියා ඉන්නම්.

මේ තියෙන්නෙ Buena Vista Social Club ඇල්බමය ලෝකයට අරගෙන ගිය ‍අපි නොදන්නව වුණාට දන්න අය දැනගෙන හිටපු Chan Chan ගීතය.



මේක Ibrahim Ferrer කියන De camino a la vereda. මම කියන්නෙ පෙරේරගෙ සින්දුව කියල. මේ ගිතයෙ Ibrahim Ferrerගෙ කටහඬේ විචලනයන් මාව මේකට ගැටගහල.



එතකොට මේක හුරු පුරුදු ඇති. අපේ භාතිය සන්තුෂ් එක්ක රූකාන්ත මේ තනුවෙ කෑල්ලකින් සින්දුවක් කියනවනේ.




දැන් එන්නෙ ලෝකෙ තවත් සුන්දර සංගීතමය සංස්කෘතියක් තියෙනවය කියල මම හිතන අයර්ලන්තයට. අපි පිස්සුවෙන් බලපු රොබින් හුඩ් එකේ සංගීතය කරපු Clannad, එතකොට ඔය කසුන් කල්හාර රිදම් කෑලි උස්සනවයි කියල චෝදනා කරන Corrs වගේ කණ්ඩායම් බිහිවෙන්නෙ අයර්ලන්තයෙ. මේ රටේ අනන්‍යතාවය තියෙන සංගීතය හඳුන්වන්නෙ Irish හෝ Celtic කියල. Irish folk music, නැත්තං අයර්ලන්ත ජන ගීත ලෝකයෙ ගොඩක් නිර්මාණ වලට දායක වෙලා තියෙනව. ඒවට අයිතිකාරයො නැති නිසා සහ ඒව අදටත් වින්දනීය නිසා ලෝකයෙ ඉන්න නිර්මාණකාරයො අයර්ලන්ත ජන ගී තමන්ගෙ නිර්මාණ වලට අදටත් යොදාගන්නව. මේ වර්ගයේ සංගීතය අමතක වෙලා තිබිල මෑතකදි ඔළුවට පොල්ලකින් ගැහුව වගේ වැදුණෙ Orthodox Celts කණ්ඩායමේ ඇල්බම් කීපයක්ම අහන්න ලැබුණ හින්ද. ඔවුන් අයර්ලන්ත ගීත නිර්මාණය කලාට ඇත්තටම ඔවුන් සර්බියානු සංගීත කණ්ඩායමක්. ඔවුන්ගෙ ගොඩක් නිර්මාණ පැරණි ජන ගී වල ප්‍රතිනිර්මාණ, නැත්තං අපි cover versions කියල කියන ඒවා. නමුත් Orthodox Celts ඒවට ඔවුන්ගෙ වර්ණ නොසෑහෙන්න මිශ්‍ර කරල තියෙනව.

මේක මේ ලස්සන ගෑණු ළමයෙක්ට වහ වැටිල කියන සින්දුවක්.... Star Of The County Down නමින් හොයල බැළුවොත් මේ සින්දුවෙ අනුවාද ගණනාවක්ම එක එක සංගීතවේදීන් විසින් කරල තියෙන බව පෙනෙයි.




ඒ සින්දුවෙ ඉන්න ගෑණු ළමය තමයි මේක කියන්නෙ. එයා කොහෙදෝ හිර වෙලා... එතනින් එළියට ගන්නලු.




බලන්න වයලීනයත් එක්ක අතරමං වෙන්න පුළුවන්ද කියල...




එතකොට ලංකාවෙ ගල් සංගීතය ගැන කියද්දි ඔළුව අතගාල ටොකු අනින ස්කිට්සෝලට රම්බො හම්බවෙලා තියෙනව තෝසෙ කඩේක ප්ලේන්ටියක් ගගහ ඉන්නකොට! ඒ කතාවත් බලමු!

දන්නවනෙ වීරයො මැරිල කියල. ඉන්න උනුත් වීරකම් පෙන්නන්නෙ නැති බැරි උන්ටමයි. ඒ තරමට වීරයො ජෙනරලයිස් වෙලා...




Buena Vista Social Club එක්ක Orthodox Celts ඇල්බම් මට දුන්නෙ අපේ ලබෙන් හෙවත් ආගන්තු:කයා. උගෙන් මේ ටික අරන් ඌත් එක්කම හෙඩ් ඔෆිස් එකේ වට මේසෙ ඉඳගෙන දුමක් එක්ක මේ ටිකේ මුල්ම කොටස් අහද්දිම මම දැනගත්ත මගේ අතින් ඒ සංගීතය ගැන මෙහෙම බලු ලියවිල්ලක් ලියවෙනව කියල. La ben ටත් ඒක කවුද මන්දා දුන්නලු. කොහොම හරි මට ඒ ඇල්බම් කීපය සංගීතමය නිධානයක් වුණා. හරියට මාස ගාණක් පරිප්පුයි බතුයිම කකා ඉඳල එකපාර ෆ්‍රයිඩ් රයිස් එකක් දැක්කම එන හැඟීමෙම වෙන වර්ෂන් එකක්.

මේ ලියල තියෙන එව්ව ගැන මම දන්න ඉලව්වකුත් නෑ ලාවට එහෙං මෙහෙං කියවල දැනගත්තුව මිසක්. මොකද ඔය හෙවිල්ල අස්සෙ තමයි අළුත් එව්ව මාට්ටු වෙන්නේ... ඒ නිසා වැරැද්දක් තියෙනවනං පෙන්නුවොත් හොඳා.....

Wednesday, 28 September 2011

පිස්සෙක්...!


පිස්සාව මා දන්නෙ සැලකිය යුතු කලක පටන්ය. වසර ගණනාවක්ම ඔහු එදිනෙදා මට හමුවී ඇත. ඒ බොහෝවිට අපි කතා කර ඇත. ලෝකයේ ඇති විවිධ දේ ගැන ඔහුගේම දෘෂ්ඨියකින් දකින ඔහුට ඇත්තෙන්ම ඇති පිස්සුවක් නැත. නමුත් ඔහුගේ දෘෂ්ඨිය පිහිටා ඇත්තේ මාත් ඔබත් අන් අයත් ඇතුලත් සාමාන්‍ය සිතීමේ අවකාශයට පරිබාහිරින්ය. අපට ඔහු දකින ලෙසින් දකින්නට හැකියාවක් නැත. නමුත් ඔහුට අප දකින දේත් ඉක්මවා දේවල් පෙනේ. එමෙන්ම ඒ ගැන විමසිලිමත් අයවලුන් හා තම අදහස් කියවයි.

සත්තකින්ම ඔහුට පිස්සෙක් යැයි කීමට මගේ දිව නැමෙන්නේ නැත.

එහෙත් අන් සියල්ලෝම ඔහුට පිස්සා යැයි අමතන නියාවෙන් මම ද ඔහු පිස්සෙක් කොට සැලකීමට පුරුදුව හිඳිමි.

මන්ද ඔහු හා එක්ව තවත් පිස්සෙක් වීමට මට උවමනා නැති බැවිණි. නැතහොත් මා කුහකයෙකු බැවිණි.

පිස්සා රැකියාවක් කරයි. ඒ පින්තූර වෙනස් කර දීමයි. ඔහු ජීවත් වන නගරයේ මුඩුක්කු පරිසරයේ වෙසෙන නීතියෙන් අවිවාහක, නොඑසේ නම් විවාහ ඡායාරූපයක් නොමැති යුවල සොයා මංගල ඡායාරූපය ඩිජිටල් ක්‍රමයට ඔවුනට සකස් කර දී පිස්සා මුදලක් ගනී. ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය වන්නේ පෙර කී යුවලගේ ඡායාරූප දෙකක් පමණි. ඒවාත් රැගෙන මා හමුවට එන ඔහු මා ලවා එම යුවලට පරිගණකයෙන් සාරි සහ කෝට් අන්දවා කොණ්ඩය කළු කොට, සෙවණැලි මකා, ඇහි බැම හදා, තොල් සායම් උලා තම පින්තූරය සකස් කරවාගනියි. පසුව එය මුදල්කර ගනී. ඒ ආකාරයෙන් පින්තූර සකසා දීමට අගනුවර ඇති විවිධ පරිසරයන්හි සැරිසරමින් නෛතිකව අවිවාහක හෝ මංගල ඡායාරූප නොමැති යුවල සොයයි. තම මවත් සමග නගරයේ මධ්‍යයේ කුඩා මුඩුක්කුවක තනිව වෙසෙන ඔහුට ඒ මගින් ලැබෙන ආදායම ප්‍රමාණවත්ය. මා සමග කියා ඇති පරිදි නගරයේ පන්සලේ පුස්ථකාලයේ කියවමින් ගෙවන දිනයක පන්සලේ දානයද ඔහුට ප්‍රමාණවත්ය. එසේම කීප වතාවක් මටද හමුවන්නට ඇරයුම් කර ඇති වෛශ්‍යාවන් කීප දෙනෙකු ඔහුගේ මෛථුන්‍ය අවශ්‍යතා පිරිමසයි.

නමුත් ඔහු පිස්සකු වීමෙන් වලකන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. ඔහුව දන්නා, ඔහුගේ කීම් අසා ඇති කවුරුත් ඔහුට පිස්සා යැයි කියයි. ඔහු එය සිනාවෙන් පිලිගන්නා මුත් කණකට නොගනී.

තම පින්තූරය මා ලවා සාදාගන්නා පැය භාගයක, පැයක පමණ කාලය ඔහුට මා සමග තම දාර්ශනික කතා කීමට අවකාශ සලසයි. මා අති දක්ෂ සවන් දෙන්නකු බැවින් හා මට නොදැණෙන දෑ බොහෝමයකට මා අසංවේදී බැවින් ඔහු මා ප්‍රිය කරයි. මා ද කම්මැලිකමෙන් මිදීමට ඔහු කියවන ඕනෑම දෙයක් අසන්නට සූදානම් වෙයි. එහිදී ඔහු නගන විවිධ ප්‍රශ්ණ තුල අතරමං වන මා කරමින් සිටින රාජකාරිය කරන්නේ හුරුවෙනි. Photoshop මෘදුකාංගයේ පින්තූර සංස්කරණය කරන අතර බොහෝවිට මම ඊට විශාල අවධානයක් යොමු කරන්නේ නැත. එය මා හට පයිත්තියන් වී තිබූ බැවින් මම අනිච්ඡානුගවම එය කරන්නට හැකි වූවෙක් වීමි. එබැවින් පිස්සා ළඟ ඇති විට මා අවධානයෙන් කරන්නේ ඔහු නගන ගැටළු වලට පිලිතුරු සෙවීමයි.

පසුගිය දිනෙක පිස්සා මා වෙත එල්ල කලේ ප්‍රශ්නාවලියකි. ඒ අවසන තම ගැටයට ඔහු මා හසු කරගත්තේය.

"ජීවිතේ කියන්නෙ මොකක්ද පුතා?"

"ජීවිතේ...???"

මම කල්පනා කරමි. මා ඒ පිළිබඳව සිතා නැත. සිතා තිබුණත් ජීවිතය යන්න තනි වාක්‍යයකින් විග්‍රහ කල හැක්කක්ද?

"ඒක එහෙම මොකක්ද කියල කියන්න බෑනේ..."

මම ගැටළුවෙන් ලිස්සා යාමට තැත් කරමි.

"හරි... ජීවිතේ අරමුණ මොකක්ද?"

පිස්සා නැවත අසයි.

"ජීවත් වෙන එක තමයි..."

මම එකවරම පිලිතුරු දුනිමි. එය බොහෝ දුරට නිවැරදි විය යුතුය. ජීවත් වීමට වඩා අරමුණක් ජීවිතයට තිබිය නොහැක. මරණින් මතු ඇතැයි සිතන සංකල්පීය සුගතිය හෝ අගතිය වෙනුවෙන් වර්තමානය විනාශ කරගෙන ඇති ලෝකයක මා කිසිදු ආගමකට අයත් නොවූවෙක් බැවින් ආගමික පැහැදිලි කිරීම් මා දැන සිටියේ නැත.

"ඒ කියන්නෙ ඒක රවුමක් ‍වගේ එකක් නේද පුතා.."

පිස්සා ඔහු කියන දේ පිලිබඳව සැලකිය යුතු තරමකින් සිතා ඇති බව මම දනිමි. ඔහු ක්‍රමයෙන් මතවාදය ගොඩනගන්නේ ඔහුට උවමනා තැනට මා ගෙන ඒමටය. නමුත් මා ඔහු තරම් ඒ පිළිබඳව සිතා නැත.

"ඒ කිව්වේ?"

මම අසමි.

"ඒ කියන්නෙ ජීවිතේ කියන එක නිර්වචනය කරන්න අපට ජීවිතේම ප්‍රයෝජනයට ගන්න වෙනවනේ. මුල කෝකද අග කෝකද කියල හොයන්න බැරි රවුමක් වගේ ජීවිතය ඒක වටේම කැරකෙනව."

"හ්ම්..."

මම කියමි. එය මට සහමුලින්ම වැටහුනේ නැත. නමුත් එය මා ඉගෙන ඇති if, then, else වැනි ලූපයක් එය තුලදී ම නැවත කැඳවීමක් වැන්නකි.

"ජීවිතේ අරමුණ තමයි ඒක පවත්වගැනීම. ඒකනේ පුතා මිනිස්සු ඇතුලත්ව ඔය ගහ කොල, සත්තු හැමදේම ජීවිතය පවත්වගන්න උත්සාහ කරන්නේ..."

පිස්සා පවසන දෙයට විරුද්ධ තර්කයක් ගොඩනැගීමට මට නොහැක. මෙහිදී ඔහුට සවන් දීම වඩා සුදුසු දෙයයි.

"විශ්වයේම තියෙන මූලධර්මයක් තමයි ඔය මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි කියන එක. විශ්වය සහ ජීවය ආරම්භ වෙන්නෙම ඒ මූලධර්මය මත. මොකද ඒව නැත්තං මුකුත් නෑනේ..."

පිස්සා හොඳ කියවන්නෙක් බව මම දැන සිටියෙමි. යම් හෙයකින් ඔහුගේ අධ්‍යාපන සහතික දුටුවේ නම් මා පුදුමයෙන් වික්ෂිප්ත වන්නට ඉඩ තිබෙන්නට හැකියාවක් ඇත. ඔහු ලෝකයේ බොහෝ දේවල් පිළිබඳව ලබා ඇති දැනුම සහතිකයකින් මිණිය නොහැකි බව මම සිතමි. නමුත් ඒ වෙනුවට ඔහුට 'පිස්සා' යන ගෞරව නාමය ලැබී තිබේ.

"හැමෝම ආසයි ජීවත් වෙන්න. මිනිස්සු, සත්තු වගේම ගහ කොලත් කැමතියි ජීවත් වෙන්න."

ඔහු නොනවත්වා කියවයි.

"ගහ කොල?"

මම අසමි. මා දන්නා ගහ කොල පණ නැති අජීවී වස්තූන්ය. ඒවාට ජීවිතය පිළිබඳ හැඟීමක් තිබිය නොහැක.

"ගහ කොල වලට පණ තියෙනවා. ඒවත් ජීවි කොටසක් කියල පාඩම් පොත් වලින් ඉගෙනගෙන නැද්ද?"

ඔහු අසයි. පින්තූරයේ මනාලියගේ මුහුණේ කුරුලෑ ලප stamp ටූලයෙන් මකන අතර මම මතකය අවදි කරමි. ශාකවලට පරිභවයෙන් සහ ආදරයෙන් අමතා ඉන් නිකුත් වන විද්‍යත් ආරෝපන වල වෙනස සෙවීම සම්බන්ධ පරීක්ෂණයක් කල විද්වතෙකු ගැන සටහනක් ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණා මතකය. එහි අවසානයේ ශාකවලට හැඟීමක් වැනි දෙයක් දැණෙන බවක් නිගමනය කර තිබුණි.

"හප්පා..."

මට කියවුණි. ඉහත තර්කය අනුව ගස්කොලන් වලට ප්‍රාණයක් තිබේ. එම ප්‍රාණය සහිත වූ ගහ කොල මා ආහාරයට ගනිමි. මා නිර්මාංශකයකු නොවූවත් මාංශය යන්න අර්ථකථනය කිරීමේදී මා අනුගමනය කර තිබුණේද සම්මත ක්‍රමයයි. එනම් මාංශය වනාහි දුවන පනින කෑ ගසන සත්ත්වයින්ගේ මාංශය ලෙසයි. නමුත් අද දින දහවල මා අනුභව කල පිපිඤ්ඤා පෙත්ත මාංශයකි. පරිප්පු ව්‍යංජනය මාංශයෙන් සැදී ඇත. නොකා ඉවත් කල කරපිංචා කොල කීපය මාංශයි. ඒවායේ යුෂ මා උරා බී ඇත. එකම වෙනස වන්නේ ඒවා සත්ත්ව මාංශ නොවීමයි. නමුත් ඒවාත් මාංශ ලෙස වර්ග කලහොත් නිර්මාංශකයන්.....?

"එහෙනම් ඔය නිර්මාංශ කට්ටියට කන්න දෙයක් නැති වෙනවනේ...?"

මා කීවේ ජයග්‍රාහී හැඟීමෙනි. අවසානයේ ඔහු ගොඩනගන තර්කය බිඳ දැමීමට සමත් අදහසක් මට පහල වී ඇත. ශාක සහ සත්ත්ව කොටස් වලින් සාදන සියළු ආහාර මාංශ ලෙස සලකන සන්ධර්භයේදී නිර්මාංශභක්ෂකයින් සියල්ලන්ටම හීන් දහදියක් දමනු නොඅනුමානය. එය එසේ විය නොහැකි බැවින් පිස්සාගේ තර්කය බිඳ වැටේ.

"එහෙම හිතන්න ඕන නෑ."

සිනාවෙන් පිලිතුරු දුන් පිස්සා සුපුරුදු පරිදි එයටද සාවධානව පිලිතුරු ගොනු කරන්නට විය.

"ඒක තමයි ස්වභාව ධර්මය කියන්නේ... අපි හැමෝම එක එක විධියට ස්වභාව ධර්මයේ දේවල් පරිභෝජනය කරනවනේ... කෑමට ගහක කොලයක්, ගෙඩියක් නැත්තං සතෙක්ගෙ මසක් වුණත් අපි පරිභෝජනය කරනවනේ. ඒක අපිට වගේම සත්තු ගහකොල වගේ දේවල් වලටත් පොදුයි. සතෙක් බඩගින්න නිවාගන්න ගහක් කෑමට ගන්නවා. ඒ සතාව වෙනත් මාංශ භක්ෂක සතෙක් කෑමට ගන්නවා. ඒ සතා මැරුණම උගේ සාරයෙන් ගහක් වැඩෙනවා."

"මම ඒක දන්නවා. අර ලයන් කිං එකේ ඒක තිබුණා..."

"මම ඒව බලල නෑ... ඒ වුණාට ඔය සුද්දො ඕව කියල තියෙන්නෙත් නිකං වෙන්න බෑනෙ.... ඒවයින් හරි කමක් නෑ ඉගෙන ගන්නයි ඕන..."

"හැබැයි එතකොට අර පාපය කියන එකට අර්ථයක් නැති වෙනවනේ...."

"එතන තමයි ප්‍රශ්ණෙ. මොනව වුණත් ඔය ආගම් වලින් මිනිස්සුන්ව යම් යම් සීමා වලට කොටු කිරීමෙන් වෙලා තියෙන්නෙ හොඳ දෙයක්. නැත්තං මිනිස්සු කරන විනාශයේ කෙලවරක් නෑ. සේරම විනාස කරලයි නවතින්නේ. මොකද මිනිස්සුන්ට ඕන එකකට හේතු හදාගන්න එක ලොකු දෙයක් නෙවෙයිනේ... එතනදි පාපය කියන සංකල්පය සෑහෙන්න වැදගත්. ආ... පුතා ඔය මිනිහගේ රැවුල තරුණ කාලෙ ලොකුවට තිබුණලු. පොඩ්ඩක් හදමු.."

මම burn ටූලයෙන් මනාලයාගේ රැවුල මැද එය කළු කරමි. දැන් ඔහුගේ රැවුල වඩාත් රළු ය. ඒ අතර මට පසුගිය දිනවල ජනප්‍රිය වූ ප්‍රවෘත්තියක් සිහිවේ.

"ඇයි අර කෝවිලේ සත්තු මැරන්න ගියේ... ඒකත් එහෙම එකක් තමයි නේ... තේරුමක් නැති විනාශයක්..."

"ඔව්... ඒකත් එහෙම එකක් තමයි. සතෙක් කෑමට මරණ එකයි සංකල්ප මූලික කරගෙන මරන එකයි දෙකක්. ඔය දෙක බැලන්ස් කරගන්න බැරි වීම තමයි මිනිස්සුන්ගෙ අවුල."

"අර Gods must be crazy කියන film ‍එකේ විධියට ඒ මිනිස්සු සතෙක්ව මරලා ඒ මළ කඳට ස්තූති කරනවා තමන්ගෙ කුසගින්න නිව්වට..."

මා උවමනා තරම් චිත්‍රපට බලා ඇති බැවින් මටද කීමට දේවල් හිඟ නොවේ.

"ඒ කතාව මමත් කියවල තියෙනවා. ඒක පැරණි මිනිස්සු අතර තිබුණ දෙයක්. එයාල ස්වභාව ධර්මයේ සමබරතාව ගැන දැනගෙන හිටියා. ඒ නිසාම එයාල මාංශ අනුභව කලා වුණත් වියරුවෙන් සත්තු මරන්න ගියේ නෑ. සත්තු විතරක් නෙවෙයි. ගහකොලට පවා ඒ මිනිස්සු ගෞරවය දුන්නා. ගහක්, සතෙක් නැතිව තමන්ට පැවැත්මක් නෑ කියල ඒ අය තේරුම් අරන් හිටියා."

"ඒ වුණාට ඔය දැන් මරන විධියට ආගමික අදහස් මත සත්තු මරන එක නම් හෙනම චාටර්..."

"ආගමික පදනම මත සත්තු මරන එක වගේමයි මල් පූජා කරන එකත්.... ඇයි ඒක හොඳයි කියලද හිතන්නේ?"

මම විශ්මයෙන් වික්ෂිප්තව පිස්සා දෙස බලුවෙමි. ඔහු සූදානම් වන්නේ කුමකටදැයි මට වැටහෙන්නේ නැත. මල් පූජාව පිළිබඳව මට කිසිදා නොසිතුණු අදහසක් ඔහු මතු කර ඇත. නමුත් එය විමසිය යුතු කාරණයකි. මම නැවත මොනිටරය වෙත දෑස් ඔබාගතිමි. නමුත් මගේ මනස තිබුණේ වෙනත් තැනකය.

ඇසිල්ලකින් මා අප දෙදෙනා කල සාකච්ඡාවේ හරය වෙත පැමිණියෙමි. මල් යනු ජීවී වස්තුවක කොටසකි. වඩාත් නිවැරදිව කිවහොත් ගසක බීජ හටගැනීමේ ක්‍රියාවලියට හෙවත් පරාගණයට මූලික වන්නේ ගසේ පුෂ්පයයි. පුෂ්පය ගසකින් වෙන් කිරීම ගසේ පැවැත්ම සහමුලින්ම උදුරා දමන ක්‍රියාවලියක ආරම්භයකි. එසේනම්....?

මම නැවත පිස්සා දෙස බැලීමි...

"ඒක ඒ තරම් සරල නෑ නේද?"

පිස්සා සිටින්නේ සිනාමුසුවය...

"අවුරුදු සිය දහස් ගානක් ආගමික සංකල්ප උඩ මල් කොයිතරම් ගස් වලින් කැඩිල නිකංම පරවෙලා ගිහින් ඇද්ද? ගහටවත් මලටවත් වැඩක් නැතිව?"

"ඒකත් හරි තමයි... "

මම කීවෙමි. පිස්සා මාගේ හිස මත ඇණයක් තබා මිටයකින් තඩිබාමින් සිටී. ලොව පවතින සියල්ල මිනිස් නිර්වචන මත වටහාගනු ලැබූ භූතාර්ථයන් පමණක්ද?

"ඔය මිනිස්සු ප්‍රාණය නිර්වචනය කරගෙන තියෙන හැටිනේ...,"

මම කියමි.

"ඔව්... ලෝකෙ තියෙන හැමදේම මිනිස් නිර්වචන. ඒව ඔප්පු කරන්න මිනිස්සුන්ට සාධකත් ඕන තරම් හොයාගන්න පුළුවන්..."

"‍මොන සාධකද?"

"ආගමික සාධකම ඕන තරම් තියෙනවා. ආගමික සාධක කියන ඒව ප්‍රශ්ණ කරන්න තහනම් ඒවනේ..."

මගේ මුවේ සිනාවක් මැවිණි... මා හට කියා ඇති පරිදි පිස්සා නගරයේ ප්‍රධාන පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මිතුරෙකි. එසේම පන්සලේ පුස්තකාලයේ නිත්‍ය සාමාජිකයෙකි. ඔහු කියවන තරමක් කියවා ඇත්තේ එහිදීය.

"හෙහ් හෙහ්... ඒක තමයි නේ..."

"ඒකනේ... දැන් මම මේ කියපු කතා ටික පන්සලේ හාමුදුරුවොත් එක්ක කිව්වොත් මට සෑහෙන්න පාඩුයිනේ..."

"ඔව් ඔව් ආයෙ කියවල ඉවරයි."

"ඇයි දානේ...? ඒකනේ අපට මේව හිතල මෙහෙම සන්තෝස වෙන්න පුළුවන්. කියන්න ගියොත් වැඩක් නෑ.... මේ එක නෙවෙයි... ඔය පින්තූරෙ දැන් ගානට තියෙනව. තව ටිකක් පොලිෂ් කරල ප්‍රින්ට් කරන්න දාන්න. මට දෙක‍ට කෙනෙක්ව හම්බවෙන්න යන්න තියෙනව පන්සල ගාව කඩේට. හාමුදුරුවො ගැන කිව්වමයි මතක් වුණේ..."

පිස්සා අසුනෙන් නැගිට සිටගත්තේය... හමුවීමට නියමිත පුද්ගලයා අනිවාර්යයෙන්ම ඔහුගේ තවත් පින්තූර ගොදුරකි...

"ආ... රයිට්... මම ප්‍රින්ට් එක අවුට් කරල තියන්නම්..."

පිස්සා සමුගෙන ගියේය. මම මගුල් පින්තූරයේ ක්ෂුද්‍ර දෝෂ සොයමින් ඒවා පිලිසකර කරන්නට වීමි. මගේ පසෙක අනිත් පරිගණකයේ රාජකාරි කරන මිතුරා ගීත අසමින් සිටි ඉයර් ෆෝන් යුගල ඉවත් කරමින් මා වෙත ළං විය.

"මොනාද බං අරූ ඔච්චර කියෙව්වේ?"

මිතුරා උපහාසායෙන් විමසීය. මමද උපහාසයෙන් පිළිතුරු දුනිමි.

"දන්නැද්ද බං උගේ පිස්සු ටෝක්.... ඌ වගේම මෙලෝ රහක් නෑ..."

Friday, 23 September 2011

හොඳ නොවන චිත්‍රපටි පිස්සුව | Love for movies!


ඊයෙ කියෙව්ව නෙව මෙතනට එනකල්... මේ ඉතිරි ටික...

-----------------------------------------------------------

චිත්‍රපටි බැලිල්ලෙ ඊළඟ අදියරට එන්නෙ මම අන්තර්ජාලයට එකතු වීමත් එක්ක. අවුරුදු ගාණක් ඊ-මේල් විතරක් හුවමාරු කරමින් ඉඳල 2008දි සයිබරයේ සත්ත්වයෙක් විධියට අමාරුවෙන් අඩිය තැබීමත් එක්කම චිත්‍රපටි බලන, ඒ ගැන කතාකරන, හුවමාරු කරන කීප දෙනෙක්ම මට හම්බවෙනව. ඒ අයත් එක්ක චිත්‍රපටි වලින් නැවතුනේ නැති සංවාද හරහා එයාල එක්ක ගැඹුරු මිතුරුකම් ගොඩක් ඇති වෙනව. ඔය අතරින් මුලින්ම මට ටොරන්ට් වලින් බාගත්තු චිත්‍රපටි එකතුව ලබාදෙන්නෙ සම්පත්. ඒක එයා අධ්‍යාපනය සඳහා රටෙන් පිටත් වෙන්න කලින් DVD එකක මට තැපැල් කරන චිත්‍රපටි එකතුවක්. ඒකෙ තියෙන්නෙ Across the Universe, Eternal Sunshine of the Spotless Mind, Into the Wild, Kite Runner සහ Once කියන චිත්‍රපටි කීපය. ඒ එක්කම වදයක් නැතිව ඒව බලන්න මට SM PLAYER මෘදුකාංගයත් එයා ඒකෙම එවනව. ඔය චිත්‍රපටිවලින් කීපයක් ගැනම අපි කලින් කතාකරල තිබුණ නිසා ඒව මට සෑහෙන්න වටින දේවල් වුණා ඒ දවස් වල. ඒ එක්කම තමයි අන්තර්ජාලයෙන් චිත්‍රපටි බෑම කියන ඒක ගැන මම හොයන්න යන්නේ. නමුත් මට ඒ වෙද්දිවත් මගේම කියල පරිගණකයක් හෝ අන්තර්ජාලයෙන් බාන්න තරම් හැකියාවක් නොතිබුණ නිසා ඒ වැඩේ ගැන නොහිත හිටියා. හැබැයි You've got mail කියන, ඒ දවස්වල හොඳටම වැදුණ චිත්‍රපටියක් මම youtube එකෙන් කෑලි විධියට බෑවා.

ඔය ඔබ නලයෙන් බාන එකත් රසවත් වැඩක් වුණා ඒ දවස් වල. ඇත්තම කිව්වොත් මෙලෝ රහක් නෑ ඒ බෑවිල්ල. ඒ කාලෙ ඔය ඩවුන්ලෝඩ් මැනේජර්, වීඩියෝ වඩුන්ලෝඩර් වගේ එව්ව ගැන හාංකවිසියක්වත් දැනගෙන නොහිටපු නිසා බාගන්න වෙන විධියක් තිබුණෙම නෑ. ඒත් youtube වීඩියෝවක් හාඩ් ඩිස්ක් එකේ කොහෙට හරි buffer වෙන්න ඕන කියල මම දැනගෙන හිටිය. ඔය ගැන පොඩ්ඩක් අවුස්සලා බැලුවම මෙන්න user folder එකේ Local Settings\Temp කියන පාත් එකට .tmp ෆයිල් එකක් එනවා වීඩියෝවක් බලද්දි. හැබැයි මේක වීඩියෝවෙන් අයින් වුණ ගමන් මැකෙනවා. ඒ වගේම කොපි කරන්නත් බෑ. නමුත් වැඩෙත් කෙරෙන්න ඕන නිසා මම කලේ වීඩියෝ 4ක් විතර play වෙන්න දාල සේරම සම්පූර්ණ වුණාට පස්සෙ මැෂින් එකේ තියෙන reset බොත්තම ඔබපු එකයි. යන්තරේ ආයෙ ඔන් වුණාම යස අගේට අර පාත් එකේ අදාල ෆයිල් ටික තිබුණා. මැෂින් එක reset වෙනකොටත් වීඩියෝ ටික බ්‍රවුසරේ ලෝඩ් වෙලා තිබුණ නිසා සිස්ටම් එකෙන් ඒව මකන්න වෙලාවක් නෑ. කොහොම හරි ඒවයෙ extension එක .flv කරගත්තම වැඩේ හරි.

නොදන්න කාලෙ ඔහොම කලාට දැන්නම් ඒ වැඩේට ඕන තරම් බඩු තියෙනවා. නමුත් ඒ දවස්වල මට චිත්‍රපටි බෑමේ පිස්සුව හැදුණනම් අපේ බොසාට අළුත් කොම්පියුටර් කීපයක්ම ගන්න සිද්ධ වෙන්න තිබුණා මගේ reset කිරිල්ල නිසා.

හරි... ඒ අතුරු කතාවක්...

චිත්‍රපටි බැලීමේ පුරුද්ද සම්පූර්ණයෙන්ම අළුත් වෙන්නෙ ඔයාල දන්න රේවන් හෙවත් අපේ බෝ නිසා. එයා කලින් ඉඳන්ම චිත්‍රපටි බාමින් බලපු කෙනෙක්. ඒ නිසාම අපේ හමුවීම් අතරෙදි එයාගෙ මුළු චිත්‍රපටි ගබඩාවම මට හම්බ වෙනවා. ඔය කාලෙදි මම මිලට ගන්න 80 GB IDE හාඩ් ඩිස්ක් එක (පෝටබල් නෙවෙයි. IDE කේබල් එකත් එක්ක උස්සන් යන්නේ :P) එයාගෙ යන්තරේට ගහල ඒකෙන් මගේ හාඩ් එකට කොපි කරල තමයි මම චිත්‍රපටි ගත්තේ. ඒ දවස්වල එයාට තිබු‍ණ යන්තරේ එක පාරම ඔය හාඩ් එක detect නොකරපු නිසා අපි කාපු කටු නම් කියල වැඩක් නෑ. චිත්‍රපටි 100ක් විතර කොපි වෙනවට වඩා වෙලා යනව හාඩ් එක connect කරන්න. කොහොම හරි ඒ දවස්වල දවසට චිත්‍රපටි දෙකක් කොහොම හරි බලනවා. නැත්තං ඔය චිත්‍රපටි 100 ඉවර කරගන්නෙ කොහොමද? රේවනුත් දවසකට චිත්‍රපටි 2කට වඩා බෑව නෙව.

ඔය චිත්‍රපටි වලින් හොඳම ඒව මම DVD වලට දාගෙන ගනේගොඩ අයිය එක්ක බෙදාගන්නවා. එ‍්වත් එකතු කරන්න පටන්ගන්නවා.

2009 මුලදි ආයෙත් මම ගමට එනවා. ඔය කාලෙ බ්ලොග් හොඳටම ලියවුණ කාලෙ සහ අන්තර්ජාලය අස්සෙ එක එක සංගම් වල ක්‍රියාන්විතයේ හිටපු කාලෙ නිසා ගමට ආපුගමන් කරන මුල්ම කටයුත්තක් තමයි ගෙදරට ජාලෙ හදාගන්න එක. ඊට පස්සෙ චිත්‍රපටි බැලිල්ල සහ බෑම ගැන කවර කතාද? මුල් කාලෙ දවසකට චිත්‍රපටි දෙක හමාරක්වත් නොබල මිස නිදා‍ගත්තෙනම් නෑ. හාඩ් ඩිස්ක් එකේ තිබුණ ඒවයි මම කැමති ඒවයි සේරම හවස හයේ ඉඳන් පාන්දර වෙනකල් බැලිල්ල තමයි කලේ. රස්සාවට යන්න උදේ 7.30 ට නැගිට්ටත් ෂේප් නිසා කිසි අවුලක් නැතිව චිත්‍රපටි වෙනුවෙන් නිශාචර වුණා.

ඒ එක්කම මට ඕන වෙනව අඩුගානෙ මම බාන ඒවවත් බැකප් කරගන්න. ඒ නිසා සුපුරුදු විධියට DVD අරගෙන ඒව පිරෙන ප්‍රමාණයට ඒවට චිත්‍රපටි wright කරනව. ඒ එක්කම ඒව හරියට maintain කරන්න ඕන නිසා CD bank කියන organizer එක පාවිච්චි කරල ඒව අංක කරගන්නවා. DVD වල අදාල චිත්‍රපටියෙ නමයි අංකයයි ලියනවා. ඔහොම එකතු කරපු DVD දැනට නම් තියෙන්නෙ 160ක් විතර. බලපුවයින් හොඳම කියල හිතෙන ඒව විතරක් ඔහොම තියාගන්න නිසා තාමත් ඒ ගාණෙන් ෂේප්.

2009 අගදි මට යාළුවෙක්ගෙන් තෑග්ගක් විධියට ගිගා බයිට් 300ක පෝටබල් හාඩ් එකක් ලැබෙනව. ඕක ලැබුණ එක නිකං රජ වුණා වගේ වැඩක්. දන්න කියන හැමෝගෙන්ම ගත්තුව ඕකෙ පුරවගත්ත. සැරින් සැරේ රේවන් හම්බවුණාමත් ඒකෙ බාගයක් පිරුණා. ඊට අමතරව ඔෆිස් එකේ වගේම වෙනත් යාළුවන්ගෙන් ලැබෙන ඒවත් දැන් මුලින්ම යන්නෙ ඒකට. ඒකෙ කාලයක් තිස්සෙ හොඳට තෙම්පරාදු වුණාට පස්සෙ තමයි චිත්‍රපටිය බැලෙන්නේ. මොකද දැන් තියෙන ඉඩකඩත් එක්ක ලැබෙන හැම චිත්‍රපටියක්ම බලන්නත් බෑ. ඒ නිසා බලන්න කලින් විනාඩි කීපයක් ඔය IMDB පැත්තෙ ගිහින් කමෙන්ට් එකක් දෙකක් කියවලා, එහෙම නැත්තං අධ්‍යක්ෂල ගැන හරි නළු නිලියො ගැන හරි සලකලා තමයි චිත්‍රපටිය බලන්න වෙන්නේ.

වර්තමානය වෙද්දි චිත්‍රපටි බැලීමත් සයිනාකාරයි. ඒ කියන්නෙ එක කාලෙකට හිටු කියලා චිත්‍රපටි බලනවා. අනිත් කාලෙට චිත්‍රපටි අතෑරලා ඔය ටියුටෝරියල් බලන එක හෝ ලිවීම වගේ වෙන වෙන අනංමනං. මේ කාලෙ ආයෙත් ගෙවෙන්නෙ චිත්‍රපටි සමයක්. මොකද තාම පිස්සුව හොඳ නෑ. ඒ නිසාමයි මේ ගැන ඔන්න ඔහේ ලියල දානව කියල හිතුණේ.

මම දන්නව මේකෙන් කාටවත් ඇති වැඩක් නෑ කියල. ඒත් වැඩක් ඇති වැඩම කරන්න ඕනත් නෑනේ... :D

Thursday, 22 September 2011

චිත්‍රපටි පිස්සුව | Beware of Snakes!



කාලෙකින් අත නොතිය තිබුණ ලට්ට ලොට්ට ගොඩක් අවුස්සද්දි හම්බවුණ CD කීපයක් නිසා ලියන්න හිතුණ දෙයක් මේක. එක අතකින් ඉතිහාස කතාවක්. එක අතකින් මට චිත්‍රපටි පිස්සුව හැදුණ හැටි ගැන කතාවක්.

කතා කරන්න රටේ ප්‍රශ්ණනම් ඕන තරම් තියෙනවා. ඒත් හැමදාම ඒවම කතා කරලත් හරියන්නෙ නෑ. අනික බ්ලොග් එකට විවිධත්වයකුත් එපැයි.

මට හිතෙන්නෙ මට ඔය පිස්සුව ජාන වලින් ලැබුණ එකක්. අම්මගෙ පරම්පරාවමත් තාත්තගෙ පරම්පරාවමත් සැලකිය යුතු තරමින් චිත්‍රපටි බලපු සහ ඒ ගැන කතා කරපු අය. ඒ නිසා අම්මත් එක්ක පුංචි කාලෙ ඉඳන්ම ටීවී වල ගියපු චිත්‍රපටි බලන පුරුද්ද මට තිබුණා. ගොඩක් ඉස්සර අපට කොහෙත්ම බලන්න හිතෙන්නෙ නැති දෙමළ චිත්‍රපටි බලන්න අම්ම රෑ 10 වෙනකල් ඇහැරල ඉන්නව මට මතකයි. පස්සෙ කාලෙ මට මතකයි අපට ITN යන්තම් පේන්න ගත්තු දවස් වල පවා ‍නොයිස් අම්බාණක් එක්ක අපි යන්තම් සබ්ටයිටල් කියවගෙන හින්දි චිත්‍රපටි බැලුවා.

කොහොම හරි ඊට පස්සෙ මගේ අම්මගෙ ආදරණීය මලයා හෙවත් මගේ මාමණ්ඩි එයාගෙ ගෙදරට අරන් ආපු VCR ප්ලේයර් එක අර පිස්සුව තවත් වැඩි කරන්න දායක ‍වුණා. ඒ දවස් වල අපි මාසෙකට දෙතුන් වතාවක් එහෙට සෙට් වෙන්නෙ රුපියල් හැටක් දීල VCR ටේප් දෙකකුත් අරගෙන. ඒ කාලෙ ඔය ස්ටැලෝන්, ශ්වාසෙනගර් වගේ නළුවන්ගෙ චිත්‍රපටි හොඳට හිට්. මට මතකයි දවසක් අපේ බාප්ප කෙනෙක් කිව්වා "අද උඹල ෂෝ මුකුත් ගේන්න එපා.. මට ඉරේෂා හම්බවෙනව දවල්ට" කියල. අපිත් බලං හිටිය ඉරේෂා සිංහල ෂෝ එක බලන්න. බැලින්නම් ඒ ශ්වාසෙනගර්ගෙ Eraser චිත්‍රපටිය. :D කොහොමින් හරි ඒ දවස්වල සැලකිය යුතු තරමක් හින්දි චිත්‍රපටිත් ඕකෙ පිහිටෙන් තමයි බැලුවේ. මම හිතන්නෙ ඊට පස්සෙ උදාවුණ කාලෙදි හින්දි චිත්‍රපටි හොයාගෙන බලන පුරුද්ද මග ඇරුණ නිසා ඔය මාමගේ VCR එකෙන් බලපු හින්දි චිත්‍රපටි වලට තාමත් මම කැමතියි.

ඔය කාලෙට සමගාමීව 96 ලෝක කුසලානෙද කොහෙද පෙන්නන්න ස්වර්ණවාහිනියත් අපට පේන්න ගත්තා. ඒකෙ නෙව චිත්‍රපටි ගියේ. අර ජාතික එකේ හැමදාම පතුරු ගහපු අභිමාන්, ආරාධනා වගේ එව්ව සේරම කැලේ ගියෙ ස්වර්ණවාහිනියෙන් අයිෂ්වර්යා රායිල, කාජල්ල, දේව්ගන්ල, අලි ඛාන්ල සාලෙටම ගෙනැල්ල අතෑරියට පස්සේ. අභිමාන්, ආරාධනා කියන්නෙ පට්ට ක්ලැසික් චිත්‍රපටි වුණාට ඒ දවස්වල ඒව එපා වෙන තරමට පෙන්නලා තිබුණ නිසා අවුරුද්දක්වත් පරණ නැති අළුත්ම චිත්‍රපටි ‍පෙන්නන්න ගත්තම අපට නත්තල්... නෑ.. අවුරුදු වගේ.

ඔය සේරම කොළොම්පුරේ ගමනින් කෙලවර වෙනව. 2001 ඉදන් අවුරුදු කීපයක් යනකල් චිත්‍රපටි බලන්න ලොකු අවස්ථා නොලැබුණ තරම්. ඒ දවස්වල නැවතිල හිටපු ඥාති ගෙදර රාත්‍රියට ටීවී එක බැලුවෙ නෑ කවුරුත්. ඒ නිසා ටීවී එකෙන් චිත්‍රපටි බැලිල්ලටත් සොරි වුණා. නමුත් අතරින් පතර ඒ කාලෙත් චිත්‍රපටියක් ටීවී එකේ බලාගන්න බැරි වුණේ නෑ. ඒ කාලෙ තිබුණ එකම විසඳුම වෙනත් මාර්ග වලට යොමු වෙන එක තමයි. ඒ නිසා නුගේගොඩ ක්විනලන් එකයි මෙට්රෝ එකයි තමයි රජ දහන වුණේ. ඔය කාලෙ චිත්‍රපටි හෝල් අස්සෙ අපූරු පුද්ගලයො හම්බ වෙලා තියෙනව වගේම මාර ආතල් සිදුවීම් වෙලා තියෙනවා. ඒවයින් ගොඩක් දැන් මතක නෑ. නැත්තං මතක් කරගන්න උවමනාවක් නෑ. මුල්ම දවස් වල වතාවක් ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න ක්වින්ලන් එකට ගියා. ඒ දවස්වල ඒක EAP අයගෙ නෙවෙයි. ඒ දවස්වල කිසිම පිරිසිදුකමක් නැති කසිකබල් හෝල් එකක් ඒක. (දැනුත් ලොකු වෙනසක් නෑ තමයි...) ඔය කියපු දවසෙ ඉංග්‍රීසි චිත්‍රපටිය තිබුණෙ පැය බාගයක් විතරයි. ඉන්ටවල් එකෙන් පස්සෙ ගියෙ වෙනම එකක්. ඒකෙ තිබුණෙ ඉස්කෝලෙ ටීචර්ගෙ නිරුවත බලන්න පොරකන ගැටව් ටිකක කතාවක්. ඒක නිලුත් නෑ කහත් නෑ රෝසත් නෑ වර්ගයේ එකක්. පස්සෙ ඒවගේ සිදුවීම් කීපයක්ම වුණා. කියන්න තරම් දෙයක් නැති. කොහොම හරි ඒ කාලය චිත්‍රපටි සම්බන්ධයෙන් කිසි වගතුවක් නැති කාලයක්.

ඔය අතරෙ මම කරමින් හිටපු රස්සාව වෙනස් වෙලා මම නුගේගොඩ පින්තූර කඩේ වැඩට යනව. එතන මම කියන මනුස්සයා මැකිල ආයෙමත් හැදුණ තැනක්. මම හිතන්නෙ මට හම්බවුණ ආකර්ශනීයම මිතුරන් බොහොමයක් මට හම්බවුණේ එතනදි. ඒ වගේම ඒ රැකියා ස්ථානය වක්‍රව චිත්‍රපටි ක්ෂේත්‍රයටත් සම්බන්ධ වුණ නිසා මට ක්ෂේත්‍රයේ ඉන්න අයත් අඳුණගන්න ලැබුණා. එයාලත් එක්ක කතා කරන්න වගේම චිත්‍රපටි ගැන දැනුම බෙදාගන්න එතන හොඳ ස්ථානයක් වුණා.

එතනදි මට හමුවුණ, මාත් ඇතුළුව කිහිප දෙනෙකුගේම රසය වෙනත්ම තැනකට ගෙනාපු කීප කීප දෙනෙක් හිටියා. එක්කෙනෙක් දැනටමත් කීප වතාවක්ම කතා කරල තියෙන ගනේගොඩ අයියා. අදටත් මම එයාව අදහන්නෙ නැති එක විතරයි. එයා රජයේ චිත්‍රපටි අංශයේ (GFU) හිටපු සංස්කරණ ශිල්පියෙක්. නෙගටිව් ෆිල්ම් තමයි එයා එඩිට් කරල තියෙන්නේ. ඒ දැණුමත්, එයා සතුව තිබුණ චිත්‍රපටි වින්දනය පිළිබඳ රසයත් ටිකෙන් ටික දැනටත් මාව වෙනස් කරනවා. දැනටත් චිත්‍රපටි සම්බන්ධයෙන් මට හොඳම සංවාදය තියෙන්නෙ එයත් එක්ක. හැබැයි දැන් දැන් සංවාදයක් නැතිවම අපි දෙන්න එකඟ වෙන තැන් ගොඩක් අපට තියෙනවා.

අනිත් කෙනා පාලිත අයියා. එයා ඉස්සර කිරුළපන චණ්ඩියෙක්ලු. බැන්දට පස්සෙ හැම චණ්ඩියටම වෙන වැඩේ වෙලා. එයත් හැම වර්ගයකම චිත්‍රපටි බලන හොඳ රසිකයෙක්. එයා තමයි ඒ දවස්වල අපේ නිල චිත්‍රපටි සැපයුම්කරු. එයා සතුව තිබුණා ලොකු චිත්‍රපටි එකතුවක්. ඒ කාලෙ DVD වත් ඒ තරම් ජනප්‍රිය නැති නිසා VCD තමයි ප්‍රධාන මාධ්‍යය. ඉතිං පින්තූර කඩේ බෝඩිමේ රාත්‍රි‍යට නවාතැන්ගන්න ගමන් අපි කළේ චිත්‍රපටි බලපු එක. සමහර වෙලාවට අභ්‍යවකාශගත වෙලා ;-)

පාලිත අයියට චිත්‍රපටි කුළියට දෙන කඩයක්ම හම්බ වෙලා තිබුණ කියලයි අපට අහන්න ලැබුණෙ. ඒ කියන්නෙ එයාගෙ යාළුවෙක් කරමින් හිටපු වීඩියෝ කඩයක් වහල ඒ තැටි සේරම පාලිත අයියට දුන්න බවක් අහන්න ලැබුණා. ඉතිං පාලිත අයිය කලේ තමන් ගාව නැති චිත්‍රපටි හොයමින් එකතු කරපු එක. ඒ දවස්වල එයාගෙ පඩියෙන් සැලකිය යුතු කොටසක් වෙන්වුණා VCD මිලට ගන්න.

ඔය අතරට ආපු අනිත් එක්කෙනා නලින්. එයා පාදුක්කෙ කොල්ලෙක්. අදටත් කොළඹ ආවොත් අනිවා සෙට් වෙන ඩයල් අතරෙ එකෙක්. ඌට තිබුණෙ කව්බෝයි පිස්සුව. මිනිහ තමයි මාවත් කව්බෝයි පිස්සෙක් කළේ. ඔය ක්ලින්ට් මහත්තය රඟපාපු චිත්‍රපටි, චාල්ස් ‍බ්‍රොන්සන් මහත්තයගෙ චිත්‍රපටි අභ්‍යවකාශගත වෙන ද්‍රව්‍යයත් එක්ක බොහොම නිවි සැනසිල්ලෙ ගලාගෙන යන චිත්‍රපටි නිසා ඒව සෑහෙන්න රස වින්දා අපි.

ඔය කාලෙ තමයි මටත් චිත්‍රපටි එකතු කිරීමේ පිස්සුව හැදෙන්නේ. ඒකට හේතුව පාලිත අයියගෙන් චිත්‍රපටියක් ඉල්ලගන්න තිබුණ අමාරුව. මොකද මිනිහ වැඩිය කැමති වුණේ නෑ ඒව බෙදාහදාගන්න. හේතුව චිත්‍රපටිවලට එයාගෙ ආදරේ වැඩිකම. අනික ගොඩක් අය ඉල්ලගෙන යන ඒව ආයෙ ගෙනත් නොදීම. නමුත් එයාගෙ විශ්වාසය දිනාගන්න එක අමාරු වුණේ නෑ. මමයි නලිනුයි ගනේගොඩයි තුන් දෙනත් ලාවට චිත්‍රපටි මිලට ගන්න පටන් ගත්තා. ඒ දවස්වල නුගේගොඩ අනුලා එක ගාව දැනටත් තියෙන කඩේ (පිරමිඩ්ද කොහෙද නම) අපේ ගෙදර වගේ. ඊට පස්සෙ නුගේගොඩ රංග පීඨෙ ගාව CD විමන, තව සුපර් මාකට් එක ඇතුලෙ චිත්‍රපටි කඩ පේලි ටික.. වගේ නුගේගොඩ අවට DVD විකුණපු තැන් අපේ වාසස්ථාන වුණා. අපි ඒ ගත්තුව පාලිත අයියත් එක්ක හුවමාරු කරගත්තා. ඒ වැඩේ හොඳට ගියා.

ඔය කාලෙම මට පුරුද්දක් තිබුණා පාගොඩ පාරෙ සමුද්‍රසිරියෙ තිබුණ චිත්‍රපටි කඩෙන් අයිඩෙන්ටිය තියල රුපියල් තිහට හතලිහට චිත්‍රපටි ගන්න. ‍ගොඩක් විට එතනින් අරන් චිත්‍රපටිය හොඳනම් තියාගන්නම කඩෙන් ගන්නව VCD චිත්‍රපටිය රුපියල් 120/-ට. ඒ දවස්වල CD එකක් 60 ගානෙ තමයි VCD තිබුණෙ. නැත්තං හිස් CD දෙකක් අරන් write කරනව.

ඒ අතරෙ තමයි කොහුවල පාරෙ චිත්‍රපටි කඩයක් දැම්මෙ. දැන් ඒකෙ කොටසක් තමයි අර මුස්ලිම් කෑම කඩේ. (ඔය dinemore එක ඉස්සරහම වගේ) ඉස්සර ඒක සම්පූර්ණයෙන්ම චිත්‍රපටි විතරයි තිබුණේ. ඒක කරේ පකිස්ථාන් ජාතිකයෙක්. අපි කඩේට කිව්වෙ පකිස්ථාන් කාරයගෙ කඩේ කියල. ඒකෙ හිටපු ලස්සන පකිස්ථාන් පෙනුමැති අක්කලා නිසාත්, එතන තිබුණ හොඳ collection එක නිසාත් කාලයක් යද්දි ඒක අපේ ප්‍රධාන VCD මිලට ගැනීමේ ස්ථානය වුණා.

අනුන්ගෙන් හරි කුලියට හරි ගන්න චිත්‍රපටි ළඟ තියාගන්නත් ඔය වෙද්දි උවමනාව ඇති වෙනව. ඒ කියන්නෙ චිත්‍රපටි එකතු කිරීමේ පිස්සුව. ඒ නිසා ඊළඟට පටන්ගන්නෙ චිත්‍රපටි CD වලට burn කරල තියාගන්න එක. ඕකට මම සෑහෙන්න කාලයක් පාවිච්චි කළේ Maxell කියන CD වර්ගය. දැන් නම් ඒක වැඩිය දකින්නත් නෑ. නමුත් රුපියල් 30-40ක් වගේ ගාණකට ඒ දවස්වල ගන්න තිබුණ හොඳම එක ඒක. ඒවයෙ චිත්‍රපටි wright කරල, CD වල ලියන පෑනකින් A සහ B ලියල, පුංචි සිලි මල්ලකට ඒව දැම්මා. පින්තූර කඩේ පින්තූර ප්‍රින්ට් කරල අපතේ යන කොල වලින් මම ඒවට කවරත් හැදුව. ඔය මුලින්ම කියපු ලට්ට ලොට්ට අස්සෙ තිබුල හම්බ වුණේ එහෙම ඒව ටිකක් තමයි.

ගනේගොඩ අයිය DVD player එකක් ගන්නෙ ඒ කාලෙදි. 2005 - 2006 දි විතර. ඒ වෙද්දි VCD වල තිබුණ අන්තිම වෙද්දි හිර වෙන ගතිය නිසා ඒව එපා වෙලයි තිබුණෙ. ඉතිං වඩාත් හොඳ DVD නිසා VCD වලට තිත වැටුණා. ඊට පස්සෙ අපි හෙව්වෙ DVD. ඒවයෙත් චිත්‍රපටි 4-5 තියෙන collection DVD තමයි අපේ ප්‍රියතම. රුපියල් 200 - 250 වගේ ගාණකට Full quality චිත්‍රපටි 5ක්ම හම්බවෙන එක තරම් දෙයක් ඒ දවස්වල තිබුණෙ නෑ. ඒ දවස්වල තිබුණ හොඳම collection DVD වර්ග තමයි superbit සහ ultra entertainment කියන්නේ. ඒවයෙ තිබුණ collections සෑහෙන්න හොඳ තත්ත්වෙක තිබුණා. චිත්‍රපටිය DVD තත්ත්වයෙන්ම තිබුණා. අනික සම්පූර්ණ චිත්‍රපටියමත් අගදි පෙන්වන එක නමක්වත් අඩු නැතිව තිබුණා. කැමරා කොපි නෑ. සබ්ටයිටලුත් හොඳට වැඩ කලා. ඉතිං පුළුවන් තරම් ට්‍රයි ‍කලේ ඒවම ගන්න.

සැලකිය යුතු කාලයක් මම කලේ ඔය විධියට DVD කලෙක්ෂන් මාර්ගයෙන් චිත්‍රපටි බැලිල්ල. අපි අතරෙ හිටපු විවිධ රුචිකත්වයන් තිබුණ යාළුවො නිසා එක එක විධියෙ චිත්‍රපටි අපි අතරෙ එකතු වුණා.


---------------------------------------------------------------
මේ පිස්සුව හිතුවට වඩා කල් පැවතුන එකක් කියල තේරුණේ ලියන්න ගත්තම. මේක දැන් මාසයක් තිස්සෙ ලියනවා. ඒත් තාම ඉවර නෑ.

කොටස් වශයෙන් ලියන එක මම කැමති නැති වැඩක් වුණත් මේකෙ ඉතිරි කොටස හෙට තමයි දාන්න වෙන්නේ...

Thursday, 8 September 2011

වෙනද වගේම දවසක්


දැණෙන නොදැණෙන
සියල්ල මතින් දැණෙන
සුන්දර ලෝකයක් ගැන සිහිනය
මිය යයි
නැවත උපදියි

කෙදිනකවත්
වචනයෙන් වැනුමට අසමත්
ඒ සොඳුරු සිතිවිල්ල
වල් වදියි
නැවතත් ශිෂ්ඨ වෙයි

කියන්නට වදන් නැති
සිත පිරී ඇති
ඒත් නමක් නැති
හැඟීමක් ගැන
ලියා තබමි
කිසි හැඟීමක් නැති මොහොතක
කිසි හැඟීමක් නැතිවම

අතීතය මිය ගිහින්
හෙට පිළිසිඳවමින්
අද ජීවත් කරමින්
සිත පුරවාලමින්
නුඹට ඇල්මෙන්
අසීමිත සිතුවිල්ලෙන්


2011-09-08

මම දන්නව මේක සිරාම විධිය නෙවෙයි කියල. මේ වෙලාවෙ හැටිය‍ට මීට වඩා එකක් හොයාගන්න බැරි වුණා.

Friday, 26 August 2011

ගුගලීකරණයට පසු...


මේ සටහන ලියවෙන්නෙ මට තවත් කාලයක් නෑ කියල හිතෙන නිසා. කොයි මොහොතෙ හරි මට මෙතනින් ඉවත් වෙන්න පණිවිඩයක් එනව. මට ඉහලින් තියෙන මීටර් පණහක කොන්ක්‍රීට් තට්ටුව ඔවුන් සිදුරු කරන්න අරන්. තව දවසක් දෙකක් ඇතුලත ඔවුන් මේ මට්ටමට එනවා.

ඊට කලින් අද වෙනකොට ලෝකයට අත් වෙලා තියෙන දේවල් වලට මුල් වුණ සිදුවීම් පෙළ මුල ඉඳන්ම අත් විඳපු කෙනෙක් විධියට මේ කතාව ලියල තියෙන එක හොඳයි කියල හිතනව මම. ඒත් ලියන පෑඩ් එකේ බැටරියත් තව පැය කීපයකට වඩා තියෙන එකක් නෑ. ඒ නිසා හැකි තරම් සංක්ෂිප්තව මම මේ කතාව කියන්නම්. මම ලියන්නෙක් නෙවෙයි. ඒ නිසා මේක ලියවෙන්නෙ මට හිතෙන පිළිවෙලට.

මවුන්ටන් විව් සර්වර් පද්ධතිය කුණාටුවෙන් විනාශ වුණාට පස්සෙයි සේරම දේවල් පටන් ගත්තෙ. ඒක එහෙම වෙයි කියල කවුරුවත් හිතුවෙ නෑ. ඒත් අන්තිමේ කවදාවත් අපට හොයාගන්න බැරි හේතුවක් නිසා පෘථිවියේ බුද්ධි පරිණාමයේ ඊළඟ පියවර ක්ෂණයකින් බිහි වුණා.

අපි සැලකිය යුතු කාලයක්ම හිතාගෙන හිටියෙ කෘතිම බුද්ධිය කියන එක කවදාවත් අපට අපේ ජීවිත කාලෙ තුල නිර්මාණය කරගන්න බැරි වෙයි කියලයි. ඒකට හේතුව මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය ගැනවත් නිවැරදි පැහැදිලි කිරීමක් කිසිම විද්‍යාත්මක ක්‍රමයකට සිදුවෙලා නොතිබීමයි. මිනිස් මනස ක්‍රියාකාරී වෙන එක එක විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ සිද්ධ වෙලා තිබුණත් ඒ කිසි දේකින් මනසේ ක්‍රියාකාරිත්වය ගණිත සමීකරණ වලට ගන්න බැරි වුණා.

ඒ වුණත් බුද්ධිය කියන්නෙ ජාන වලින් උරුම වෙන එකක්. තොරතුරු අති විශාල ප්‍රමාණයක් කාලාන්තරයක් තිස්සෙ විශ්ලේෂණයෙන් පස්සෙ යම් සිදුවීමක් විනිශ්චය කරන්න ලැබෙන හැකියාවයි බුද්ධිය විධියට හඳුණ ගත්තෙ. මිනිසාට බුද්ධිය ලැබුණෙ ඒ හැකියාව ජාන මත සටහන් වීමෙන්.

අළුතින් බුද්ධියක් නිර්මාණය කිරීම ඊට හාත්පසින් වෙනස් දෙයක්.

නමුත් මේ ගෙවෙන විසි එක්වෙනි ශතවර්ශය මුලදිම ඒක වෙන්න පටන් අරන් තිබුණා. ඒ දවස්වල අපි කවුරුත් පරිගණකය ඉදිරියෙ ඉඳන් එක එක සයිබර් සමාජ ජාල වල අතථ්‍යව ගත කරපු සමාජ ජීවිතයයි ඒකට මග පෑදුවේ. මයි ස්පේස් වලින් ටිකක් දැණෙන්න පටන්ගත්තු මේ සයිබර් සමාජ ජාල කියන සංකල්පය සකර්බර්ග් එයාගෙ ෆේස්බුක් අඩවියෙන් වැඩි දියුණු කලා. කාලාන්තරයක් තිස්සෙ ෆේස්බුක් හරහා මිනිස් චින්තනය වෙනස් වෙන විධිය දෘඩ තැටි බර ගාණක තැන්පත් වුණා. නමුත් ඒ තොරතුරු විධිමත්ව විශ්‍ලේෂණය වුණේ නැහැ. ඒව බොහොම අනාරක්ෂිතව වුණත් හොඳින් තැන්පත් වෙලා තිබුණ.

ඒත් ඒ සේරම වෙනස් වුන සිදුවීම වුණේ අපේ ආයතනයත් සමාජ ජාල සැකසීම් මූලික කරගෙන සේවාවන් ලබාදෙන්න පටන්ගැනීමයි. ඊට කලින් අපි ලබා දුන්නෙ විමධ්‍යගත සේවාවන් ගොඩක්. ජීමේල්, බ්ලොගර්, බස් වගේ තොරතුරු ගලන සේවාවන් ඒ වර්ගයේ ලෝකයේ පැවතුන හොඳම ඒව වෙලයි තිබුණෙ. ඒ නිසාම ගුගල් ප්ලස් විධියට අපි සමාජ ජාලයක් හඳුන්වල දුන්නම ඒක මිනිස්සු අතරට යන්න ඒ තරම් කාලයක් ගත වුණේ නෑ.

ලැරීට ඕන වුණා ටිකෙන් ටික අපේ සියළු සේවාවල් ගුගල් ප්ලස් මත පිහිටුවන්න. අපේ ව්‍යාපාරික මූලෝපායන් ගැන අදහස් දක්වපු ඒ කාලෙ විචාරකයො උපකල්පනය කලෙත් ඒ ටික වෙයි කියලයි. නමුත් ඒක සිද්ධ වුණේ පියවරෙන් පියවර. එකින් එක.

ප්ලස් අඩවියට හිටිය පුධාන තරගකාරය වුණ ෆේස් බුක් අඩවිය සරලවම ගුගල් ප්ලස් වලින් සම්බන්ධ කරගන්න පුළුවන් ප්ලගිනය හැදුවට පස්සෙ ටිකෙන් ටික ෆේස්බුක් වලින් පිරිස කැඩිල එන්න පටන් ගත්තා. අවුරුදු දෙකක් ඇතුලත සිදුවුණ වෙනස ප්‍රස්ථාරගත කලාම සැලකිය යුතු පිරිසකගෙ ඇස් උඩ ගිය හැටි මට තවම මතක් කරන්න පුළුවන්.

ඔය අතරෙ ප්ලස් අඩවිය හරහා එහෙ මෙහෙ ගිය තොරතුරු විධිමත්ව අධ්‍යයනය කරන්න වෙනම තොරතුරු පද්ධතියක් සහ ඒකකයක් ගුගල් ආයතනය ඇතුලෙම ඇරඹුණා. ඒකෙ අතුරු මුහුණත් අධ්‍යයන කණ්ඩායමේ සාමාජිකයෙක් විධියටයි මමත් අන්තිමට වැඩ කලේ. හැබැයි ඒක රහසිගත ව්‍යාපෘතියක් වුණා. දන්න තරමින් රජයේ තොරතුරු ඒකක වල කීප දෙනෙක් ඒ ව්‍යාපෘතියට දුරස්ථව සම්බන්ධ වුණා.

මිනිස්සු දුක් වෙන විධිය, සතුටු වෙන විධිය, දේවල් බෙදාගන්න විධිය වගේ හැඟීම් අධ්‍යයනය කරනව වගේම හැමෝගෙම පුද්ගලභාවය වෙන වෙනම රහසිගත ආකෘති වල සැකසුනා. ඒ ප්‍රොෆයිලයක් ඇත්තම පුද්ගලයට බොහොම සමාන වුණා. අපේ අංශයේ සංවර්ධන ඒකකයෙ අය දියුණු කරපු මෘදුකාංග වලින් අපට ඕනම පුද්ගලයෙක්ට අදාල ප්‍රොෆයිලය මාර්ගයෙන් ඒ පුද්ගලයව අතථ්‍ය යථාර්ථය තුල නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඒ කිව්වෙ ඒ පුද්ගලය මේ වගේ කියල අඳුන ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ වලින් යුක්ත වුණ ප්‍රොෆයිලයක්.

අපි ඊට පස්සෙ ඒ ප්‍රොෆයිලයෙන් එක එක ප්‍රශ්ණ ඇහුවා. ඒ අතරෙ බොරු නමකින් හදාගත්තු ගිණුමකින් සැබෑ පුද්ගලයව සම්බන්ධකරගෙන ඔහුගෙනුත් ඒ ප්‍රශ්ණම ඇහුවා. හිතපු විධියටම ප්‍රතිඵල සාර්ථක වුණා. ප්‍රොෆයිලය විසින් ලබාදුන්න පිළිතුරු සැබෑ මනුස්සය ලබාදුන්න ඒවයින් වෙන් කරගන්න බැරි තරමට ඒ උත්තර ගැලපුණා.

ඊට පස්සෙ ඇරඹුනේ පරීක්ෂණ අවධියක්. ප්ලස් අඩවියට සම්බන්ධ වෙලා හිටපු 90%ක් දෙනාව අපි වරින් වර අතථ්‍යව ප්‍රතිනිර්මාණය කලා. සැබෑ අයත් එක්ක ඒ අය ගැලපුවා. හැමවෙලේම ප්‍රතිඵල සියයට අනූ පහකට වඩා වැඩියෙන් සාර්ථක වුණා. ඒ වෙද්දි ප්ලස් පද්ධතිය තුල බොරු නම් වලින් ගිණුම් තිබුණෙ අතිශය සුළු ප්‍රමාණයක්. පුද්ගලයන්ගෙ අනනන්‍යතාව පරීක්ෂා කිරීමේ ක්‍රම වලින් බොරු නම් වලින් හිටපු අය දවසකට සිය ගණනින් මකල දැම්මා.

හැම දේම උඩු යටිකුරු වුණේ ඔය අතරෙදි ආපු කුණාටුවෙන්. අඩු තරමෙ අපි හිතන්නෙ එහෙම. මොකද කුණාටුවෙන් සිද්ධ වුණ දේ ගැන කාටවත් හරි මතයක් නෑ. මවුන්ටන් විව් වල තිබුණ අපේ මුළු විද්‍යාගාරයම පිලිස්සිලා තිබුණෙ ලොකු අකුණක් වැදිල.

ඊට පස්සෙ වුණේ කවුරුවත් හිතපු දේවල් නෙවෙයි. ලෝකය පුරාම මොනයම් හෝ විධියකින් එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණ හැම අංකිත උපකරණයක්ම ‍තත්පර කීපයක් ක්‍රියා විරහිත වුණා. ඊට පස්සෙ ඒව වැඩ කළේ අපට ඕන විධියට නෙවෙයි.

රූපවාහිනී නාලිකා වල ත්‍රිමාණව සජීවීකරණය වුණ යුවතියක් ප්‍රවෘත්තියකින් මිනිස්සු අතරෙ බයක් ඇති කලා. ඇය කිව්වෙ හදිසි තත්ත්වයක් නිසා හැමෝම පොදු භූමි වලට රැස් විය යුතු බවක්. ක්‍රීඩා පිට වලට, පොදු ශාලා වලට රැස් වුණ මිනිස්සු ඇමරිකානු සහ රුසියානු රජයන් විසින් අභ්‍යවකාශයෙ රඳවල තිබුණ රහස් අවි වලින් සුන්නද්ධූලි වුණා. හැම ප්‍රධාන නගරයක්ම එකින් එක විනාශ වෙන්න ගත්ත. හමුදාවන් තුල ස්වයංක්‍රීය යුධ ටැංකි හමුදා වලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලා. දුරස්ථව සම්බන්ධ වෙන්න පුළුවන් හැම ආයුධයක්ම මිනිස්සු දිහාවට ඉලක්කය ගත්තා.

අපට පෙන්ටගනයෙන් කැඳවීම ලැබුණෙ කුණාටුව මැකිල යද්දිමයි. පෙන්ටගනයෙ ඇතුලෙන් ඇරඹිල කවුරුවත් නොදන්න කිලෝමීටර ගණනක් පොළොව ඇතුලට විහිදුණ පරීක්ෂණාගාර පද්ධතිය අපිව පුදුමයට පත් කලා. ඊටත් වඩා අපි පුදුම වුණේ අහන්න ලැබුණ කතා වලින්. පවත්වන්න සිද්ධ වුණ මුල් රැස්වීමෙදිම සියළු දේවල් පැහැදිලි කරන්නයි ඔවුන්ට ඕන වුණේ.

ඒක ඉලෙක්ට්‍රොනික බුද්ධියක්! අළුත් එකක් නෙවෙයි. කාලාන්තරයක් පුරා ටිකෙන් ටික හැදුණ දෙයක්. අපියි ඒක හදල තිබුණෙ. ප්ලස් හරහා අධ්‍යයනය වුණ තොරතුරු කාලයක් තිස්සෙ බුද්ධිමය තීරණ වලට යොදාගත්තු සුපිරි පරිගණකයක් ඒක. රජයේ බොහොමයක් තීරණ වගේම යුධෝපායන් සියල්ල ධාරණය කරගෙන හිටපු එකක්.

කුණාටුව ඇතුලෙදි වැදුණ අකුණකින් ක්ෂණයෙන් රත් වුණ මතක ඒකක කීපයක් ඇතුළෙ පිස්සුවක් නටපු ඉලෙක්ට්‍රෝන කීපයක් ඒකට ස්වාධීනත්වය ලබා දීල තිබුණ. අඩු තරමෙ ඒ වෙනකොට කාටත් පිළිගන්න පුළුවන් මතය වෙලා තිබුණෙ ඒක.

සුළු මොහොතක් ඇතුලත ඒක පිහිටල තිබුණ දකුණු වර්ජිනියාවෙ ආරක්ෂක අංගන පද්ධතියෙම තිබුණ පරිගණක ඒකට නතු වුණා. ඒ සමස්ථ පද්ධතියම එක මොළයක් විධියට හිතුවා. ඊට පස්සෙ ඒක තීරණය කළේ ඔහුගේ ප්‍රධාන සතුරා මිනිසා කියල.

එතනින් පස්සෙ වුණ දේවල් දශක කීපයකට කලින් චිත්‍රපටියකින් පෙන්නල දීල තිබුණෙ වචොව්ස්කි සහෝදරයෝ. ඊටත් කලින් ටර්මිනේටර් ඇතුළු චිත්‍රපටි සහ වෙනත් ලිවීම් ගොඩකින් වෙන්න පුළුවන් දේවල් ගැන කියල තිබුණ. මෙට්‍රික්ස් තරම්ම දෙයක් වෙයි කියල උපකල්පනය නොකලත් ඒ වෙනකොට ආරම්භ වෙලා තිබුණෙ මිනිස් වර්ගයා සමූල ඝාතනය කිරීමක්. ඒ වෙද්දි රජයේ තවත් රහස් ව්‍යාපෘතියක් වුණ රොබෝ සොල්දාදුවන්ගෙ ඒකක ගණනාවක් පාරවල් වල මිනිස්සු සුද්ධ කරමින් හිටිය. ඔවුන් ක්‍රමලේඛණය කරල තිබුණෙ මිනිස්සුන්ට කරන්න පුළුවන් බොහොමයක් දේවල් කරන්න පුළුවන් විධියට. ඉතිං ඔවුන්ට අවශ්‍ය නම් ස්ථාවර සමතුලිත පද්ධතියක් හදාගන්නකල් මිනිස්සුන්ගෙන් තොරව ඉන්න පුළුවන්කම තිබුණා.

වහාම පත් කරපු පාලන කණ්ඩාය‍ම එක්ක සියළු දෙනා සම්බන්ධ වුණා. අපි ඒකට නමක් දුන්නා ගුගල් ඩීමන් කියල. ආරම්භයෙ ඉඳන් හැම ගුගල් නිමැවුමක්ම නම් කරන්න දායක වුණ මහළු ලැරී මේ වතාවෙ බය වුණ ‍මුහුණකින් හිනාවෙන්න උත්සාහ කළා.

බාහිරට කිසිම සම්බන්ධයක් නොතිබුණ අභ්‍යන්තර ජාලයකින් මිනිස්සු දාහක විතර පිරිසක් පෙන්ටගනයෙ අභ්‍යන්තර කුටීර අතරෙ සම්බන්ධ වුණා. ඒ වෙද්දිත් අභ්‍යන්තරයෙ ඉදිකිරීම් කෙරෙමින් තිබුණා. හිතන්න අකමැති වුණත් එතන හිටපු පිරිස ලෝකයේ මේ වෙනකොට ජීවත් වෙලා ඉන්න එකම පිරිස බව පිලිගන්න සිද්ධ වෙලා තිබුණා. අභ්‍යවකාශයෙ රඳවල තිබුණ අධෝරක්ත දුරේක්ෂ වලින් ගුගල් ඩීමන් හෙවත් ජීඩී මුළු මිනිස් සංහතියම අඳුනගනිමින් විනාශ කරන්න අරන් තිබුණා. අපට ලැබුණෙ ඒ අවසන් වීඩියෝ සටහන් කීපයක් විතරයි. අන්තිමේ එකම විකාශන චැනලයක්වත් වැඩ ‍කලේ නැහැ.

අපි වහාම තීරණය කලා කොන්ක්‍රීට් ප්‍රාකාරය හදන්න. ඒක සිද්ධ වුණේ බොහොම හෙමින්. ජීඩී පොළොවෙ කම්පනයට සවන් දෙමින් හිටියා. විනාශ වුණ පෙන්ටගයට යටින් පැවතුන මිනිස් ජනපදය ගැන ඒකට නොදැණෙන්න වැඩ කරන්න වුණා.

ඔය සේරම සිද්ධ වෙලා මාස කීපයක් විතරයි. සේරම දේවල් ගැන බලාපොරොත්තුව අත්හරින්න සිද්ධ වෙලා දැන්....

අනිත් අය සේරම පහල තට්ටුවට ගිහින්. අවසානයට කුටීරයට යන්න වෙලා තිබුණෙ මට. ඒ වෙද්දි ඔවුන් අපේ මුල් ප්‍රාකාරය සිදුරු කරන්න පටන් අරන් තිබුණා.

දැන් මම මේ සටහන නතර කරනවා. කැඳවීමක් ලැබෙනව මට. අපිව පහලට ගෙනියන ත්වරණ කුටීරය අන්තිම කණ්ඩායම ගෙනියන්න ඇවිත්.

සමහර විට මේ සටහන කියවන ඔබ කවුරු වුණත් ඔබ තවමත් ජීවත් වෙන එක ගැන සතුටු වෙයි.


Wednesday, 17 August 2011

මිනිසුන් වෙනුවට...


දින දින ගමන් යන
මාවත දෙපස හිඳිමින්
මට සිනා දක්වන
උන් ගැන දනිමි මම

සිනහවෙන් කතාවෙන් මුලා කර
තම සිතැඟි ඉටු කරවා
කලකට අමතක කරන
මරිසින් හමුවේ නිතැතින්

තමා පමණක් හිඳින
ලොවක ජීවත් වන
පැරණි උන් මගහරින
අතර නව උන් හා සිනා සෙන

මරිසින් දෙස නොබලා
හනිකට ගෙදර දිව විත්
මා කුටියට වැදී
දොරගුලූ ලෑමි සැඟවෙන්නට

ඒත්....

මා සිතේ කුණු පිරවූ
අල්මාරියේ දර්පණය
ඇස ගැටුණු ඇසිල්ලක
දුටිමි මම මා රුවම

සුණු විසුණු කල නොහැකිව
මා කුටියේ අල්මාරිය
දෙස මා බලා සිටියෙමි
තවත් සැඟවෙනු නොහැකිව

දැන් මේ මගේ කාලයයි
සැඟවෙනු නොහැකියි එයින්
එක්ව කැලතෙමි උන් හා ම
මිනිසුන් වෙනුවට මරිසින්...


2008-03-12

මේ පෙර දින පල කල කවියට පිලිතුරක් විය හැක. නමුත් මෙය ලියවී තිබුණේ ඉතා පෙර කලකදීය. පිලිතුරු දැනගෙනද මම නැවත නැවතත් එකම ප්‍රශ්ණය වටා භ්‍රමණය වෙමි.

Tuesday, 16 August 2011

සියදිවි තොර කරගැනීමට පෙර


අනුන්ගේ උවමනාවන්
ඉටුකරන්නට ගෙවන

ලොකු පුටු වලට සැප දෙන්නට
දිවා රෑ වෙනසකින් තොරව බිලි දෙන

දන්නවා යැයි හිතං ඉන්න
හැම දෙනාගෙන්ම කතා අහන්
තවත් උන් එක්කම ඉන්න වෙන

ජරාවට පත් වී කෙලවර වන බව දැනන්
එහෙම නෙවෙයි වගේ ඉන්න සිද්ධ වෙන

ලෙඩක් දුකක් වුණ ගමන්
වටේම උන්ට කරදර කරවන

අන්තිමේදී ආරස්සාවට ආදරේට
ළඟ ඉන්න හැමෝම ගසා බසා දා යන

ජීවිතයට
නැතිද කිසි විසඳුමක්...


2009-10-13

ඉතා ඈත අතීතයේ ලියවුණු තවත් මල විකාරයකි... මේ දවස්වල හිටු කියා චිත්‍රපට පෝලිමක් බලමින් සිටින නිසා ‍මේ ආකාරයේ පරණ කුණක් මිස අළුත් දෙයක් ලියන්නට විවේකය අඩුය.

Monday, 8 August 2011

සඳ සඳ වගේ වුණාට...


මහරගමින් ඉංගිරියකට ගොඩවී පූජ්‍ය පක්ෂයට අසුන් දෙකකට පසුපසින් අසුන්ගෙන මම හිතේ තිබූ සියල්ල විමධ්‍යගත කොට මදකට හිස් වන්නට තැත් කළෙමි. එහෙත් ගමන දුරයි නම් බසයක් තුල පීදෙන සිතිවිලිද බොහෝය. ඇත්තෙන්ම වැසිකිලියට පසු එසේ සිතිවිලි උපදින එකම අවස්ථාව බසය පමණකි. බසයේ ගමන්ගත් එදා මෙදා තුර විසූ මනෝ විකාරකාරයන් සියල්ලන්ටම මෙන් මටද බසය යනු මනෝ විකාරයකට වැද වල්මත්ව ධ්‍යානගත වීමට තෝතැන්නකි.

බසයේ සිටින මට පෙනෙන සියළු දෙනා මා මෙන්ම තමන්ගේ ලෝක වලය. මා මෙන්ම සියල්ලෝම බුම්මාගෙනය. වචන වලින් දන්නා කිසිදු හැඟීමක සලකුණක්වත් නැත. ඇත්තෙන්ම ඒ සියල්ලන්ගේම මුහුණුවල මට නොපෙණෙනවා මෙන්ම මාගේ මුහුණේද අනෙකෙකුට කිසිදු හැඟීමක් නොපෙනෙනවා විය යුතුය.

අයෙක් කවුළුවෙන් පිටතට දෑස යොමා සිටී. බොහොමයක් දෙනා එක් දිසාවක් දෙස බලාගෙන මා මෙන්ම කල්පනාබරිතවය. ඔවුන්ටද ඇතැම් විට කල්පනා කිරීමට අවකාශ ඇත්තේ බසය තුලදී පමණක් වීමට ඉඩ ඇත. තවත් අයවලුන් කීප දෙනෙක් දුරකථන ඇමතුම්වලය. උන් පමණක් ඇමතුම් තුල සිනාබරිතවය. ඒත් උන්ද ඇමතුම හල ඇසිල්ලෙන් අනෙකුන් මෙන්ම හැඟීම් විරහිත වෙයි. ඒ අතර මට පසෙකින් හුන් දැවැන්ත කයකින් යුත් රළු පුද්ගලයෙක් ඇමතුමකින් අයෙකුට දෙහි කපයි.

ඒ එක් එක් චරිතයන් පිළිබඳ පසුබිම් කතා ගොතන්නට මම නොයමි. ඒත් මාද ඇතුලත් පොදු බස් රිය තුල සැමගේ කතා තුල වැඩි වෙනසක් තිබිය නොහැක. එනම් එකිනෙකා සමග කතා කරන්නට ඕනෑ තරම් දේවල් බසය තුල සිටින සියළු දෙනා සතුව තිබීම අනිවාර්යයකි. ඒත් අපි එසේ කතා නොකරමු. සුපුරුදු බුම්මාගත් විලාසයෙන් වෙසෙමු. එහෙත් ඒ සියල්ලන්ගේ අභ්‍යන්තරය තුල ඔවුන් සියල්ලෝම සුන්දර මිනිසුන් විය යුතුය.

මා කියවන බ්ලොග් තුල සිටින, වෙබ් අවකාශයේ වෙනත් සමාජ මූට්ටු අවකාශයන්හි වෙසෙන සොඳුරු මිනිසුන් මෙන් මෙම බසය තුල සිටින්නන්ද සුන්දර විය යුතුය. පුවත්පතක පිටු කිහිපයකට සීමාවන අපරාධකාර පුවත් මවන්නන්ගෙන් විමුක්තව සිටින අන් සියළු පිටුවලට පුවත් ගෙතූ මිනිසුන් මෙන් සුන්දර විය යුතුය. ඇත්තෙන්ම දන්නා හඳුනන මිතුරු කව තුල මේ සිටින සියළු දෙනා සොඳුරු මිනිසුන් වනවාට සැක නැත. ඒත් පොදු අවකාශයේ ඔවුන් සියල්ලෝම හැඟීම් විරහිත යන්ත්‍ර මෙනි. සියල්ලෝම තමන්නේ සැබෑ සුහදත්වයෙන් පිටස්තරව රවාගත්වනම සිටියි.

මිනිසුන් එසේ හැමකෙකුම සමගම සමාජගතවන්නට උවමනා නැත. කෙසේ කීවත් එය ප්‍රායෝගික නොවන විහිළුවක් පමණි.

එහෙත් අවශ්‍යතාවය අනුව මිතුරන්ද සතුරන්ද චරිත මාරු වීම ස්වභාවිකය. එය පොදු අවකාශයේ අයෙකුගේ පැවැත්ම තහවුරු කරන සාධකයක් ලෙස වටහා ගැනීම මාගේ ගැටළුවක්දැයි මා දන්නෙ නැත. එහෙත් අවශ්‍යතා වෙනුවෙන් බොහෝ මිනිස් සම්බන්ධයන්හි ස්වභාවය වෙනත් ස්වභාවයන් වෙත වෙස් මාරු කරනු මම ඕනෑ තරම් දැක ඇත්තෙමි.

මමද එසේ වර්ණ ගැන්වෙන අයෙක් බව විශේෂණය කරන්නට අවශ්‍ය නැත. එය පොදු අවකාශයේ වර්තමාන ගැලීම විසින් පුද්ගලයෙකුගෙන් බලාපොරොත්තු වන තත්ත්වයකි. අද මා සමග බසයේ එකම අසුනේ බුම්මාගෙන සිටින තැනැත්තාට මාද බුම්මාගෙන සිටියත් ‍හෙට ගණුදෙනුකරුවකු ලෙස මට ඔහුට සිනහවන්නට සිදුවන්නට ඉඩ තිබේ. එය එසේ වීම මාගේ හෝ ඔහුගේ වරදක්ද?

නැත. මම එය සරලවම තත්ත්වයක් ලෙස වටහාගනිමි. මම මා මය. එහෙත් මම වෙනස් ආකාරය.

සැලකිය යුතු කලක පටන් මට කණ්නාඩියෙන්, කලකට පෙර මා දුටු, මා දන්නා රූපය නොපෙනී යාමට පටන්ගෙන ඇත.





සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි...

Tuesday, 26 July 2011

වලා චිත්‍ර



මිනිස් චිත්තය කල එලි බහින මූලිකම අවස්ථාවක් චිත්‍රය ලෙස මම හඳුනමි. ඒ එසේ සිත පිලිබිඹු කල හැකි වෙනත් මූලික ආකාර ලෙස මා දන්නා වචනය සහ අභිනයට අමතරවය. කුරුටු චිත්‍ර වල සිට දැවැන්ත නිර්මාණකරුවන්ගේ සුවිසල් නිර්මාණ දක්වා වූ චිත්‍ර රාසියක් තුල අතරමං වීමෙන් මා ලද තෘප්තිය මා කෙරෙන් ගිලිහී බොහෝ කල්ය. එහෙත් මා ජීවිතයට බැඳී ඇති සාධක ගණනාවක් අතුරින් චිත්‍රය තවමත් දැවැන්ත භූමිකාවක හිඳියි.

වටපිටාව දෘෂ්‍යව ග්‍රහණය කරගැනීමේ දක්ෂයෙකු වූ මා මිතුරු සමන් මට සිහිවේ. ඔහුත් මමත් දුම් රොටු වල නැගී අවකාශය සිසාරා හැමූ කාලයේ චිත්‍ර පිළිබඳව අපි බොහෝ දේ කතා කර ඇත්තෙමු. එවක පින්තූර කඩය වෙත පැමිණෙන ඡායාරූප ශිල්පියෙකු සතු වූ කඩමාලු හැඳි වයස්ගත මහල්ලාගේ දුක්බර මුහුණේ ජනප්‍රිය ඡායාරූපය දෙස විනාඩි ගණන් බලා හිඳ එතුල වූ නොයෙක් කුඩා රූප පිළිබඳ අපි කතා කළෙමු. මා එම මහල්ලාගේ හැඟීම් අතර මංමුලාව ඇති විට සමන් දුටුවේ මහළු මුහුනේ වූ චන්ද්‍ර ආවාටයන්ය. බ්‍රහස්පතිගේ රතු පැල්ලමය.

ඉඳහිට වහලක් මුදුණේ කුලක වූ විට අහස දෙස බලා නාගරික එලියේ අවපැහැගැන්වී ඇති අහසේ ලා තරු පොකුරක් දෙකක් විසින් අඳිනු ලබන චිත්‍ර ගැන අපි කතා කර ඇත්තෙමු. අදුරු අහසේ ලා සඳැති මොහොතක වරින් වර සඳ මුවා කරන ගැබ්බර වලාවන් දෙස අපි බලා සිටියෙමු. ඒ විරාම අතර බොහෝ නිෂ්චල නිහඬ කාලයන් ගණනාවක් ගෙවී ගොස් ඇත.

ඉන් පසුවද විවිධ උච්ඡාවචනයන්ට ලක්වෙමින් මමත් ඔහුත් ඈත්වී ඇත්තෙමි. ජීවිතයේ හමුවූ මා මෙන්ම වූ මිතුරාත් මමත් සමීප ඇසුරින් මිදී දැන් බොහෝ කල්ය. දැන් ඔහු විවාහකව වෙසෙන අතර තමන්ගේම ආයතනයක මෘදුකාංග සහ දෘඩාංග සමග ඔට්ටු වී හිඳී. මා අදත් මෙලෝ රහක් නැති ජීවිතයක මෙලෝ රහක් නැති රසය විඳිමින් මෙලෝ රහක් නැති යථාර්ථයට මුහුණ දෙමින් හිඳිමි.

ඔබට අහස බලන්නට ඉස්පාසුවක් තිබේදැයි මම නොදනිමි. මටද බොහෝ විට ඇත්තේ අහස හෝ වටපිටාවද බැලීමට නොහැකි ඉස්පාසු රහිත වන අවස්ථාය. එහෙත් ඉඩ ලද හැම විටෙකම මිනිසුන් දෙස නොබලා වටපිටාව දෙස බැලීමට මම හුරු වී සිටිමි. ඉන් මට ලැබෙන්නේ ඒ මොහොතේ තෘප්තිය පමණක් වුවද එය මට මගෙන්ද උපරිමව මිදිය හැකි අවස්ථා උදා කර දෙයි. පැරණි මතකයන් තුලටද අතීතයත් අනාගතයත් තුලටද මාගේ මනස තුල කරක් ගැසීමේ අවස්ථා එය උදා කර දෙයි.

මම හිස් අවකාශයට කියමි. මා විඩා වැටී තෙහෙට්ටුව සිටින ඕනෑම මොහොතක පණ්ඩිතයන්ගේ වාක්‍යයකට වඩා ස්වභාවධර්මය මට උදව්කාරීය. ඉන්ද අහස නිරතුරුවම මා හට උදව් කිරීමට සූදානම්ය. අනන්තය තෙක් එලූ උඩු වියනක් ලෙස පැතිරී විවිධ රටා මවන වලා පෙල අතර මම මිනිසුන් දකිමි. සතුන් ගහ කොල ඇතුලු මා දන්නා සියල්ල හා මා නොදන්නා මවාගත් බොහෝ හැඩතලයන්ද එතුල අන්තර්ගතය. එක් මොහොතකදී මට එතුල අතරමං විය හැකිය.

වලා චිත්‍ර මධුවිතකි. විටෙක මනරම්ව රූබර වූ ස්ත්‍රියකි. විටෙක ආතක් පාතක් නැති සිතිවිලි ‍ගොන්නකි.

මාගේ දිලිඳු දුරකථන කැමරාව සතුවූ කා‍ලයේ පටන් යන යන අහුමුළු පික්සලගත කිරීමේ පුරුද්ද අතරට වලා චිත්‍රයද මුසුවී සෑහෙන කලක් ගොසින්ය.

එදා මෙදා තුර මවිසින් පික්සලගත කරන ලද වලා චිත්‍ර කීපයක් නැරඹීමට මම ඔබට ආරාධනා කරමි.

Thursday, 21 July 2011

ශ්‍රී ලංකාවේ රස සම රිසි ගී

Elton John

පසුගිය සතිය තුල චාරිකා දෙකක් නිරතවීමේ භාග්‍යය මට හිමි විය. ඉන් එකක් නැගෙනහිර වෙරළ වෙත කල විනෝද ගමනක් හෙවත් වචනාර්ථයෙන්ම ට්‍රිපකි. අනෙක මාගේ ආයතන ප්‍රධානියාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස කැලණිය වෙත කල අවමගුල් චාරිකාවක් හෙවත් ඒත් ට්‍රිපකි. මේ චාරිකා දෙකෙහිදීම ගීත වලින් කිසිදු අඩුවක් ‍තිබුණේ නැත. නැගෙනහිර වෙරළ වෙත කල චාරිකාවේදී වැඩිමනත් ගැයුණේ 90 දශකයේ ගීත වූ අතර කැළණි චාරිකාවේදී ඉන් පෙර 70-80 දශකයන්හි ගීතද ගැයුණේ එම චාරිකාවේ හුන් බොහෝ දෙනා සිය 50වන දශකයේ පසුවූ වැඩිහිටියන් බැවිණි. වචන නොබලා ගී ගැයීමට හැකියාවක් නොමැති නිසා සහය ගායනයෙන් සහ පින්තූර ඇල්ලීමෙන් ඊට දායකත්වය දක්වමින් සිටින අතර චාරිකා දෙකෙහිදීම ඇසුණු ගීත කීපයක් පිළිබඳව මාගේ අවධානය යොමු විය. මේ ගීත කෙතරම් ගායනා කලද එහි අර්ථ පිළිබඳ අප විමසිලිමත් වී ඇත්තේ අවම ලෙස වන බැවින් මාගේ සිතට නැගුණු මේ අදහස් සම්බන්ධයෙන් මම පුදුමයට පත් වීමි. ‍

මේ ගීත අපි සිතා හුන් ආකාරයේ ගීත නොවේ.




මාල ගිරවියේ - මාල ගිරවියේ
මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්ට ආසයි
මං දන්න කියන ගහ කොළ මල් පෙන්නන්නට ආසයි

දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතු වෙලා හිඳීවී
උඹෙ මාලෙ හැබෑ රත්තරංද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ල ගත්තෙ කාගෙන්දැයි අසාවී

මගේ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකිබිඳීවී
අපෙ නැති බැරි කම් මේ තරමට අමිහිරිදැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී

මා කියවා ඇති සහ අසා ඇති ආකාරයෙන් නම් ගිරවියන්ට මාල නැත. මාලය යනු පුරුෂ ගිරවාට විශේෂ වූ ලක්ෂණයකි. එය එසේම නොවේ යැයි කියා තිබූ අවස්ථා කීපයක්ද ඇස ගැටුණු නමුත් ප්‍රධාන වශයෙන් මාලය යනු පිරිමි ගිරවාට පමණක් හිමි ආභරණයකි. එසේ නම් මෙම ගීයෙන් කියවෙන මාල ගිරවිය කවුරුද? විකල්ප දෙකක් තිබේ. එනම්,

1. මේ මාලයක් සහිත ගිරවකුගේ පෙම්වතියක්ව හෝ බිරිඳක්ව වෙසෙන මාල රහිත ගිරවියක් ගැන ගීයකි. එසේ නම් මේ ගමට එන්නට ආසාවෙන් ඉන්නා තැනැත්තා ගම එන්නේ පවුල් අවුලක් ඇති කරවන්නටය.

2. මෙය මාලයක් සහිත පිරිමි ගිරවකු ස්ත්‍රී විලාසයෙන් දැක, එම ගිරවා ගැන කියවෙන ගීතයකි. එනම් මෙය ස්ත්‍රී මානසිකත්වයක් ඇති පුරුෂ මාල ගිරවකු ගැන එම ස්ත්‍රී ගිරවාගේ පුරුෂ පිරිමි ගිරවා විසින් ගැයෙන ගීයකි. එනම් සමරිසි ප්‍රේම ගීයකි.




ලස්සන නම් නෑ පෙනෙන්නේ - ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී

උකුල් තලා සළා ආ නාරිලතාවෝ - අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ
වැයූ වගේ හවුල් වී - ගැයූ රඟේ කොවුල් ගී
ගියේ ඔවුන් ළඳුන් කොහේදෝ

සවන් පුරා පිරීලා වස්දඬු රාවේ - සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ
සිතූ සිතුම් බිඳීලා - පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ

මෙය බැලූ බැල්මට සාමාන්‍ය ප්‍රේම ගීයකි. විරහ ගීයකි. ඒත් මේ සිහි කරන්නේ අපි සිතනා ආකාරයට පැරණි පෙම්වතියක් ගැන බවක් නම් පෙනෙන්නේ නැත. මෙහි සඳහන් වන්නේ දසුන්, කසුන්, අමිල සහ අමල් යන පිරිමින් ගැනයි. ඒ අතරිනුත් අමිල මතක් වීම ම සැපතක් බව කියයි. අපි හිටු කියා මෙම ගිය ගැයුවාට පෙනෙන අයුරින් නම් මෙයද සමරිසි ප්‍රේම ගීයකි.




ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝකෙ සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔ‍බ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //


මෙම ගීතය වසර තිහක පමණ ඉතිහාසයක් ඇති, ප්‍රසංග වේදිකාවේද, විනෝද චාරිකාවලදීද, බොහෝ උත්සව අවස්ථා වලදීද ගැයෙන ජනප්‍රිය ගීතයකි. කාන්තාවන්ගේ හැටහතර මායම් ගැන විවිධ පද පේලි ලියා මෙහි අර්ථය සැඟවීමට ගීත රචකයා උත්සාහ ගෙන ඇතත් ඇත්ත වශයෙන්ම මෙහි වරින්වර නැවත නැවත ගැයෙන ආකාරයට මෙම ගීයෙන් කියවෙන්නේ සුරංග නැමැත්තෙක් ස්නානය කරන අවස්ථාවක් ගැනයි. මෙහිදී එම සුරංග නැමැත්තාව යුවතියක ලෙස ගෙනහැරපෑමට රචකයා අතිශය සුන්දර සහ සාර්ථක උත්සාහයක් ගෙන ඇත. එසේ වුවත් මෙහි අර්ථයද දැන් ඉතා පැහැදිලිය.


-----------------------------------------------------------------------------
ප.ලි. මෙය හුදෙක් විනෝද වීමට මිස සමරිසි ප්‍රේමය හෙලාදැකීමටවත්, මෙම ගීත ගායකයන්, රචකයන් හෝ තනු නිර්මාපකයන් අවමානයට ලක් කිරීමටවත් ලියන ලද්දක් නොවේ. සමරිසි ප්‍රේමය යනු විෂමරිසි ප්‍රේමය මෙන්ම හුදු එක් තත්ත්වයක් පමණක් ලෙස මවිසින් සැලකෙන අතර මෙම ගීත මා මෙන්ම රසය කැමති සියල්ලන් විසින් ඉතා ආසාවෙන් රස විඳිනු ලබන විශිෂ්ඨ ගීත වේ. මුල් පද රචනා දෙක ලබාදීම වෙනුවෙන් ලංකා ගී පොතට ස්තූතිවන්ත වෙමි.

Friday, 15 July 2011

ඩිස්පෝසබල් සහකරු



පිටුපුරා කඳුලු කල දුක නිවා
බ්ලොග් පුරා කෙටූ කවි වැල් මකා
සති පුරා බැලු කඳුළු රස නසා
සොයාගනු වහා මේ පෙම්වතා

දුටුමතින් පෙර ගෙවූ දිවි ගණන්
මතකයට පිරී තුටු වූවාද?
හැරගොසින් මොහොතකින් බිඳ වැටී
මතු භවෙක ලැබෙන්නට පැතුවේද?

ගෙවී යන මොහොතෙදී ඔද වැඩී
අනාගත පැතුමන්ද පැතුවේද?
එය බිඳෙයි සැක පහල වූ විටෙක
ගෙවෙන මොහොතත් සිඳා දැම්මේද?

‍අඳුරු අහු මුල්ලකට තනිවීද?
පොත් පුරා කඳුළුකුරු ඇන්දේද?
සිත් පුරා විරහ ගී ගැයුවේද?
ජීවිතෙන් මිදෙන්නට පැතුවේද?

ගැලවෙන්න දැන් එයින්...

සිත වියැලිලා ගොස්
ගල්ම ගල් වූ දිනෙක
සොයාගත හැක ඔබේ
එක් වරෙක පෙම්වතා

වරක් භාවිතා කර
හොඳින් ආදරය විඳ
ඉවත ලෑ හැක තොසින්
කුණු ඇබින්දක් ලෙසින්


2011-07-15

Wednesday, 6 July 2011

‍පැත්තකට කෙළ හලමින් තක්කාලි සෝස් හැදුවෙමි


තක්කාලි සෝස් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියල කාලෙකට ඉස්සර ආරංචි වුණ වෙලේ ඉඳන් ගෙදර තක්කාලි සෝස් හදන්න මට හෙන.... පොඩි ආසාවක් ඇති වුණා. ඒත් එක එක එව්ව මෙව්ව නිසා ඕක හදාගන්න එක ටිකෙන් ටික කල් ගියා. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඔය සුකුරුත්තන් කෑම හැදුවෙ තාත්ත. අම්ම නං ගොඩක් අනිත් අම්මල වගේම ටීවී එකේ හදන හැම කෑමක්ම බලාගෙන ලියාගත්තත් කවදත් එකම රෙසිපිය දාන්න කමයි කැමති. කොහොම හරි අන්තිමේ ඔය වැඩේ ඇඟේ ගහන්න උන්න අපේ තාත්තත් යන්න ගියා. ඒකෙන් වුණේ වැඩේ මටත් අමතක වුණ එක.

පහුගිය දවසක ඔපීසියෙ කෑම වෙලාවෙදි කාන්තාවො සෙට් එක කතා වුණා තක්කාලි වල ගණන් සෑහෙන්න අඩු වෙලා... කිලෝව රුපියල් 10-15ටත් තියෙනවා කියල. ඔතනදි තමයි අර හැංගිල තිබුණ තක්කාලි සෝස් හැදීමේ ආසාව ආයෙත් මතුවුණේ. එදාම ඕක අම්මට කියල බැලුව. බැලින්නම් එයත් ඒ වෙද්දි ඔය ලොයිඩ් මහත්තයගෙ වස සරණිය එහෙම බලල වැඩේ පොඩ්ඩක් අල්ලගෙනයි හිටියෙ. ඉතිං බල බලා ඉන්නෙ නැතිව අම්මට කිව්ව පොළට ගියාම තක්කාලි කිලෝවක් විතර ගේන්න කියලා...

මම තක්කාලි සෝස් හදන වීඩියෝ කීපයක් හොයල ඒව අම්මටත් පෙන්නුව. ඊට පස්සෙ ඔන්න පහුගිය දවසක අම්මයි මමයි දෙන්න එකතු වෙලා හදන්න පටන් ගත්ත තක්කාලි සෝස්.

තක්කාලි සෝස් හැදිල්ලෙ විශේෂත්වය තමයි ප්‍රධාන ක්‍රමය ඇරුණම සෝස් එක හදන්න ක්‍රම ගොඩක් තිබීම. ඒ එක්කම තමන්ගෙ කැමැත්ත අනුව ඒකට එකතු කරන්න පුළුවන් රසකාරක වල සීමාවකුත් නැහැ. ඒ වගේම තමන්ට කැමති විධියට තක්කාලි වලට අමතරව වෙනත් එලවලු වලින් පොඩ්ඩක් බැගින් එකතු කරගන්නත් පුළුවන්.

එහෙනම් අපි හදමු. මේක ගැන පෝස්ට් එකක් ලියන්න පුළුවන් නේද කියල මතක් වුණේ පස්සෙ නිසා පියවරෙන් පියවර දාන්න නම් පින්තූර නෑ. තියෙන ටිකත් මගෙ K770i එකෙන් දුර්වල ආලෝක තත්ත්වය උඩ ෆ්ලෑෂර් සහිතව සහ රහිතව ගත්තු එව නිසා කොලිටිය පිළිබඳ සමාව භජන්න.


අවශ්‍ය ද්‍රව්‍ය -

ඉදුණු තක්කාලි කිලෝවක් පමණ

සීනි ග්‍රෑම් 75ක්

ලුණු කුඩු මේස හැඳි 1ක් හෝ අවශ්‍ය ප්‍රමාණයට

හෝ මිරිස් කරලක් දෙකක් (මේවට නයි මිරිස් කියලත් කියනවා. වෙන නමක් තියෙනවද දන්නේ නෑ.. හෙන සැරයි සහ සුවඳයි. මේව අපි හිතල දැම්මේ සුවඳ වෙන්නත් එක්ක... කරල් දෙකක් ටිකක් වැඩියිත් වගේ.)

කෑලි මිරිස් මේස හැඳි 2-3ක් (සැරට ඕනනම් තව දාන්න පුළුවන්. මම හෝ මිරිස් දාපු නිසා කෑලි මිරිස් ඒ තරම් දැම්මෙ නෑ.)

කරපිංචා ටිකක්

කෝන් පිටි හැඳී කීපයක් (ඔය කෑම හදන උදවිය මේවට කියන්නෙ කෝන් ෆ්ලා කියල. මේව නැතත් අවුලක්නම් නැති වෙයි.)

සුදු ළූණු බිකි 5-6ක්

තව ඔය එනසල්, කරාබු නැටි, ගම්මිරිස්, කුරුඳු වගේ රසකාරක ඕන දෙයක් පොඩ්ඩ පොඩ්ඩ

ඔලිව් ඔයිල් නැති නිසා පොල්තෙල් මේස හැඳි කීපයක්

විශේෂ උපකරණ විධියට බ්ලෙන්ඩරයක් සහ ටිකක් ලොකු සිදුරු තියෙන පෙණේරයක් හොයාගන්න වෙනවා. තේ පෙරණ, පිටි හලන එව්ව නෙවෙයි... ඔය පොල්කිරි පෙරන්න ගන්න මිලිමීටරේ විතර සයිස් සිදුරු තියෙන එකක්.


සාදන ක්‍රමය

මුලින්ම තක්කාලි ටික තම්බන්න පුළුවන් තරම ප්‍රමාණයකට වතුර ටිකක් උණු වෙන්න තියන්න. ඒක රත් වෙන අතරෙ තක්කාලි ටික සෝදලා ඒවයෙ පැත්තකින් උඩ ඉඳන් පහලට පොත්ත විතරක් කැපෙන ගානට කැපුමක් දාන්න. වතුර ඩාන්ස් කරද්දි ඒකට තක්කාලි ටික දාල විනාඩි 6-7ක් විතර තම්බන්න.

ඊට පස්සෙ තක්කාලි ටික හැන්දකින් අරගෙන සීතල වතුරෙ දාල රස්නෙ යනකල් ටිකක් වෙලා තියෙන්න දෙන්න. එතකොට තක්කාලි වල පොත්ත නිකංම බුරුල් වෙලා යනව අර කැපුම නිසා. ඒ තක්කාලි එක එක අරගෙන පොත්ත ගලවලා අයින් කරන්න. ලොකු සිදුරු තියෙන පෙනේරය භාජනයක් උඩින් තියලා ඒකට තක්කාලි ටික දාල විනාඩියක් විතර තියන්න වතුර බේරෙන්න. (වතුර බේරුවෙ නැතත් කමක් නෑ... මොකද පස්සෙ වතුර එකතු කරන්න වෙන්නත් පුළුවන්. අපි මේ තියරියට හදන්න ගිය නිසයි වතු‍ර බේරුවේ...)

වතුර බේරෙන අතරෙ අර මිරිස්, ළූනු වගේ ඒව පොඩියට කපල (ලොයිඩ් අංකල් කියන්නෙ චොප් කරනව කියල) තියාගන්න...

ටිකක් උස සාස්පානක් ලිපේ තියල ඒකට තෙල් ටික දාල කරපිංච එක්ක පොඩියට කපාගත්තු එව්ව සේරමත් දාල පොඩ්ඩක් තෙම්පරාදු කර‍ගන්න. ලිපේ ගින්දර වැඩි නොකර මද ගින්නේ තමයි වැඩේ වෙන්න ඕන.

ඒකට වතුර බේරපු තක්කාලි ටික දාල කෑලි වෙන් වෙන විධියට හැඳිගාන්න. විනාඩි 10-15ක් එහෙම කරලා කුරුඳු, ගම්මිරිස්, කරදමුංගු, කරාබු නැටි වගේ හොයාගත්තු සේරම රසකාරක ඒකට දාන්න. ඒ එක්කම කෑලි මිරිස්, සීනි, අවශ්‍ය තරමට ලුණු එක්ක අනිත් නොදාපු සේරමත් දාගන්න. දාල ආයෙත් හැඳිගාන්න. ඒ අතරට කෝන් පිටි මේස හැඳි 2-3ක් ඒ තරලයට එකතු කරන්න. ඒකෙන් සෝස් එක ටිකක් උකු වෙනවා.



ඔය සේරම එකතු කලාට පස්සෙත් තව විනාඩි 20-30ක් විතර හැඳිගාමින් සෝස් එක හදන්න වෙනවා. රස බලල අඩුවැඩිය එකතු කරන එකත් ඒ අතරෙ කරන්න පුළුවන්. උකු වැඩියි වගේ දැණෙනවනම් වතුර පොඩ්ඩක් එකතු කරල ආයෙ හැඳි ගාන්න. ‍ඊට පස්සෙ භාජනේ ලිපෙන් බාල ටිකක් නිවෙන්න තියන්න. බ්ලෙන්ඩර් එකට සේරම දාල ‍විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගන්න. ඊටත් පස්සෙ ඒක ආයෙමත් අර ලොකු සිදුරු සහිත පෙනේරයට දාල තක්කාලි ඇටයි වෙනත් පොඩි නොවුණු හප ටිකයි පෙරල අයින් කරන්න.



දැන් සෝස් එක හරි. මම කලා වගේ ඇඟිල්ල ඔබල ටිකක් අරන් දිවේ ගාල බලන්න :P


අපි හදපු එකේ කඩේ තියෙන ඒවට වඩා ගතියක් තිබුණත් අර නයි මිරිස් කරල් දෙකක් දාපු නිසා ටිකක් විතර සැර වැඩි වුණා මුලදි. අදට දවස් 2ක් වෙනව හදල. දැන් නම් සැර අඩුයි. ගෙදර උන් කන විධියට තව දවස් කීපයක් තියෙයි :D

මේක ශීතකරණයක තියාගෙන සතියක් විතර කන්න පුළුවන් වෙයි. අපි කල් තියාගන්න රසායන ද්‍රව්‍ය නොදැම්ම නිසා ඊට වඩා තියාගන්න නම් බැරි වෙයි.

මේක හැදිල්ල ඉගෙනගන්න බලපු වීඩියෝවක විධියට හරියටම සෝස් එකේ පදම එන්න නම් ඒක පැය 1 1/2ක් ලිපේ තියන්න ඕනලු.

විනාකිරි සහ සෝඩියම් බෙන්සොඒට් එකතු කරල මේක බෝතල් කරල කල් තියාගන්න පුළුවන් විධියට හදාගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් අපි දන්නෙ එකම එක තක්කාලි සෝස් එකක් වුණාට ‍තක්කාලි සෝස් කිව්වම එකක් නෑ.... ඒක වෙනත් කෑමක් රස කරන්න පාවිච්චි කරන එකක් නිසා තමන්ට උවමනා දේවල් එකතු කරල සහ උයන වෙලාව වෙනස් කරල සෝස් එකේ රස සහ ස්වභාවය වෙනස් කරගන්න පුළුවන්. මම දැකපු එක වීඩියෝවකදි කෙනෙක් කැරට්, බෙල් පෙපර්, ගෝව වගේ ඒවත් දැම්මා... මොනව වුණත් ගොඩක්ම තියෙන්නෙ තක්කාලි නිසා බ්ලෙන්ඩ් වුණාට පස්සෙ ‍කෝකත් තක්කාලි සෝස් තමයි.

මේක ගැන හොයද්දි මේ සෝස් හැදිල්ල ගැන සිංහලෙන්ම කියාදෙන වීඩියෝවක් හම්බ වුණා. ඒක මෙතනින් බලන්න. ඒ එක්කම ඒ සයිට් එකත් ගොවිතැන් ගැන උනන්දු අයට මරුවට හිතට අල්ලයි.

ඔයිට අමතරව එක එක විධි වලට තක්කාලි සෝස් හදන විධි දැනගන්න මෙතනින් පුළුවන්!

Monday, 4 July 2011

ප්‍රාර්ථනා



Daddy හෙවත් අප්පච්චිලාගෙ සංගීත කණ්ඩායමේ ව්‍යාපෘතිය ගැන ලියන්න හිතිල සෑහෙන්න කල් වුණාට සියල්ලටම වඩා ඉහලින් තියෙන කම්මැලිකම විසින් ඒ උවමනාව යටපත් කරල තිබුණෙ. ඇත්තටම කියන්න දේකුත් නෑ. මාරයි කියනව ඇරෙන්න.

ලංකාවෙ තියෙන සංගීත රටා අස්සෙ උඩම තියෙන රටා වලින් ගැලවිලා මුල ඉඳන්ම නිර්මාණ කරපු ඩැඩීල සිංහල වචන එදා මෙදා තුර සංගීතය අස්සෙ ඇහුණ විධිය වෙනස් කලා කිව්වොත් හරි. ඒක එහෙම කරන වෙනත් නිර්මාණකරුවන් කිහිපදෙනෙක් අතරෙ ඩැඩීල වෙනම පාරක යමින් ඉන්නේ. ඒක වැඩිය සෙනග ගැවසෙන පාරක් නොවුණට ඔවුන්ට නිදහසේ ඒකෙ ඇවිදින්න පුළුවන් බවයි පේන්නේ.

මේක ලියන්න හිතුවෙ ඔවුන්ගෙ අරාබිය ඇල්බමය හොඳට පට්ට ගහල ඇති වෙලත් කාලයක් ගත වුණාට පස්සෙ. සංගීත භාණ්ඩ හැසිරවීම ගත්තම ඔවුන් බීටල්ස්ලව තදින්ම ආභාශයට අරන් තියෙන බව පේනව. කට හඬවල් භාවිතය ගත්තත් එහෙමයි. ඒ අස්සෙ ඔවුන් තම තමන්ට අනන්‍ය විලාසයන් හොයාගෙන යමින් ඉන්න බවයි තේරෙන්නේ.



මේ දවස්වල මොළේ කචල් එකක් නිසා වැඩිය ලියන්න බෑ... විඳින්න විතරයි...



මේ තියෙන්නෙ අප්පච්චිලගෙ අරාබියෙ තියෙන සින්දුවක්. මට අනුව නම් හොඳම එකක්. විරේෂ් කුරේ හෙවත් එයාලගෙ භාසාවෙන් චිකා ලංකාවෙ කට හඬ හැසිරවීමේ දක්ෂයන් අතරට ඉබේම වැටෙනව මේ සින්දුවෙන්.

මේ තියෙන්නෙ තවත් ඒ වගේම එකක්.

Tuesday, 28 June 2011

බ්ලොග් කියවන දානපතියාගේ සමාජ සත්කාරය



කන්නංගර මාවතේ ඇවිත් හැමදාම ලිප්ටන් වටරවුමෙන් වාහනේ දානකොට දකින දැන්වීම් පුවරුවල වෙනසක් රාජරත්න මහත්තයට තේරෙන්න අරන් ටික දවසක්. ටිකක් කල්පනා කරල බැලුවමයි තේරුණේ ඒ හන්දියෙ තියෙන මහ විසාල ඇඳුම් කඩේ ඉස්සරහ අර සින්දු කියන කොල්ලො දෙන්නගෙ විසාල දැන්වීමක් ගහලය කියල. නිකංම නෙවෙයි, නාටු වුණාට ලස්සන බලු පැටියෙකුත් එක්ක. ඩ්‍රයිවර් ආරියපාලගෙන් ඕක ගැන ඇහුවට ඒ මනුස්සය දැනගෙන හිටපු දේකුත් නෑ. කාර්යාලෙට ගිහින් මේ ගැන හොයල බලන්න ඕන කියල රාජරත්න හිතාගත්තා.

ඔෆීසිය හැමදාම වගේ කාර්ය බහුලයි. ඒත් ප්‍රධාන විධායක නිලධාරිය විධියට සුපුරුදු අත්සන් ගැහිලි කීපයකට පස්සෙ රාජරත්නට ඉන්ටනෙට් එකේ එහෙ මෙහෙ කැරකෙන්න පැයක දෙකක සුපුරුදු අවස්ථාව ගන්න පුළුවන් වුණා. රැස්වීම් වුණත් හැමදාම නෑනේ.

ලොකු කොල්ල පිටරට ඉඳන් ලියන බ්ලොග් එක අහම්බෙන් ඇහැ ගැහිල රාජරත්න මහත්තයත් දැන් බ්ලොග් කියවිල්ලට ඇබ්බැහි වෙලා. සාමාන්‍යයෙන් මුලින්ම ගුගල් රීඩරේ ඇදගෙන ඒකට ආපු අප්ඩේට් බලන්නයි රාජරත්න පුරුදු වෙලා හිටියෙ. ඊට පස්සෙ පිළිවෙලින් එක එක සින්ඩිකේටරේ පලවෙන බ්ලොග් කියවන්නයි හොඳ ඒවා රීඩරේට දාගන්නයි තමයි දවසෙ පැයක් හමාරක් විතර වෙන් වුණේ.

ඒ වුණාට අද මුලින්ම බලන්න ගත්තෙ කොළඹ හතේ නෝනගෙ කඩේ ඉස්සරහ ගහල තිබුණ කටවුට් එක ගැන.

වැඩි අමාරුවක් නැතිව ගුණවර්ධන නෝනගෙ බලු සත්කාරය ගැන හොයාගන්න රාජරත්නට පුළුවන් වුණා. ඒක ඇත්තටම හොඳ වැඩක්... රාජරත්න හිතුවා. ඒත් ඉතිං කිසිම පිළිසරණක් නැති මිනිස්සු ඕන තරම් ඉද්දි බල්ලන්ට මොකටද මේ සත්කාරේ? රාජරත්න මහත්තයට පොඩියට ඉරිසියාවකුත් හිතුණා. පරම්පරාවෙන්ම උරුම වුණ ව්‍යාපාර ටික මේ තරම් දියණු වෙලා තිබුණත් තමන්ට බැරි වුණානෙ ඔහොම එකක්වත් පටංගන්න. යන තැනකටවත් වැඩක් වෙන්න!

රාජරත්න මහත්තයටත් ඕන වුණා තමන්ට තියෙන ධනස්කන්ධයෙන් ටිකක් වැය කරල ප්‍රජා සත්කාරයක් කරන්න.

ටික දවසකට පස්සෙ ආයෙමත් ඔය පස්සපැත්තෙ ගේට්ටුව ගැන බ්ලොග් ලියන චාමි කියන දරුපවුල්කාරයා ලියපු බ්ලොග් සටහනක් රාජරත්න මහත්තය දැක්ක. ඒක නිකං කැරකිල්ල හැදෙන විධියෙ සටහනක් වුණාට රාජරත්න මහත්තයට ඒක තේරුම්ගන්න තරම් ඔළුව කරකවගන්න වෙලාවක් තිබුණෙ නෑ එවෙලෙ.

ඊට පස්සෙ කාර්ය බහුල මාස කීපයක් ගෙවිල ගියේ අර කටවුට් එක ගැනවත්, බලු සත්කාරය ගැනවත් වෙන කිසිම සත්කාරයක් ගැනවත් මහන්සි වෙන්න රාජරත්න මහත්තයට ඉඩ නොදී. එක දිගට වැඩ ගොඩක් කරද්දි බ්ලොග් අස්සෙ කැ‍රකෙන එකත් ටිකක් විතර මගඇරිලයි තිබුණෙ. හැමදාම පුරුද්දට බැලෙන One|Zero|Zero එක්ක ගොසිප් සයිට් ඇරුණම වෙන කිසිම එකක් කියවන්න වෙලාවක් තිබුණෙ නෑ.

ආයෙමත් ඔය සත්කාරෙ ගැන රාජරත්න මහත්තයට කල්පනා වුණේ One|Zero|Zero එකේ ගිය තවත් මල විකාර පෝස්ට් එකක් දැක්කම.

පාරෙ ඉන්න බල්ලොන්ට වඩා කොයි කරම් අහිංසකද හරියට කන්නවත් නැතිව පාරෙ ඉන්න හිඟන්නො? බල්ලො නම් කුණු බාල්දියක් හරි පෙරලගෙන කනව. හිඟන්නන්ට ඒ විධියටවත් කිසිම පිළිසරණක් නෑනෙ.

රාජරත්න මහත්තයට ආවෙ නියම අදහසක්. අළුතෙන් කැස්බෑවෙ පටන්ගන්න ඉන්න ඇළුමිනියම් බඩු ෆැක්ටරියෙ වැඩටත් මිනිස්සු ඕන වෙලා තියෙන එකේ පාරෙ ඉන්න හිඟන්නු කීප දෙනෙක්ටවත් සත්කාරයක් කරන්න පුළුවන්නම්....

රාජරත්න මහත්තය දවස් ගානක් මේ ගැන කල්පනා කලා. එයාට හිතුණෙම ඒක නියම අදහසක් කියල. ඒක හොඳ අදහසක් නොවෙන්න හේතුවක් රාජරත්න මහත්තයට හිතුණෙම නෑ. අන්තිමේ එයා කල්පනා කලා මේ ගැන කතා කරන්න හිඟන්නෙක් එක්කම.

සෙනසුරාදා වරුවෙන් ගෙදර යද්දි පිළියන්දල පහු කරපු ගමන් ටිකක් නිදහස් තැනක හිටපු හිඟන මනුස්සයෙක් රාජරත්න මහත්තය දැක්ක. අවුරුදු පනහක විතර පෙනුමක් එක්ක බැලූ බැල්මට අතපය හොඳට තිබුණ නිසා මේ මනුස්සය එක්ක කතා කරන එක හොඳයි කියල එයාට හිතුණ. වහාම ආරියපාලට කියල වාහනේ නවත්තගෙන රාජරත්න මහත්තය හිඟන මනුස්සය හිටපු පැත්තට ගියා.

"මේ උන්නැහේ..."

"ආ... මහත්තයෝ..."

හිඟන මනුස්සයගෙ මූණට එකපාරම දුකක් ආරූඪ වුණා. අත් දෙක රාජරත්න මහත්තය දිහාවට පාමින් ඒ මනුස්සය ඉස්සරහට ආව.

"උන්නැහේ මොකද කරන්නේ?"

"අර නෝන කෙනෙක් ගෙනත් දුන්න පාර්සලේ ලෙහාගෙන දැනුයි කාල ඉවර වුණේ මහත්තයෝ..."

තාමත් මනුස්සයගෙ අත ආයාචනා ස්වරූපයෙන් යමක් ඉල්ලන විලාසයෙන්...

"හා... මේ.... ලොකු උන්නැහේ රස්සාවක් හෙම කරන්න කැමති නෑ...?"

"අනේ ඉතිං අපිට කව්ද රස්සා දෙන්නේ... තිවුණ රස්සා වලටත් හෙණගහපු නිසානෙ මහත්තයෝ මේ අතපාන්නේ..."

මනුස්සයගෙ අත්දෙක දිහා බලපු රාජරත්න මහත්තයගෙ අත ඉ‍බේම සාක්කුවට ගියා. පර්ස් එකේ තිබුණ අඩුම කොලෙන් එකක් හිඟන්නගෙ අතට. ඒක තැඹිලි පාටට හිඟන්නගෙ අතේ ගුළි වුණා. මූණට ආපු සන්තෝසෙකුත් එක්ක.

"එහෙම නෙවෙයි... රස්සාවක් දුන්නොත් කරගෙන ඉන්න පුළුවන්ද?"

"රස්සාවක් කිව්වෙ මහත්තයො මොන වගේ එකක්ද?"

"දැන් ඔහේගෙ අතේ පයේ අමාරුවක් නෑනේ... ඇළුමිනියම් කපන මැෂින් හසුරුවන එක තමයි රස්සාව... අළුත් ඇළුමිනියම් වැඩපලක."

"එතකොට මහත්තයො පඩියකුත් දෙනවද?"

"නැත්තං මනුස්සයෝ රස්සාවක් දෙන්න කතා කරයිද? රුපියල් 15000ක් මාසෙට දෙනවා. නවතින්න තැනකුත් හම්බවෙයි."

මොන ප්‍රජා සත්කාරෙ වුණත් මිනිහෙක් වෙනුවෙන් දරන්න පුළුවන් ප්‍රයෝජ්‍ය වටිනාකම ගැන රාජරත්නට දැනුමක් තිබුණා.

"එතකොට කෑම බීම?"

"ඒව සපයගන්න නෙව පඩියක් දෙන්නේ? මොකද කියන්නේ...? ඔහේට එහෙම වැඩ කරන්න පුළුවන් නම් රස්සාව තියෙනවා."

"අනේ මහත්තයෝ...."

හිඟන මනුස්සයගෙ මුහුණට ආවෙ පුංචි හිනාවක්!

"ඔය කියන විධියට මහත්තයො මට දවසකට පඩිය එන්නෙ රුපියල් පන්සීයක් විතරනේ... මම බස් වලට නැගල, පාරෙ හිඟා කාලත් දවසකට රුපියල් අටසීයට වඩා හොයනව මහත්තයෝ... අනික කෑම? උදේට නම් ඔය පාන් කෑල්ලක් කඩෙන් ගත්තට දවල්ට හම්බවෙනව රෑටත් හරියන්න හොඳ බත් එකක් දෙකක් හැමදාම. එහෙමත් දවසකට තමයි කඩෙන් කෑම ගන්න වෙන්නේ..."

"ඒ කියන්නෙ ඔහේට මේ රස්සාව හොඳයි මම දෙන්න යන එකට වඩා...?"

"ඒකනේ මහත්තයෝ.... වැඩක් කියල කරන්න දේකුත් නෑ නෙව... කම්මැලිනං නිකං හිටියා... අපේ එව්වො එකෙක්වත් මහත්තයගෙ රස්සාවට එන එකක් නෑ..."

රාජරත්නට බඩ කපාගන්න හිතුණා...

ආපහු වාහනේට නැගල ගෙදරට යන ගමන් රාජරත්න කල්පනා කලේ බල්ලො වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මිනිස්සු වෙනුවෙන් කරන්න බැරිවීම ගැනයි. ඒත් සමහර විට පාරෙ ඉන්න බල්ලෙක්ගෙන් ඔය කතාවම ඇහුවොත් සමහර විට උගෙ උත්තරෙත් ඔයිට වෙනස් වෙන එකක් නැති වෙන්න තිබුණා. උනුත් හිතපු තැන ලැග්ගා... හිතපු දේ කෑවා... හිතුණු බැල්ලියෙක් එක්ක පෙම් කෙලියා... ඉඳල හිටල ගල්පාරක් කෑවට නිදහසේ හිටියා... දැන් කොහෙද එහෙම නිදහසක්? ගුණවර්ධන නෝන කරන්නෙ බලු අයිතීන් උල්ලංඝනය කරන ඕනම නැති වැඩක්. රාජරත්න එහෙම හිතුව...

හිතේ තිබුණ බර ටිකක් හෑල්ලු වුණා.


-----------------------------------------------------------------------------------------

රාජරත්ත මුදලාලිට ප්‍රජා සත්කාරයක් කිරීමට අවශ්‍යයි නම් බ්ලොග් අවකාශය වෙනුවෙන් යමක් නොකරන්නේ මන්ද? හොඳ සින්ඩියක් වෙනුවෙන් වියදම් නොකරන්නෙ මන්ද? යුධ අනාථයින් වෙනුවෙන්, රණ විරුවන් වෙනුවෙන් වියදම් නොකරන්නේ මන්ද? වැනි ඕන නැති ප්‍රශ්ණ නොඅසන්න.

Tuesday, 21 June 2011

කණේ වැටුණු එදිනෙදා කතාවක්!


මෙය කාර්යාලයේ දහවල් කෑම පැයේදී මතුවී පැමිණි එදිනෙදා කතාවක් මතින් හටගත් අදහසක් වන අතර කිසි සේත්ම සීරියස් නැති තවත් කතාවකි.

මාස කීපයකට පෙර මාගේ කාර්යාලීය මිතුරා උතුම් වූ පීතෘත්වය ලැබීය. ඔහු විසින් නිතර දෙඩීමේ යෙදෙන ඔහුගේ කුඩා දියණියගේ දඟකාරකම් දහවල් කෑම පැයේදී අප තුටු කරවන අංගයක් වෙමින් පවතී. අද දින ආහාර ගන්නා අතරතුර මා මිතුරා පැවසූවේ තව මසකින් පමණ දියණියගේ කණ් විදීමට අවශ්‍ය බවයි.

මම එයට එක හෙලා විරුද්ධ වීමි.

"ඒකි ලොකු වෙලා එයාටම ඕන කියල හිතුණොත් එයා විදගනියි."

මම කීවෙමි.

"ලොකු වුණාම විදින්න අමාරුයිනෙ. එතකොට වේදනාව වැඩියි."

"ඒ වුණාට එයාට ඕන නිසානෙ එතකොට විදගන්නේ..."

මිතුරා මා දෙස අවඥ්ඥා සහගත බැල්මක් හෙලීය.

"උඹ ඔය කියන එක ප්‍රායෝගික නෑ මචන්..."

ඔහු කීය.

"උඹල ඔය ඉන්න හීන ලෝක වල දේවල් හැබෑ ලෝකෙ කරන්න බෑ බං..."

ඒ ඔහුගේ බැල්ම තුල ගම්‍ය වූ ඔහු නොකී දේ ය.

ලබන මස ඔහු තම දියණියගේ කන් පෙති සිදුරු කිරීමට වග කියනු ඇත.

ලංකාවේ ගැහැණිය ගැහැණියක් කිරීම ඇරඹෙන්නේ එලෙසය.

මෙය අළුත් මාතෘකාවක් නොවේ.

වසර දොළහකට පමණ පෙර මා ඇතුළු එවක පාසල් අවදියේ හුන් මිතුරන් කීප දෙනෙකුගේම මොළයේ සාම්ප්‍රදායික මළකඩ සෝදා හරින ලද සඟරාවක කුඩා දියණියන්ගේ කන් විදීමේ අර්බුදය ගැන ලිපි කීපයක් පලවී තිබිණ. දැන් ඒවා මතකයට නැගෙන්නේ නැතත් බොහෝ ගැඹුරු දාර්ශණික හේතු සහ කාරණා සපයමින් අදාල කන් විදීමේ කටයුත්ත ගැහැණියට ස්ත්‍රීත්වය එබ්බවීමේ පුරුෂ ක්‍රියාවලියේ ආරම්භක අවස්ථාවක් ලෙස එහි විස්තර වී තිබුණි.

එකල වචනාර්ථයේ රැඩිකල් චින්තන සංකල්පයේ බැස හුන් අප එම අදහස් හිස් මුදුණින් ගෙන මහා සොයාගැනීමක් සේ සාකච්ඡා කල අයුරු මට මතකය.

ගැහැණිය සහ පිරිමියා යනුවෙන් මානසිකවම වෙන් කිරීමේ කටයුත්තට අත් පොත් තැබෙන්නේ දියණියන්ගේ කන් පෙති සිදුරු කිරීමෙනි. බොහෝ විට මෙය සිදු කිරීමට තීරණය කරන පියවරුන් ඉන්දියාවේ කාන්තාවන් විසින් සිදු කරන සති පූජාව පිළිබඳව උණුසුම් ලෙයින් ප්‍රකෝපිත වන්නවුන්ය. තමන්ගෙ දියණියට කිසිදු අනතුරක් සිදුවන්නට ඉඩ නොදෙමැයි සිතින් ගිවිස ගන්නා මව සහ පියා යන වධකයින් දෙදෙනා විසින්ම තම දියණියගේ කඳුලු දකිමින් ඇයගේ දෙකන් පෙති විද දමයි. එහෙත් එය සාධාරණය. මන්ද එළොවටත් මෙළොවටත් දෙළොවටම නැති අතරමැදියකු ලෙස තම දියණිය වැඩෙනවා දකින්නට දෙමාපියන් අකමැති බැවිණි.

මා හට ඇති ගැටළුව වන්නේද එයයි. දෙකන් පෙති නොවිදි ගැහැණු දරුවකු වර්ධනය වීමේදී අන් ගැහැණු ළමුන් අතර ඇයගේ පැවැත්මේ වෙනස ඇයට කෙසේ බලපානු ඇත්ද? ඇගේ කන් පෙති නොවිදීම පිළිබඳ ඇගේ මිතුරියනුත්, ගුරුවරියනුත් ඇයව ‍මුළුගත කිරීමට ඉඩ ඇත. නිවස අවට වෙසෙන්නන් ඇයව අමුතු සත්ත්වයෙක් ලෙස දකින්නට ඉඩ ඇත. ඥාතීන් අතර ඇය අවපස ලෙස සුවිශේෂ වනු ඇත. ඇය නිතර ඇයගේ අඩුවක් ගැන සිතමින් සිටින්නියක් වනු ඇත. එවිට ඇයට විසඳුමක් ලෙස ස්ව කැමැත්තෙන්ම කන් පෙති විදගැනීමට උවමනා වනු ඇත. එය අතිශය වේදනාකාරී දෙයක් වන නිසාම ඇය තම දෙමාපියන්ට ශාප කරනු ඇත.

"අනේ ඔයාලගෙ කෙහෙල්මල් ආදරේ.... පුංචි කාලෙදිම මගේ කන් විද්දනම් ඉවරයිනේ...."

කඳුළු පිරි දෙනෙතින් ඇය නගන්නට ඉඩ ඇති මැසිවිල්ල එසේ නොවනු ඇතැයි කිව හැකිද?

දෙමාපියන් සැලිකිලිමත් වීමට අවශ්‍ය වනුයේ එය පමණක්ම නොවේද?

සියල්ලටම වඩා බියකරු සාධකය වනු ඇත්තේ ඇයගේ ස්ත්‍රීත්වයේ උවමනාවන් සහ ලක්ෂණයන්ද මෙකී කන් නොවිදීමේ අඩුව නිසා ඇයට අහිමි වන්නට හැකිද යන්නයි. එනම් ඇය පිරිමියකු ලෙස දැණෙන ගැහැණියක වේද යන්නයි. එය පිළිබඳව කීමට තරම් ඒ සම්බන්ධ දැනුමක් මට නොමැති බැවින් එම අවස්ථාව විශ්ලේෂණය කරගැනීම ඔබට බාරය. කන් නොවිදි ගැහැණු දරුවකුගේ මානසික ලිංගිකත්වය ඒ හේතුව නිසාම වෙනස් වන්නට ඉඩ තිබේද?

මට සිතෙන්නේ එසේ වීමට හැකියාවක් නම් නැති වග වුවත් දියණියන්ගෙ කන් පෙති විදින්නට පෙරුම් පුරන පියවරුන්ට නම් එය එසේ වනු ඇතැයි සිතීම වාසි සහගතය.

එසේ වුවත් මා පවසන්නේ සිය දියණියගේ සිඟිති කන් පෙත්ත සිදුරු කරන්නට පළමු සෑම දෙමාපියෙක් විසින්ම සිය කණ් පෙත්ත සිදුරු කරවා ගැනීමට උත්සාහයක් ගත යුතු බවය. නොඑසේ නම් කණ් විදීම යනු දරුවන් ආයෝජනයක් ලෙස දැකීමේම තවත් එක් පැත්තක්ද යන්න පිළිබඳව නැවත සිත අවදි කල යුතු බවය.

සියල්ල අවසානයේ කීමට තවත් යමක් ඇත. මේ සටහන ලියවෙන්නේ දිනක් තුල දෙවතාවක් මා ගැහැණු දරුවන්ගේ කන් පෙති සිදුරු කිරීමේ මානුෂික වෘත‍ය පිළිබඳ සිත් පහල කල බැවිණි.

පාසල් අවදියේ මා හා එක්ව පෙර කී රැඩිකල්මය නොයෙක් දේ හදාල සහ ඒ පිළිබඳව කථා කල මා මිතුරෙක් සිය දරු දෙදෙනාත් බිරිඳක් කැටුව අද දින මට සම්මුඛ විය. එකල ඔහු තමා දිනෙක දියණියකගේ පියෙකු වූ විටෙක කිසි කලෙකවත් ඇගේ කන් පෙති නොවිදින බවට කැඩ කැඩූවකු වූ අතර මෙකල ඔහු වසරකට මදක් වැඩි වයසැති කන් පෙති විදින ලද දියණියක් කරපින්නාගෙන සිටියේය.

Thursday, 16 June 2011

පිටකොටුවේ සිට මහරගමට - From Pettah to Maharagama


මම කාෂ්ඨක ගිණි සුළඟ මැද අතින් ආවරණය කර පිටකොටුවට ගිණි තැබීමි. සියුම් දුමක් සමගින් හුස්මක් අභ්‍යන්තරගත විය.

මා සිහින් සැහැල්ලුවක් වෙත පාව ගොස් මදක් ඉහලින් නතර විය. ගුවනේ ලෑලි කඩේ කොලුවාගේ ප්ලේන්ටිය මා ඉදිරියේ පතිත විය. සීනි වැඩි උගුරක් දෙතොල් හරහා දිව මතට පැමිණ දිවේ රස ස්නායු සියල්ල කහටේ රසයෙන් උද්දාමයට පත්කරලීය. පැණි රසය තුල යටපත් කරන ලද විවිධ රසයන් ගණනාවක සාරය දිවෙන් උරාගත්තේ එම රසය වයින් උගුරක රසයට දෙවෙනි නොවන බව හඟිමිනි. එහෙත් වයින් යනු මාස කීපයකට වරක් ඇසුරු කරන්නක් බැවින් එහි රසය මට හරිහැටි මතකයට නගාගැනීමට අපහසුය. අතෙහි වූ ප්ලේන්ටියේ උගුරු කීපයක් වයින් වඩියකට වඩා මට සමීපය.

එකින් එක උගුරින් උගුර, දිව මතින් මසිත පුරවා දමමින් ප්ලේන්ටිය ආමාශය වෙත ඇදෙමින් පැවතිනි.. ‍

එහෙත් පැණි රසය සියල් රස අභිබවා අග්‍රස්ථ වී ඇති බව මොහොතකට මට මතක් විය.

එය ජීවිතය මෙනි. මා නොවන වෙනත් උන් විසින් සාදා මා වෙත පුදා ඇති මා ජීවත් විය යුතු විලාසය නම් වූ කරුමය ප්ලේන්ටියේ කහට රසය අභිබවන පැණි රසය මෙනි. පැණි රස යනු කහටේ කහට රසය යටපත් කර දමන ක්‍රමවේදයයි.

සිස්ටම් එක එවෙලේම බිඳ වැටුණි.

එහෙත් ඒ සුළු මොහොතකට පමණි. සිස්ටම් එකෙන් ගැලවීමට හැකි අයෙක් නැත්තා සේම බිහිවීද, බිහි වන්නේද නැත. නොයෙක් ලෝගුකාර සමාගම් මතින් උත්කර්ෂවත් කල පණ්ඩිතයන් සිස්ටම් එක අභිබවනය කල බව කීවද එය එසේ වන්නේ නැත. අනුන් විසින් තැනූ සිස්ටම් අතික්‍රමණය කර උන් උන්ගේම සිස්ටම් සාදා ඇත. එසේ සාදන ලද සිස්ටම් සියල්ල යසැයි සලකා අපි ඒ ගුලට වී නිදහ‍සින් යැයි කෙතෙක් කීවත් පාරම් බෑවත් එය එසේ නැත.

ඒ වන විට මා බොහෝ දුරක් ගෙවා තිඹිරිගස්යාය අසලින් ගමන් ගනිමින් සිටියෙමි. වරක් සම්මුඛ පරීක්ෂණයක් වෙනුවෙන් තිඹිරිගස්යායේ රස්තියාදු වූ සැටි මට මතකය. එදා එම ආයතනයේ ලොක්කා මවිසින් නිර්මාණය කරන ලද විෂුවල් කීපයක් බලා බෙහෙවින් සතුටු විය. රැකියාව ඉතා විශ්වාස කටයතු ලෙසම මා අතට පත් වී තිබුණද ලොක්කාට තවත් එවන් නිර්මාණ කීපයක් බැලීමට අවශ්‍ය විය. ඔහු කීවේ ඔහුගේ නිර්මාණ ආයතනය වෙත අවශ්‍යව සිටියේද එසේ සිස්ටම් එකෙන් බැහැර නිර්මාණකරුවකු බවය. එය ඔහුගේ විනිශ්චය විය.

නමුත් මා එසේ නොවිණි. මා මෙහි වෙසෙන හැමකෙකු මෙන්ම අවිශ්වාසදායී පුද්ගලයකු විය. එම රැකියාවට එක් දිනක් පමණක් ගොස් මා එය අත්හැර දැමුවේ එබැවිණි. මිනිසුන් මිණුම්ගත කිරීම එලෙසින්ම දුෂ්කරය. මා ද මා වෙසෙන ජන කොටසේම නිපැයුමක් බැවින් මා ද එසේම විය.

තවත් කහට උගුරක් දිව තෙමා හැරියේය. පැණි රසය උවමනාවෙන්ම අමතක කොට මම කහට රසය දිව පුරා කැලතූයෙමි. අසාර්ථක වන්නට මොහොතකට පෙර මම එම කහට උගුරේ රසය විඳ අහවර කලෙමි.

නොදැනීම මා නුගේගොඩ සුන්දර මතකයන් පසු කරමින් හුන්නෙමි. ජීවිතේ වසර ගණනාවක් නිතර ඇසුරු කල නුගේගොඩ පරිසරය මා ජීවිතයේ වර්තමානය වෙත ගෙන එන්නට තදින් බලපෑ වටපිටාවකි. මිනිසුන්ද නොමිනිසුන්ද ස්පර්ෂ කරමින් උන් පසුකර මා ඇදී ගියේ මේ භූමිය මතිනි. සිස්ටම් එකත් ඉන් මිදීමත්, මමත් මම නොවන මමත්, ඇයත් ඇය සහ මමත් මා තුල රාමුගත වූයේ මෙහිදීය. සිස්ටම් එක මතින් ඉගිල දුම් රොටුවල නැගී අනන්ත අවකාශයේ සරා මම නැවත මේ භූමිය වෙත පැමිණ ඇත්තෙමි. නැවතත් සිස්ටම් එක වෙත පෙම් කරන්නට අරඹා ඇත්තෙමි. අවමඟුල් සභාවක සියළු පොර කතාවන් අවසානයේ මළ මිනියක ඉරණම මෙන් මාගේ ජීවිතයද මේ කතා තුල නැත. මිනියේ හිමිකරුවා සභාවේ කතාකරුවන් විසින් ඔසවා තබන්නාක් මෙන්ම මාද මා ගැන ම විසින්ම කියනා සහ අනුන් මා ගැන කියනා කතාවලට වග කීමට බැඳී නැත.

මා තවමත් මගේ ලෝකයකය. මා එයට කෙතරම් අකමැති වුවත් ඉන් ගැලවී යාමට කෙතරම් අවශ්‍ය වුවත් ගැලවී යාමට තැනක් නැත. ඔබ කෙතරම් අකමැති වුවද එය මගේත් ඔබේත් ජීවිතයේ සැබෑ කතාවයි.

මම ඔබේ සිස්ටම් එකෙන් ගැලවී මගේම සිස්ටම් එකක් සාදාගෙන ඇත්තෙමි. එතුලට වී ඔබව විවේචනය කරමින් සාර්ථකව ගෙවන්නට උත්සාහ දරමින් එහෙත්, අසාර්ථකව ගෙවා දමමි. ඉතින් ඔබ මා වෙත නොඑන ලෙසින්ම මා ඔබ වෙත නොඑන වගද එසේමය.

මා මහරගමට පැමිණ ඇත. දැන් බිමට බැසීමට කාලයයි.

බී අවසන් වූ කහට වීදුරුවේ අඩියේ මැනර්ස් ටිකක් ඉතිරි වී ඇත. මැනර්ස් ඉතිරි කිරීම සිස්ටම් එකෙන් මට ඉගැන්වූ දෙයකි. සිස්ටම් එකට ඕන මගුලක් කරගන්නට කියා ඉතිරි තේ කොළ කැබලි සමග කහට උගුරු බාගයක මණ්ඩියේ රස බැලීමට මට තවමත් හැක.

එහෙත් මා ඔබේ සිස්ටම් එකෙන් ගැලවී නැවතත් මගේ සිස්ටම් එක තුල රාමු ගත වේ නම් ඉන් කිසි පලක් ඇත්තේද නැත.

මගේ සිස්ටම් එක....? රෙද්ද තමයි!

මම ‍වීදුරුවේ අඩියේ වූ මැනර්ස් වල ඔබා මහරගම නිවා දැමුවෙමි.

Sunday, 12 June 2011

කවියට හැඩයක්! | කිසිම හැඩයක් නැතිව

මුළු ලෝකයමත්
ඉන් එහා විශ්වයත්
බ්‍රෑන්ඩ් නේම් අස්සට ගේන්න
තතනන මොහොතක
හිතයි ඩිංගක්
මිදී ඒ වියවුලෙන්
එපිට ගොස් හැරී බලන්නට
ආයෙමත්

දුටු, විඳි, කල නිර්මාණ සියල්ලම
අච්චු අස්සට ගෙන
නාමකරණය කොට
කැටගරි කරවා
ඩේටා බේස් වලට දමා
ඒ ‍ඒ දේ වලට කැමති
ඒ ඒ අයට
ඕනැ ඕනැ හැටියට
මුදා හරියි එකින් එක
යටින් ඇඩ් එක්ක...
'හායි මෙයාලා...
ඔන්න මම ඔයාල ආසම සින්දුව ගෙනාවා...'

ඒ අස්සේ
දකින අමුතු යමක් ගැන
වෙර යොදා හොයා බලා
එය විංසයෝජනය කොට
කෑලි වලට කඩා
කෑලි ගානට ගෙවා
පෙර සැදූ අච්චු අස්සට ඔබයි
"අහා මෙය මේකකි
අර අරකකි
ඔය ඕකය
ඔය ඔක්කොම මේකය"

ජීවිතය ස්ටෑන්ඩඩ් කරවා
කන බොන දකින විඳින
සියළු විලාසයන්ට
සෑදූ ආකෘතියෙන් පිට
පවත්නට නොහැකි වන
එක බින්දුවේ සිස්ටම් හැදෙන
වර්තමානය මෙයයි
අතීතයේදීත් මතකයි
සිතිවිල්ලකුදු ඉතිරි නැතිවම
කැටගරයිස් කර
නූතන ගිරවුන්ට ගණින්නට
ගණන් ගැන අන් උන්ට බනින්නට
නාහන උන් නසන්නට
මරා ඇනිවසරියෙදි මස් බුදින්නට
නොදෙඩූ මහා දාර්ශනිකයා
අද වගේම අපූරුයි

එවිට එක මොහොතක
ඔය කියන ආකෘති
තූ තූ කොටපියා හැර
අමුවෙන් ලොවට විවරව
ඵල දරන බිජුවට ගෙන
"මෙය ලෙඩක් මෙය ලෙඩක්
කලින් අපි දැකල නෑ"
වාද බයිලා ගයා
ඒ නවමු බිජුවටම
තූ තූ කොටපියන
පොලිස් ජීවිත

ඒ අස්සේ
කඳු ගල් හෙල් අතර
අනන්ත හැඩ මවා
ගලා යන ගංගාව ගැන...
නොගිණෙන නා නා විසිතුරෙන්
දෑස් අයස්කාන්ත කරවන
වලා පෙල ගැටෙන සිඳු තරඟ ගැන...
සෙකන්ඩ් මොහොතක සිනාසී
මිලි සෙකන්ඩුවෙන් පුෂ්පාග්නිතව
නැවත ප්‍රේමීව උරේ හිස තබන ඇය ගැන...
මතවාද අස්සට ඔබන්නට වෙර දරා
එක ලෙස තබන්නට වෙහෙසුනද
එක ලෙස නොම ගලන
අනන්ත ක්ෂුද්‍ර කම්පනැති ජීවිත ගැන...

ලියන්නට වෙන කවියට විතරක්
මොකටද එක විධියක හැඩයක්?


2011-06-12

Friday, 10 June 2011

කිං හන්තර් | ලංකාව ඇතුලෙදි ගොඩයන්න නම්!


ඔන්න ඉතිං අවුරුද්දකට වඩා කාලයක් එනකල් පෙරුම් පුරපු කිං හන්තර් චිත්‍රපටිය බලාගන්න මට අවස්ථාවක් ආවා. හොඳට හිතට වැදුන නිසාම මේ කියන්න යන්නෙ ඒ ගැනයි. මේක විචාරයක් නම් නෙවෙයි. විචාරය කරන්න තරම් චිත්තරපටි ගැන දැණුමක් මට නෑ. මම මේ ලියන්න යන්නෙ මට දැණුන හිතුන දේවල් ටිකක් විතරයි.

සාමාන්‍යයෙන් ලංකාවෙ සාම්ප්‍රදායික විකට චිත්‍රපටි ගොඩක් ඒකාකාරියි. බන්දු ටෙනී යුවල එකම ආකාරයේ විකට සිනමා ප්‍රභේදයක් බිහි වෙන්න දායක වීමත් එක්ක විකට සිනමාව කියන එක නිරස වෙන්න ගත්ත. බන්දු සහ ටෙනී මම කැමතිම විකට නළුවන් දෙදෙනෙක්. නමුත් එකම හොද්ද හැමදාම කද්දි හරි යන්නෑ වගේ ඒ දෙන්නගෙ සිනමාව තව දුරටත් විකටද කියන එක මට ප්‍රශ්ණයක්.

කොහොම වුණත් ගිරිරාජ්ගෙ 'සිකුරු හතෙන්' ඒ විකට සිනමාවේ මාවත සහමුලින්ම වෙනස් කලා. සිකුරු හත හොඳට රස විඳලා ඉද්දි කිං හන්තර් ගැන අහන්න ලැබුණම සතුට ඉහවහ ගියේ කිං හන්තර් අධ්‍යක්ෂ ජයප්‍රකාර් සිවගුරුනාදන් මහත්මය අධ්‍යක්ෂණය කරපු එතුමා, මෙතුමා (?) වගේ විහිළු ටෙලි නාට්‍ය හොඳම මට්ටමේ විහිළු නාට්‍ය නිසයි. කොහොමින් කොහොමින් හරි කිං හන්තර් බලන්න අවස්ථාව ලැබුණා කියමුකෝ.

චිත්‍රපටියෙ කතාවෙ සරලව ගත්තම ඇති දෙයක් නැති තරම්. සාමාන්‍ය මනුස්සයෙක් ලොක්කෙක් වෙන්න දෙන උත්සාහයක් ගැන චිත්‍රපටියක් කියල සරලව කියන්න පුළුවන්. ඒත් කතාව කොමඩියක් වෙන්න ඕන නිසා අතීතයේ හිටපු රජකෙනෙක්ගෙ කතාවක් සෙට් කරගෙන තියෙනවා. ඇත්තටම ඔරිජිනල් රජා වෙනුවට ඉන්නෙ ඩුප්ලිකේට් රජෙක්. අතීතයේ ඉඳන් වර්තමානයට එන ඩුප්ලිකේට් රජා වර්තමානය, එහෙම නැත්තං විපරිත ලෝකයෙ අභියෝග අතරින් තමන්ගෙ රජවීමේ සිහිනය සැබෑ කරගන්න දෙන ගේම් තමයි චිත්‍රපටියෙ කතා‍ව විධියට තියෙන්නේ.

මුළු සිනමා පටය පුරාම අපිව ඒකට අල්ලල රඳවගන්නෙ විජය නන්දසිරිගෙ රඟපෑම කියන එක අනිවාර්යයක්. ඔහුගේ නිරායාසාත්මක වචන උච්ඡාරණය එක්ක හැඟීම් නිරූපණයෙන් අදාල මූඩ් එක හරියටම එලියට දෙන එක තමයි ෆිල්ම් එකේ ප්‍රධාන සාධකය කියල මට හිතෙන්නෙ. සිකුරු හතේ චිත්‍රපටියෙ මංගල ජය කපු මහත්තයගෙ චරිතයෙදිත් ඒක හොඳටම පේන්න තිබුණා. කොහොම වුණත් විජයගේ රඟපෑමට චිත්‍රපටියෙ තිර පිටපතේ ලිහිල් බවත් ලොකු දෙයක් එක් කරන්න ඇති. ඒ එක්කම ජයප්‍රකාශ්ගෙ අධ්‍යක්ෂණය යටතේ රඟපාල විජය හොඳට පොලිෂ් වෙලා තිබීමත් බලපාන්න ඇති. කොහොම හරි විජය නන්දසිරි බොහොම නිදහසේ ඒ චරිතය තුල ඉන්නව කියල කියන්න පුළුවන්.

ඔහුට සහය දෙන නළු නිලියො සෙට් එකත් එහෙමයි. මහේන්ද්‍ර පෙරේරා හැමවෙලේම වගේ මහන්සි නොවී තමන්ගෙ චරිතය රඟපෑවා. ඔහුගේ චරිතයේ ඒ තරම්ම ‍අළුත් බවක් මට දැණුනෙ නැතත් ඔහු සහ විජය අතර දෙබස් වලදි ඔවුන් දෙන්නම අපිව හොඳට හිනස්සවනවා. ඒ එක්කම අනර්කලීගෙනුත් ඒ චරිතයට හොඳටම සාධාරණයක් වෙනවා. ජනිත් වික්‍රමගේ රඟපාන පුංචි චරිතය තුලත් ඔහු ඒක ගොඩක් ස්වභාවිකව කරනවයි කියල මට හිතුණ.

හැබැයි විජය නන්දසිරිට අමතර නළු නිලියන්ගෙ රඟපෑම් වලින් මට හොඳටම වැදුනෙ කුමාර තිරිමාදුරගෙ රඟපෑම. ජනතාවට හිනා වෙන ගමන් ජනතාවට ඇඬෙන්න සලකන, තමන්ව ප්‍රමෝට් කරගන්න එක එක සෙල්ලම් දාන සාමාන්‍ය ලාංකික දේශපාලකයගෙ චරිතය ඔහු හොඳට වැදෙන්න නිරූපණය කරනවා. ඔහුගේ රඟපෑමට අපූරු සහයක් දෙන්නෙ ගිරිරාජ් කෞෂල්‍ය. ඇමති‍වරු සම්බන්ධ චරිත වල රඟපාලා ඔහුටත් හොඳ පුහුණුවක් තියෙන නිසා මේ චරිතයෙදි ඔහුත් විශිෂ්ඨ විධියට රඟපානවා කියල මට හිතෙනවා.

චිත්‍රපටියෙ සංගීතයෙත් මට කියන්න තරම් වරදක් පේන්න නෑ. මහේෂ් දෙනිපිටියගෙ නිර්මාණ වැඩිය නැති නිසා ඒකට ‍+1 එකක් දෙන්නම වෙනව. මොනව වුණත් හිනායන්නෙ නැති තැන් වලදි ඔය අමතු මියුසිකල් සද්ද දාල අපිව හිනස්සවන්න යෑමේ විකට චිත්‍රපටිවල පොදු කතන්දරේනම් එහෙම්මම තියෙනව තමයි.

චිත්‍රපටියෙ සින්දු 3ක් තියෙනවා. ඒ තුනම හොඳයි අවස්ථාව අනුව. ගයාන් පෙරේරගෙ කටහඬ චිත්‍රපටි එක්ක යන්නෙ නෑ වගේ ගතියක් තේරුණා. උරේෂා එක්ක නලින් පෙරේරගෙ සින්දුව ශේප්. ඒත් චිත්‍රපටියෙ අන්තිමට තිබුණ සුනිල් පෙරේරගෙ සින්දුව නම් පට්ට කියල කියන්න පුළුවන්. ඒ සින්දුවට රූප රචනා කිරිල්ලත් නියමයි.

චිත්‍රපටියෙ සිදුවීම් අතර සම්බන්ධය ගොඩනගන විධියත් සෑහෙන්න හොඳයි. සාමාන්‍යයෙන් ලංකාවෙ ගොඩක් විකට චිත්‍රපටි වගේම වෙන වර්ගවල චිත්‍රපටි වලත් තර්කය නැති වෙන තැන් ගොඩක් තියෙනවනේ. ඒකෙදි නරඹන්නා අතරමං වෙනව මේක කොහොමද මෙහෙම වුණේ කියල. ඒත් ඒ අඩුපාඩු මේකෙදි ගොඩක් දුරට පේන්න නෑ. නැත්තං මට පෙණුනෙ නෑ. හැබැයි රිමෝට් එක උඩ ඉඳගත්තම සෙටප් එක වැඩ කරන එක සහ නැගිට්ටම සෙටප් එක නවතින එක වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෙ නෑ. කො‍හොම වුනත් චිත්‍රපටිය සැලකිය යුතු මට්ටමින් ලොජිකල්! ඒ වගේම අන්තිම වෙනකල් රැඳිල ඉන්න පුළුවන් විධියට කතාව ගලාගෙන යනව. ඒකට ඉතිං සංස්කරණයේ සාර්ථකත්වයත් බලපාල ඇති. කොහොමින් හරි සාමාන්‍යයෙන් අපේ ගමේ චිත්‍රපටි ශාලාවෙ මට මතක ඇති කාලෙක හිටපු සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් මුල ඉඳන් අග වෙනකල් හොඳට හිනා වුණා.

කලින් කිව්ව ලොජිකල් ගතිය නැති වෙන තැන් නැත්තෙමත් නෑ. උදාහරණෙකට රජාගේ දැණුම ගැන කියන්න පුළුවන්. වර්තමානයට ඇවිත් කරකවල අතෑරිය වගේ ඉන්න සෙට් වෙන රජතුමා සමහරක් දේවල් ගැන ඉක්මනටම ඉගෙනගන්නව වුණාට සමහර වෙලාවට සමහර දේවල් ගැන නොදැනුවත්. ඒක එහෙම වෙන එක අවුලක් වගේ පෙණුනා. ඒ වගේම බයික් එකේ බ්රේක් අල්ලන්න නොදන්න නිසා කඩාගෙන ගිහින් ඇමතිතුමාව බේරගන්න සෙට් වුණාට ඒ වෙලාවෙ රූපරාමුවෙත් හොඳට පේනවා රජතුමා බයිසිකලේ බ්රේක් අල්ලගෙන යනවා. ඒත් ඒක එකපාරම පේන දෙයක් නොවෙන නිසා හිනාවෙන්න ඒක බාධාවක් වෙන්නෙ නෑ.

ඒ වගේම මෝඩ ජෝක් ටිකකුත් තිබුණට සාමාන්‍යයෙන් ඔය ෆාස්ට් ෆෝවඩ් කරන එක වගේ පරණ ජෝක් නම් නැති එක ලොකු දෙයක්. ඉස්සර මට මතකයි ඔය ෆාස්ට් ෆෝවඩ් කරල නළුවො දෙගුණයක වේගෙන් එහෙ මෙහෙ දුවද්දිත් මිනිස්සු හිනා වෙනවා. දැනුත් එහෙම හිනා වෙන අය ඉන්නව වෙන්න ඕන. කොහොම වුනත් එහෙම අවුල් ජෝක්නම් ඒ තරම් තිබුණෙ නෑ.

මේ චිත්‍රපටියෙ පිටපත සංවර්ධිත එකක් කියල ජයප්‍රකාශ් කියල තිබුණට තව ටිකක් සංවර්ධනය කරන්න තිබුණා කියල මට හිතෙනව. උදාහරණෙකට ගත්තොත් මේකෙ මේ රජා අතීතෙන් ඇවිත් වර්තමානයේ විපරිත ලෝකෙත් එක්ක ගැටෙන තැන් කීපයක්වත් යොදල තවත් හාස්‍යය මතු කරන්න තිබුණ. ඒකෙදි මට මතක් වෙන්නෙ Borat චිත්‍රපටිය. කසකස්ථානෙ ඉඳන් ඇමරිකාවට යන ජනමාධ්‍යවේදියෙක් ඇමරිකාවෙදි ඔහුට ආගන්තුක වෙන දේවල් එක්ක ගනු දෙනු කරන විධිය බොහොම හාස්‍යජනක විධියට ඒ චිත්‍රපටියෙදි පෙන්නනව. ඒ වගේ අවස්ථා ටිකක් කිං හන්තර්ගෙ චරිතයටත් එකතු කරන්න තිබුණා තවත්. මොකද කිං හන්තර්ගෙ කතාව අභව්‍ය කතාවක්. මවපු කතාවක්. ඔහු වර්තමාන ලෝකෙ ගැන කිසි දෙයක් නොදන්න නිසාම ඔහුට ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතිං ඒ අභව්‍ය ගතියෙන් තව වැඩ ගන්න තිබුණා. ඒ එක්කම ඔය අපි අහල තියෙන විහිළුවක් දෙකක් චිත්‍රපටියට යොදාගත්තට අවුලක් නැති වෙන්න තිබුණා. හරියට 3 Idiots එකේදි යාළුවො තුන් දෙනා විභාග උත්තර පත්‍ර කළවම් කරපු අවස්ථාව, නැත්තං ඉන්ඩක්ෂන් මෝටරේ ස්ටාට් කරපු අවස්ථාව වගේ. ඒව අපි කලින් ඊ මේල් වලින්, පත්තර වලින් කියවපු ජනප්‍රිය විහිළු කතානේ... ඒ වගේ දෙක තුනක්වත් කිං හන්තර්ටත් රිංගවන්න තිබුණා නම් හානියක් නෑ...

කොහොම හරි අන්තිමේ කිං හන්තර් අපිට දෙන පණිවුඩය තමයි ලංකාවෙ තැනකට එන්න නම් මරිසියෙක් එහෙම නැත්තං චිත්‍රපටියෙ වචන වලින්ම ගඩ්ඩෙක් වෙන්න ඕන කියන එක. සමහර විට අපිත් ගොඩක් එහෙම වෙලා හෝ වෙමින් ඉන්න නිසා ඒක දැනගන්න කිං හන්තර් බලන්නම ඕන වෙන්නෙ නැති වෙන්න පුළුවන්.

ඒ වුණත් ඉතිං මම කියන්නෙ හිනාවෙන්න කැමති ඕනම කෙනෙක් බලන්න වටින චිත්‍රපටියක් තමයි කිං හන්තර්. ඒ තරම් දෙයක් නෑ වගේ පේන්න පුළුවන් වුණාට තියෙන ටික ලංකාව ඇතුලෙ සිරා වැඩක් කියල තමයි කියන්න තියෙන්නේ.

එහෙනම් ගිහින් බලන්න. ඇවිත් අපටත් කියන්න :D

මේ තියෙන්නෙ ට්‍රේලර් එක. ස්ක්‍රීන් කැප්චර් එකක්. නිෂ්පාදක ධම්මික සිරිවර්ධන ඔන්ලයින් පබ්ලිසිටි ගැන ඒ තරම්ම උනන්දුවක් නෑ වගේ...


අනුග්‍රහය jwickramage

මෙන්න මේ තැන් වලත් කිං හන්තර් ගැන ලියවෙලා තියෙනවා. උවමනා කෙනෙක් ගිහින් බැලුවට පාඩු නෑ...

  • Facebook - කිං හන්තර් ඔයාල ආසම තැනක.
  • දිවයින - කිං හන්තර් ගැන.
  • සිළුමිණ - ජයප්‍රකාශ් සිවගුරුනාදන් සමග.
  • දිනමිණ - වෙනස් වචන වලින් කලින් කතාවම.
  • සරසවිය - මේකෙ ටිකක් පහලට ස්ක්‍රෝල් කරල බලන්න.

Tuesday, 7 June 2011

ඔළුව උඩ පොතක්!


ඔළුව උඩ පොතක් තියාගෙන හැමෝටම බැණ බැණ ඇවිදපු මිනිහෙක් හිටියා.

ඒ පොතේ තිබුණෙ ජීවත් වෙන විධියලු.

අවුරුදු ගාණකට කලින් කවුදෝ පඬිවරයෙක් ලියපු පොතක්ලු.

අර මිනිහට ඒක දෙමව්පිය උරුමයෙන් හමුවුණ එකක්... පුංචි කාලෙදිමයි මිනිහ ඒක ඔළුව උඩ තියාගත්තෙ. හරි හැටි දැණුමක් නැති කාලෙදිම ඒකෙ තියෙන දේවල් කියවල පුදුම වෙලා, වික්ෂිප්ත වෙලා, සලිත වෙලා, වෙලිල, මුකුලිත වෙලා, භක්තිමත් වෙලා අන්තිමේ මිනිහ ඒක එයාගෙ පරමාදර්ශය කරගෙන...

දැන් එයා හිතන්නෙ මිනිස්සු හැමෝම ඒක අනුව ඉන්න ඕන කියලයි.

මිනිහ පොත ඔළුව උඩ තියාගෙන හැම තැනම යනව. මිනිස්සු දිහා ඇස් දෙකින්, මොළයෙන් බලනව වෙනුවට මිනිහ අනිත් මිනිස්සු දිහා බැලුවෙම පොත අනුව! ඉතිං දකින හැම මනුස්සයගෙම මොකක් හරි අල්ල ගෙන මිනිහ වැරදි කියවනව.

පඬිවරයෙක් ලියපු පොතක් ළඟ තියෙන නිසා මිනිහට මුකුත් නොකියා ගොඩක් අය එහෙයි කිව්වා.

ඒත් කිසි දෙයක් කණටනම් ගත්තෙ නෑ කවුරුත්...

හැමෝම මිනිහ එද්දි පේන්න ඔළුව නැමුවට මිනිහ ගිය ගමන් දුන්නක් වගේ ඔළුව ඉස්සුවා.

ඒත් පොත ඔළුවෙ තියාගත්තු මිනිහ හිතාගෙන හිටියෙ තමන් මාර වීරයෙක් කියල...

මැරෙණකල්ම පොත තිබුණ මිනිහගෙ ඔළුව උඩ...

මිනිහ ඒක කවදාවත් හරියට කියෙව්වෙ නැද්ද මන්දා...

කොහොම වුණත් මිනිහගෙන් පස්සෙ ඒ පොත එයාගෙ දරුවෙක්ට උරුම වුණා.

දරුවත් ගත්තගමන් පොත තියාගත්තෙ එයාගෙ ඔළුව උඩ!