Monday, 23 May 2011

බැරි වැඩ වලටත් ට්‍රයිම කරපන් පුතා...


ලංකාවේ අපිට දැන් හරිහමන් ජීවිත විලාසයක් නැත. අපි ඉන්දියාවේ විලාසයෙන් ජීවත් වෙන අතර ඉන්දියාවට ඒ ක්‍රමය එන්නේ ඇමරිකාවෙනි. ඉතිං ටිකෙන් ටික අපි ඇමරිකානුවන් වෙමින් යන අතරෙ (පුහ්! කාටද ආඩම්බර) දැනට අල්ප වශයෙන් හෝ නමට පමණක් පවතින අපේ පැරණි ජීවන විලාසය උත්කර්ෂයට නංවා තෘප්තිමත් වෙමු. ඇතැම් විට ඒ කෙතරම් නොදන්නේ වුවත් පැරණි ලංකාවේ ජනජීවිතය තුල තිබූ වත්මනේ අපට නැති යමක් ගැන අපි සවිඥාණික නිසා වන්නටත් පුළුවන. නමුත් බොහෝවිට වන්නේ පැරණි දේ ඇගයීමේ සාම්ප්‍රදායික වතාවත් අනුකූලව එය වර්ණනය කිරීමයි. නැතහොත් එය ජනප්‍රිය ජීවන විලාසයේ පොෂ් අංගයක් වීම නිසා ඩෙනිමට යටින් ඇත්තේ ජැක්සන් කෙනෙකු වුව පැරැන්නාගේ අමුඩයට ආ වඩා එක දමාගැනීමයි.

මා දන්නා ඉතිහාසයක් නැත. යම් පමණකින් දනිතත් මා එය කරපින්නාගෙනත් නැත. මට මතක ඉතිහාසයේ සිටම මා සිතූ අයුරින් වඩා වැදගත්ව ඇත්තේ වත්මනේ මා ඇත්තේ කොතැනකද යන්නයි. මා සිටිනා ස්ථානය වෙත මා රැගෙන විත් ඇත්තේ මා දන්නා ඉතිහාසය විසින් බැවින් ලැබෙන හැම විටෙකම මම ඉතිහාසය කියවන්නට වෙර දරමි. එහෙත් ඉන් පාඩමක් උකහාගැනීම එකට මුසු වූ ගොමෙන් කිර වෙන්කිරීම තරමටම අපහසුය. මන්ද චිරාත් කාලයක ඇවෑමෙන් ඉතිහාසය යන්න සත්‍යය, මිථ්‍යාව, යුද්ධ, දේශපාලනය ඇතුළු වර්තමානය ගිණි අවුළුවන බොහෝ දෑ විවිධාකාරයෙන් කලවම් වී ඇති තලපයක් වැන්නක් හෙයිනි. එහෙයින් ඉතිහාසය මත පදනම්ව තීරණ ගැනීම නම් අතිශය භයානකය.

ලංකාවේ අපට හරිහමන් ජීවිත විලාසයක් නැතැයි මම මුලින් කීවෙමි. එය අසත්‍යයකි. අප‍ට ඇත්තේ මේ අප ජීවත්වෙන විලාසයයි. එය පැමිණෙන්නේ කුමන දෙසකින් වුව අද අපි ඒ විලාසයේ ජීවත් වන්නෙමු. ඉතිහාසයත් නූතනත්වයත් එකිනෙක එකඟ නොවන අවස්ථා වලදී අපි වඩා වාසිදායක ආකාරය පිළිගනිමු. ඒ අපේ විලාසය වේ. එක් අතකින් එය ඔබ මම ඇතුළු මුළු මිනිස් වර්ගයාගේම විලාසය බැවින් ලිවීමට තරම් එහි අරුමයක් නැත.

සුද්දා කිව්වෙ ට්‍රයි ට්‍රයි ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කියාය... කෙල්ලකට හිත වැටුණු විගස අපි ඔය පාඨය මෙනෙහි කරමු. දැඩි තරගයකදී අපි නිරතුරුව උත්සාහයේ යෙදෙමු. එහෙත් සුද්දා කීවේ එසේ වූවාට ලංකා ඉතිහාසෙ උපහැරණයක කියවෙන්නේ බැරි වැඩ නොකරන් අබරෝ කියාය... ඒ සම්බන්ධ නිධාන කතාව මා දන්නේ නැත. එහෙත් කතාවේ හැටියට අපේ පැරණි උදවිය නොදන්නා දෙමළෙට ගොස් නැති බව ඉන් කියවේද? දැන් අපි අහන්නේ කාවද? සුද්දාද? නැත්නම් දේශීය පැරැන්නාද?

ඇත්තෙන්ම අපි අපේ වාසිය අනුව ඔය දෙපසටම සවන් දෙන්නෙමු. ඒ අපේ ජීවන විලාසයයි.


පින්තූර සඳහා අනුග්‍රහය දැනගැනීමට අවශ්‍ය නම් ඒ මත කොටාබලන්ට

9 comments:

  1. නියම ලිපියක්.තව ලියන්න.ජයවේවා..!

    ReplyDelete
  2. කතාවනම් ඇත්ත තමයි.
    අපේ කම කියන එක දැන් නිකම් විවිධ අවස්ථාවලදී ඒ අවස්ථාවන් වර්ණවත් කරන්න බලෙන් ආරෝපණය කිරීමක් වෙලා. හොඳම දේ තමයි සිංහල අවුරුද්ද. දැන් වෙද්දි ගම්වල පවා අවුරුදු සමරන විදිය ඒ කාලෙ විදිය නෙවෙයි. මිනිස්සු දැන් නවීන විදියට ඒක සමරන්නෙ. ඒත් රූපවාහිණි ඇති මාධ්‍යකාරයෝ නැති විදියෙ ගම් හදනව. කටුමැටි ගහපු පොල්අතු දාපු ගෙවල් අලුතෙන් හදනව. ගස් උඩ පැල් හදනව. කවදාවත් චීත්තයක් ඇඳපු නැති ගෑණු පරාන වලට චීත්ත හැට්ට අන්දනව. ඒත් අපි දන්න ගමේ ඉන්න පරපුරවල් දෙකක විතර ගෑණු උදවිය දැන් චීත්ත අඳින්නෙ නාන්න විතරයි. මිනිස්සු ටීවී එක වටේ ඉඳගෙන මෙන්න නියම අවුරුදු විදිය කියල බලන් ඉන්නව. ඒත් ඒ සියල්ල ඔවුන්ගෙන් දුරස්වෙලා නිසා ඔවුන්ට ඒක චිත්‍රපටයක් වගේ.
    ඉතිහාසය වුණත් ඒ විදියට පිළිගන්න බැරි මේ ව්‍යාජත්වය හැමදාම මිනිසුන් අතර තියෙන්න ඇති. ඉතින් ලිඛිත සාක්ෂි සියල්ල ඇත්තම වෙන්න විදියක් නෑ. අද වුණත් ඉතිහාසයට එකතු වෙන්න දඟලන මිනිස්සු සහ ඔවුන් ඉතිහාසයට එක් කරන්න දඟලන උදවිය කරන දේවල් ඒ කාලෙත් වෙන්න ඇතිනෙ. ඉතින් මේ ඇස් ඉදිරිපිට අපිට පේනව මහ බොරු ගොඩක් ඉතිහාසයට එක්වෙන්න යනව කියල. තව අවුරුදු 100 ක් ගියාම අපිට පෙණුනු බොරු ඇත්ත විදියට කවුරුහරි ඉතිහාස පොත්වල ලියල තියෙයි.

    ReplyDelete
  3. ඒ කතාව ඇත්ත මචං..

    ReplyDelete
  4. ඇත්ත තමයි.. අපිට අපේ කම කියන දේ ටිකින් ටික අමතක වෙමින් යනවා.. ඒකට අනිත් අයට ඇගිල්ල දික් කරලත් වැඩක් නෑ.. අනාගතය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්..

    ReplyDelete
  5. රජිත් - ලියමි ලියමි... ස්තූතියි :D

    අවුට් = මම නොකියපු ටික නියමෙට කියල තියෙනවා. ඉතිහාසය නිසා ජීවත්වෙන බොහොමයක් දෙනා තමන්ගෙ අනාගත පරම්පරාව වෙනවෙන් ඉතිහාසෙට එකතුවෙන්නනෙ මේ ගේම...

    කල්හාර - කියෙව්වට බොහොම ස්තූතියි යාළුවා :-)

    පුසන්න - ඒකනේ...

    දිනේෂ් - මේකෙ තියෙන අවුල අපේකම් කියන්නෙ මොකක්ද කියල අපි නොදන්න එක ම‍චෝ. අපි දන්නෙ අපේකම කියල තියෙන කතා ටිකක් විතරයි. ඇත්තටම අපි ඉන්න වාතාවරණයෙදි ඒව අපට දැණෙන්නෙ නෑනේ. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට :D

    ReplyDelete
  6. මම ජීවත් වෙන පලාතේනම් ගමේ ගතිය කියන එක ඉහටත් උඩින් තියනවා .කරදරයකදී එකතු වෙන එක බෙදා හදා ගන්න එක .අන්න ඒවා නොඅඩුව තියනවා මගේ ගමේ ..

    ඒත් කෙල්ලෝ සම්බන්ධ ගැටලු වලදී නම් මගේ පලාතේ අයත් කරන්නේ සුද්දාගේ තියරිය අනුගමනය කරන එක . තමන් ජීවිතේට ඉංග්‍රීසි අකුරක් නොලීවා උනත් අන්තර්ජාලයෙන් ලස්සන කෙටි පනිවිඩයක් හොයාගෙන කෙල්ලට යවනවා .ඇත්තම කීවොත් මචං මගේ ගමේ සුද්දගේ තියරිය තවම ටිකක් විතර ඉදිරියෙන් .

    ReplyDelete
  7. මං හිතන්නේ අපේ දෙයක් කියල තෝරන්න බැරි තරමට ලෝකේ සංකීර්ණ වෙනවා කියලයි.. දැන් බලන්න ඔයාගේ පින්තුරවල තියෙන කෑම.. ආප්ප කියන්නේ ඉන්දියන් අප්පම්.. පිට්ටු කියන්නේ ඉන්දියන් පුට්ටු මායම්.. අතිරස කියන්න අදීරසම් ඉන්දියාවේ.. බුද්ද ධර්මය දේශනා කාලේ ඉන්දියන් ජාතික බුදු හාමුදුරුවෝ. දැන් එක සිංහල බවුද්දකම් කරගෙන අපේ අය... සංගීතය ගත්තොත් අපේ සංගීත කාරයෝ ඉගෙන ගන්නේ ඉන්දියාවෙන්නේ.. නිකම් බොරු කතා මොකටද ? ලෝකය ගොලීකරණය වෙන්න පටන් ගත්තේ මුහුදු මගින් ගමන් යන්න පටන් ගත් දා.. වසර දස දහස් ගණනකට ඈතදී. ඉතින් මොනවද අපේ කියන්නේ ? දැන් බලන්න අර ලෝකේ විශාලම පිළිමය කුරුණෑගල හදන්නේ ඉන්දියන් ශිල්පීන් දෙන්නෙක්නෙ.. කාලෙකදී අපේ අය කියයි "සිංහල ගල් වඩුවාණනි ඔබහට අප නය ගැති නොවේදෝ" කියල... දැන් බලන්නකෝ මෑත ඉතිහාසය ලියවෙන හැටි.. වීරයෝ වෙන්නේ කවුද ? ඉස්සරත් ඉතිහාසේ ලිවුවේ රජවරුන්ට බයේ තමයි..

    ReplyDelete
  8. සඳරු - ඔය දෙකම එක සමව අපේ ජීවිතේ තියෙනව තමයි.... :D

    සරත් - ඒක තමයි... එහෙම ගත්තම ලෝකය තනි යායක් තමයි අපි එහෙම නොහිතනව වුණාට. :-)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!