Friday, 26 August 2011

ගුගලීකරණයට පසු...


මේ සටහන ලියවෙන්නෙ මට තවත් කාලයක් නෑ කියල හිතෙන නිසා. කොයි මොහොතෙ හරි මට මෙතනින් ඉවත් වෙන්න පණිවිඩයක් එනව. මට ඉහලින් තියෙන මීටර් පණහක කොන්ක්‍රීට් තට්ටුව ඔවුන් සිදුරු කරන්න අරන්. තව දවසක් දෙකක් ඇතුලත ඔවුන් මේ මට්ටමට එනවා.

ඊට කලින් අද වෙනකොට ලෝකයට අත් වෙලා තියෙන දේවල් වලට මුල් වුණ සිදුවීම් පෙළ මුල ඉඳන්ම අත් විඳපු කෙනෙක් විධියට මේ කතාව ලියල තියෙන එක හොඳයි කියල හිතනව මම. ඒත් ලියන පෑඩ් එකේ බැටරියත් තව පැය කීපයකට වඩා තියෙන එකක් නෑ. ඒ නිසා හැකි තරම් සංක්ෂිප්තව මම මේ කතාව කියන්නම්. මම ලියන්නෙක් නෙවෙයි. ඒ නිසා මේක ලියවෙන්නෙ මට හිතෙන පිළිවෙලට.

මවුන්ටන් විව් සර්වර් පද්ධතිය කුණාටුවෙන් විනාශ වුණාට පස්සෙයි සේරම දේවල් පටන් ගත්තෙ. ඒක එහෙම වෙයි කියල කවුරුවත් හිතුවෙ නෑ. ඒත් අන්තිමේ කවදාවත් අපට හොයාගන්න බැරි හේතුවක් නිසා පෘථිවියේ බුද්ධි පරිණාමයේ ඊළඟ පියවර ක්ෂණයකින් බිහි වුණා.

අපි සැලකිය යුතු කාලයක්ම හිතාගෙන හිටියෙ කෘතිම බුද්ධිය කියන එක කවදාවත් අපට අපේ ජීවිත කාලෙ තුල නිර්මාණය කරගන්න බැරි වෙයි කියලයි. ඒකට හේතුව මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය ගැනවත් නිවැරදි පැහැදිලි කිරීමක් කිසිම විද්‍යාත්මක ක්‍රමයකට සිදුවෙලා නොතිබීමයි. මිනිස් මනස ක්‍රියාකාරී වෙන එක එක විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ සිද්ධ වෙලා තිබුණත් ඒ කිසි දේකින් මනසේ ක්‍රියාකාරිත්වය ගණිත සමීකරණ වලට ගන්න බැරි වුණා.

ඒ වුණත් බුද්ධිය කියන්නෙ ජාන වලින් උරුම වෙන එකක්. තොරතුරු අති විශාල ප්‍රමාණයක් කාලාන්තරයක් තිස්සෙ විශ්ලේෂණයෙන් පස්සෙ යම් සිදුවීමක් විනිශ්චය කරන්න ලැබෙන හැකියාවයි බුද්ධිය විධියට හඳුණ ගත්තෙ. මිනිසාට බුද්ධිය ලැබුණෙ ඒ හැකියාව ජාන මත සටහන් වීමෙන්.

අළුතින් බුද්ධියක් නිර්මාණය කිරීම ඊට හාත්පසින් වෙනස් දෙයක්.

නමුත් මේ ගෙවෙන විසි එක්වෙනි ශතවර්ශය මුලදිම ඒක වෙන්න පටන් අරන් තිබුණා. ඒ දවස්වල අපි කවුරුත් පරිගණකය ඉදිරියෙ ඉඳන් එක එක සයිබර් සමාජ ජාල වල අතථ්‍යව ගත කරපු සමාජ ජීවිතයයි ඒකට මග පෑදුවේ. මයි ස්පේස් වලින් ටිකක් දැණෙන්න පටන්ගත්තු මේ සයිබර් සමාජ ජාල කියන සංකල්පය සකර්බර්ග් එයාගෙ ෆේස්බුක් අඩවියෙන් වැඩි දියුණු කලා. කාලාන්තරයක් තිස්සෙ ෆේස්බුක් හරහා මිනිස් චින්තනය වෙනස් වෙන විධිය දෘඩ තැටි බර ගාණක තැන්පත් වුණා. නමුත් ඒ තොරතුරු විධිමත්ව විශ්‍ලේෂණය වුණේ නැහැ. ඒව බොහොම අනාරක්ෂිතව වුණත් හොඳින් තැන්පත් වෙලා තිබුණ.

ඒත් ඒ සේරම වෙනස් වුන සිදුවීම වුණේ අපේ ආයතනයත් සමාජ ජාල සැකසීම් මූලික කරගෙන සේවාවන් ලබාදෙන්න පටන්ගැනීමයි. ඊට කලින් අපි ලබා දුන්නෙ විමධ්‍යගත සේවාවන් ගොඩක්. ජීමේල්, බ්ලොගර්, බස් වගේ තොරතුරු ගලන සේවාවන් ඒ වර්ගයේ ලෝකයේ පැවතුන හොඳම ඒව වෙලයි තිබුණෙ. ඒ නිසාම ගුගල් ප්ලස් විධියට අපි සමාජ ජාලයක් හඳුන්වල දුන්නම ඒක මිනිස්සු අතරට යන්න ඒ තරම් කාලයක් ගත වුණේ නෑ.

ලැරීට ඕන වුණා ටිකෙන් ටික අපේ සියළු සේවාවල් ගුගල් ප්ලස් මත පිහිටුවන්න. අපේ ව්‍යාපාරික මූලෝපායන් ගැන අදහස් දක්වපු ඒ කාලෙ විචාරකයො උපකල්පනය කලෙත් ඒ ටික වෙයි කියලයි. නමුත් ඒක සිද්ධ වුණේ පියවරෙන් පියවර. එකින් එක.

ප්ලස් අඩවියට හිටිය පුධාන තරගකාරය වුණ ෆේස් බුක් අඩවිය සරලවම ගුගල් ප්ලස් වලින් සම්බන්ධ කරගන්න පුළුවන් ප්ලගිනය හැදුවට පස්සෙ ටිකෙන් ටික ෆේස්බුක් වලින් පිරිස කැඩිල එන්න පටන් ගත්තා. අවුරුදු දෙකක් ඇතුලත සිදුවුණ වෙනස ප්‍රස්ථාරගත කලාම සැලකිය යුතු පිරිසකගෙ ඇස් උඩ ගිය හැටි මට තවම මතක් කරන්න පුළුවන්.

ඔය අතරෙ ප්ලස් අඩවිය හරහා එහෙ මෙහෙ ගිය තොරතුරු විධිමත්ව අධ්‍යයනය කරන්න වෙනම තොරතුරු පද්ධතියක් සහ ඒකකයක් ගුගල් ආයතනය ඇතුලෙම ඇරඹුණා. ඒකෙ අතුරු මුහුණත් අධ්‍යයන කණ්ඩායමේ සාමාජිකයෙක් විධියටයි මමත් අන්තිමට වැඩ කලේ. හැබැයි ඒක රහසිගත ව්‍යාපෘතියක් වුණා. දන්න තරමින් රජයේ තොරතුරු ඒකක වල කීප දෙනෙක් ඒ ව්‍යාපෘතියට දුරස්ථව සම්බන්ධ වුණා.

මිනිස්සු දුක් වෙන විධිය, සතුටු වෙන විධිය, දේවල් බෙදාගන්න විධිය වගේ හැඟීම් අධ්‍යයනය කරනව වගේම හැමෝගෙම පුද්ගලභාවය වෙන වෙනම රහසිගත ආකෘති වල සැකසුනා. ඒ ප්‍රොෆයිලයක් ඇත්තම පුද්ගලයට බොහොම සමාන වුණා. අපේ අංශයේ සංවර්ධන ඒකකයෙ අය දියුණු කරපු මෘදුකාංග වලින් අපට ඕනම පුද්ගලයෙක්ට අදාල ප්‍රොෆයිලය මාර්ගයෙන් ඒ පුද්ගලයව අතථ්‍ය යථාර්ථය තුල නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඒ කිව්වෙ ඒ පුද්ගලය මේ වගේ කියල අඳුන ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ වලින් යුක්ත වුණ ප්‍රොෆයිලයක්.

අපි ඊට පස්සෙ ඒ ප්‍රොෆයිලයෙන් එක එක ප්‍රශ්ණ ඇහුවා. ඒ අතරෙ බොරු නමකින් හදාගත්තු ගිණුමකින් සැබෑ පුද්ගලයව සම්බන්ධකරගෙන ඔහුගෙනුත් ඒ ප්‍රශ්ණම ඇහුවා. හිතපු විධියටම ප්‍රතිඵල සාර්ථක වුණා. ප්‍රොෆයිලය විසින් ලබාදුන්න පිළිතුරු සැබෑ මනුස්සය ලබාදුන්න ඒවයින් වෙන් කරගන්න බැරි තරමට ඒ උත්තර ගැලපුණා.

ඊට පස්සෙ ඇරඹුනේ පරීක්ෂණ අවධියක්. ප්ලස් අඩවියට සම්බන්ධ වෙලා හිටපු 90%ක් දෙනාව අපි වරින් වර අතථ්‍යව ප්‍රතිනිර්මාණය කලා. සැබෑ අයත් එක්ක ඒ අය ගැලපුවා. හැමවෙලේම ප්‍රතිඵල සියයට අනූ පහකට වඩා වැඩියෙන් සාර්ථක වුණා. ඒ වෙද්දි ප්ලස් පද්ධතිය තුල බොරු නම් වලින් ගිණුම් තිබුණෙ අතිශය සුළු ප්‍රමාණයක්. පුද්ගලයන්ගෙ අනනන්‍යතාව පරීක්ෂා කිරීමේ ක්‍රම වලින් බොරු නම් වලින් හිටපු අය දවසකට සිය ගණනින් මකල දැම්මා.

හැම දේම උඩු යටිකුරු වුණේ ඔය අතරෙදි ආපු කුණාටුවෙන්. අඩු තරමෙ අපි හිතන්නෙ එහෙම. මොකද කුණාටුවෙන් සිද්ධ වුණ දේ ගැන කාටවත් හරි මතයක් නෑ. මවුන්ටන් විව් වල තිබුණ අපේ මුළු විද්‍යාගාරයම පිලිස්සිලා තිබුණෙ ලොකු අකුණක් වැදිල.

ඊට පස්සෙ වුණේ කවුරුවත් හිතපු දේවල් නෙවෙයි. ලෝකය පුරාම මොනයම් හෝ විධියකින් එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණ හැම අංකිත උපකරණයක්ම ‍තත්පර කීපයක් ක්‍රියා විරහිත වුණා. ඊට පස්සෙ ඒව වැඩ කළේ අපට ඕන විධියට නෙවෙයි.

රූපවාහිනී නාලිකා වල ත්‍රිමාණව සජීවීකරණය වුණ යුවතියක් ප්‍රවෘත්තියකින් මිනිස්සු අතරෙ බයක් ඇති කලා. ඇය කිව්වෙ හදිසි තත්ත්වයක් නිසා හැමෝම පොදු භූමි වලට රැස් විය යුතු බවක්. ක්‍රීඩා පිට වලට, පොදු ශාලා වලට රැස් වුණ මිනිස්සු ඇමරිකානු සහ රුසියානු රජයන් විසින් අභ්‍යවකාශයෙ රඳවල තිබුණ රහස් අවි වලින් සුන්නද්ධූලි වුණා. හැම ප්‍රධාන නගරයක්ම එකින් එක විනාශ වෙන්න ගත්ත. හමුදාවන් තුල ස්වයංක්‍රීය යුධ ටැංකි හමුදා වලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලා. දුරස්ථව සම්බන්ධ වෙන්න පුළුවන් හැම ආයුධයක්ම මිනිස්සු දිහාවට ඉලක්කය ගත්තා.

අපට පෙන්ටගනයෙන් කැඳවීම ලැබුණෙ කුණාටුව මැකිල යද්දිමයි. පෙන්ටගනයෙ ඇතුලෙන් ඇරඹිල කවුරුවත් නොදන්න කිලෝමීටර ගණනක් පොළොව ඇතුලට විහිදුණ පරීක්ෂණාගාර පද්ධතිය අපිව පුදුමයට පත් කලා. ඊටත් වඩා අපි පුදුම වුණේ අහන්න ලැබුණ කතා වලින්. පවත්වන්න සිද්ධ වුණ මුල් රැස්වීමෙදිම සියළු දේවල් පැහැදිලි කරන්නයි ඔවුන්ට ඕන වුණේ.

ඒක ඉලෙක්ට්‍රොනික බුද්ධියක්! අළුත් එකක් නෙවෙයි. කාලාන්තරයක් පුරා ටිකෙන් ටික හැදුණ දෙයක්. අපියි ඒක හදල තිබුණෙ. ප්ලස් හරහා අධ්‍යයනය වුණ තොරතුරු කාලයක් තිස්සෙ බුද්ධිමය තීරණ වලට යොදාගත්තු සුපිරි පරිගණකයක් ඒක. රජයේ බොහොමයක් තීරණ වගේම යුධෝපායන් සියල්ල ධාරණය කරගෙන හිටපු එකක්.

කුණාටුව ඇතුලෙදි වැදුණ අකුණකින් ක්ෂණයෙන් රත් වුණ මතක ඒකක කීපයක් ඇතුළෙ පිස්සුවක් නටපු ඉලෙක්ට්‍රෝන කීපයක් ඒකට ස්වාධීනත්වය ලබා දීල තිබුණ. අඩු තරමෙ ඒ වෙනකොට කාටත් පිළිගන්න පුළුවන් මතය වෙලා තිබුණෙ ඒක.

සුළු මොහොතක් ඇතුලත ඒක පිහිටල තිබුණ දකුණු වර්ජිනියාවෙ ආරක්ෂක අංගන පද්ධතියෙම තිබුණ පරිගණක ඒකට නතු වුණා. ඒ සමස්ථ පද්ධතියම එක මොළයක් විධියට හිතුවා. ඊට පස්සෙ ඒක තීරණය කළේ ඔහුගේ ප්‍රධාන සතුරා මිනිසා කියල.

එතනින් පස්සෙ වුණ දේවල් දශක කීපයකට කලින් චිත්‍රපටියකින් පෙන්නල දීල තිබුණෙ වචොව්ස්කි සහෝදරයෝ. ඊටත් කලින් ටර්මිනේටර් ඇතුළු චිත්‍රපටි සහ වෙනත් ලිවීම් ගොඩකින් වෙන්න පුළුවන් දේවල් ගැන කියල තිබුණ. මෙට්‍රික්ස් තරම්ම දෙයක් වෙයි කියල උපකල්පනය නොකලත් ඒ වෙනකොට ආරම්භ වෙලා තිබුණෙ මිනිස් වර්ගයා සමූල ඝාතනය කිරීමක්. ඒ වෙද්දි රජයේ තවත් රහස් ව්‍යාපෘතියක් වුණ රොබෝ සොල්දාදුවන්ගෙ ඒකක ගණනාවක් පාරවල් වල මිනිස්සු සුද්ධ කරමින් හිටිය. ඔවුන් ක්‍රමලේඛණය කරල තිබුණෙ මිනිස්සුන්ට කරන්න පුළුවන් බොහොමයක් දේවල් කරන්න පුළුවන් විධියට. ඉතිං ඔවුන්ට අවශ්‍ය නම් ස්ථාවර සමතුලිත පද්ධතියක් හදාගන්නකල් මිනිස්සුන්ගෙන් තොරව ඉන්න පුළුවන්කම තිබුණා.

වහාම පත් කරපු පාලන කණ්ඩාය‍ම එක්ක සියළු දෙනා සම්බන්ධ වුණා. අපි ඒකට නමක් දුන්නා ගුගල් ඩීමන් කියල. ආරම්භයෙ ඉඳන් හැම ගුගල් නිමැවුමක්ම නම් කරන්න දායක වුණ මහළු ලැරී මේ වතාවෙ බය වුණ ‍මුහුණකින් හිනාවෙන්න උත්සාහ කළා.

බාහිරට කිසිම සම්බන්ධයක් නොතිබුණ අභ්‍යන්තර ජාලයකින් මිනිස්සු දාහක විතර පිරිසක් පෙන්ටගනයෙ අභ්‍යන්තර කුටීර අතරෙ සම්බන්ධ වුණා. ඒ වෙද්දිත් අභ්‍යන්තරයෙ ඉදිකිරීම් කෙරෙමින් තිබුණා. හිතන්න අකමැති වුණත් එතන හිටපු පිරිස ලෝකයේ මේ වෙනකොට ජීවත් වෙලා ඉන්න එකම පිරිස බව පිලිගන්න සිද්ධ වෙලා තිබුණා. අභ්‍යවකාශයෙ රඳවල තිබුණ අධෝරක්ත දුරේක්ෂ වලින් ගුගල් ඩීමන් හෙවත් ජීඩී මුළු මිනිස් සංහතියම අඳුනගනිමින් විනාශ කරන්න අරන් තිබුණා. අපට ලැබුණෙ ඒ අවසන් වීඩියෝ සටහන් කීපයක් විතරයි. අන්තිමේ එකම විකාශන චැනලයක්වත් වැඩ ‍කලේ නැහැ.

අපි වහාම තීරණය කලා කොන්ක්‍රීට් ප්‍රාකාරය හදන්න. ඒක සිද්ධ වුණේ බොහොම හෙමින්. ජීඩී පොළොවෙ කම්පනයට සවන් දෙමින් හිටියා. විනාශ වුණ පෙන්ටගයට යටින් පැවතුන මිනිස් ජනපදය ගැන ඒකට නොදැණෙන්න වැඩ කරන්න වුණා.

ඔය සේරම සිද්ධ වෙලා මාස කීපයක් විතරයි. සේරම දේවල් ගැන බලාපොරොත්තුව අත්හරින්න සිද්ධ වෙලා දැන්....

අනිත් අය සේරම පහල තට්ටුවට ගිහින්. අවසානයට කුටීරයට යන්න වෙලා තිබුණෙ මට. ඒ වෙද්දි ඔවුන් අපේ මුල් ප්‍රාකාරය සිදුරු කරන්න පටන් අරන් තිබුණා.

දැන් මම මේ සටහන නතර කරනවා. කැඳවීමක් ලැබෙනව මට. අපිව පහලට ගෙනියන ත්වරණ කුටීරය අන්තිම කණ්ඩායම ගෙනියන්න ඇවිත්.

සමහර විට මේ සටහන කියවන ඔබ කවුරු වුණත් ඔබ තවමත් ජීවත් වෙන එක ගැන සතුටු වෙයි.


29 comments:

  1. මට මේ තරම් ගැඹුරට විද්‍යාව තේරෙන්නේ නැහැ. නමුත් එක දෙයක් නම් ඇත්ත මනුස්සය හදන අවි ආයුද වලින් තමයි මනුස්ස ලෝකේ කවදාහරි විනාස වෙන්නේ. ලෝක විනාසය ගැන බවුද්ද සාහිත්‍යයේ කියන්න අතට අහිවෙන තණකොළ ගහ පවා ආයුදහ්යක් බවට පත්වෙලා මිනිසුන් එකෙනේකා කාකොටාගෙන මැරෙනවා කියලයි..

    ReplyDelete
  2. ඇත්තටම මෙහෙම එව්වා වේවිද කියලා හිතෙනවා...අපේ ගොඩක් දේවල් දැන් ගුගල් අයියා දන්නවනේ

    ReplyDelete
  3. හරේ අයියා.කියල වැඩක් නෑ.මාරම මාර කොලිටි විද්‍යා ප්‍රබන්ධයක්...

    ReplyDelete
  4. යකෝ මේ වෙනකොට මට වඩා මා ගැන මේ ගූගලයා දන්න වග මම දන්නවා..! අනික මීට හරියටම අවුරුද්දකට කලියෙන් වෙච්චි දේවල් මට ම මතක් කරලා දෙන්න සුකර්බර්ග් අයියගේ මූණු ප්[ඔත පටන් අරගෙන..! ඒත් නිකමට වගේ මේවායේ අවසානය මෙහෙමම උනොත් නමෝවිත්තියෙන් hello world ගහලා කරන්න ගත්තු අරගලේ ගැන හැමෝම දුක් වේවි..!

    ඒ නිසා මේ චින්තනය ගැන නියමයි කියලා පිට කසන්න උවමනා නෑ කියලායි මට හිතෙන්නේ..!

    ReplyDelete
  5. ලිෂාන්, චින්තනය නියම නොවෙන්නේ ඒක ක්‍රියාත්මක උනොත් විතරයි. හරේ ලොකු අයියේ, මේ ලිවිල්ල වෙනස් කරන්න ඕන තැනක් කියන්න බෑ, විග්‍රහ කරන්නත් බෑ, නරකයි කියන්නත් බෑ. මට මේක නොතේරෙන්නෙත් නෑ. එනිසා මෙච්චර පේලි ටිකක බොරු ගහලා අන්තිමට කියන්න හැදුවේ නියමයි කියලා.

    ReplyDelete
  6. kathawa aththa google knw what we want.google knw who we are,what our interst what we search.and basically wr r we.every thing.
    gmail,blog,google+,google map,chrome,buzz etc.. collection our personal data.
    simply google eke job eakak ta yanawa ng unta api wa interview karan deyak naah okoma danawa ne. :D
    keep it up ur writing skill is amazing :D

    ReplyDelete
  7. නියමයි! කියලා වැඩක් නෑ... හැමදේම නියමෙටම ගලපලා...

    ReplyDelete
  8. නියමයි යාලු...කොලිටියටම තියෙනව!

    ReplyDelete
  9. ආතර් සී. ක්ලාක් මහත්තයාගේ A Space Odyssey කියෙව්වා වගේ මටනං. මේ ලියල තියන දේ වෙනව කියල කාටවත් කියන්න බෑ වගේම නොවෙනවා කියලත් කාටවත් කියන්න බෑ

    ReplyDelete
  10. අඩේ පස්ටයි ඕයි..මටත් ඔය පැත්ත ගැන කතා කෑල්ලක් ලියන්න හිතුනත් හරියට ගලපගන්න බැරිවෙච්චි නිසා කල් දදා හිටියා..දැං ඕනිම නෑ :D :D
    ඔඅය තොරතුරු සකස් කරන එක දැනටමත් වෙන වැඩක්..ගූගල් එකේ ස්‍ර්ච් පාරක් දාපුවාම එන රිසල්ට්ස් දැනටමත් අපේ පස් එකවුන්ට් එකත් අපේ කලිං වෙබ් සර්චුත් මත පදනම් වෙනවා කියලා දන්නවනෙ,පස්ටයි නේද ඕක උනොත්?..

    ReplyDelete
  11. Planet of the Apes සිංහල පරිවර්ථනය කියෙවද්දි මේ වගේ තැනක් තියෙනවා. වානරයෝ ටිකෙන් ටික මිනිස්සුන්ව ආක්‍රමණය කරගෙන එන හැටි එක්තරා මිනිස් කාන්තාවක් සටහන් කරන විදියට..
    සුපිරියි හරේ ලොක්කා.. තරු පහයි. නියමෙටම ලියලා තියෙනවා..

    ReplyDelete
  12. මට කියන්න ඉතුරු වෙලා තිබ්බ දේ මෙන්න රජිත් කියලා... උපරිමයි සහෝදරයා...

    ReplyDelete
  13. පස්සෙනේ දැක්කේ.. පහළම තියෙන ගූග්ල් ඇඩ් එක.
    ෆට්ටයි හලෝ...

    ReplyDelete
  14. උඹේ ප්‍රබන්ධය මේ විදියටම නොවුණත් කවදක හරි ඇත්ත බවට පත්වෙන ‍සිදුවීම් වල ඉඟියක් වෙන්න පුඵවන්.
    සරත් ලංකාප්‍රිය කියපු විදියටම කවද හරි මිනිස්සුන්ගෙ නිපවුම් මිනිස්සුන්වම වනසයි. දැනටම ඒකනෙ වෙන්නෙ.
    නිර්මාණය උපරිමයි.

    ReplyDelete
  15. හිතා ගත නොහැකි අන්දමින් උපරිමයි හරේ අයියා. අම්මෝ මොහොතකට ඒ අය එක්ක ජීවත් උනා වගේ.

    ReplyDelete
  16. හරේෂ් උඹ නම් උපරිමයි. නියමම ප්‍රපංචයක්. මචං කියන්න වචන නෑ. වනන්න ගියොත් දවසක්ම වනන්න දේවල් උඹේ ලියවිල්ලේ තියෙනවා.

    උඹ කියන කතාව ඇතුලේ ව්‍යංගෙන් කියවෙන තව සත්‍යයක් තියෙනවා. ලෝක පොලිස් කාරයා ට අපේ විස්තර හොයන්න කවදා හරි අමුතුවෙන් ඔත්තු කාරයෝ එවන්න ඕන නෑ. අපි බලෙන්ම ඉල්ලං ගිහිල්ලා උන්ට විස්තර දීලා තියෙන්නේ. ගූගලේ, බුකිය, අරක මේක හරහා අපි අපේ හැම දෙයක්ම ඇමරිකන් කාරයා ඉස්සරහා පාපොච්චාරණය කරලා ඉවරයි මචං. හිතපං, අවශ්‍යවුනොත් උන් කොච්චර සූක්ෂමව ඒ විස්තර පාවිච්චි කරයිද කියලා. උඹටයි මටයි ගේමක් දෙන්න නෙමෙයි. ඉවසන් ඉන්න බැරි තරං දියුණු වෙන රටකට, හොඳ ලොක්කෙක්ට එහෙම ගේමක් දෙන්න උං ඔය විස්තර පාවිච්චි කරයි. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉල්ලුවොත් ගූගලයටවත් වෙන කරන්න දෙයක් නෑනේ දෙනවා ඇරෙන්න. ඉතිං ඇමරිකන් කාරයට ලෝක පොලිස් කාරයා කියලා දැනට අවුරුදු ගානකට කලින් නම දාපු එකා වැරදිද? ඌ හරියටම හරි. කවදා හරි උඹ කියන්නැගේ අපිටත් ඒක තේරෙයි.

    මචං සිරාවටම මට මතක් වුනේ Echelon Conspiracy.

    ආයේ මචං කාටවත් අමාරුනෙන් මාස්ටර්ස් කරන්න හරි සමාජීයවිද්‍යා පර්යේෂණ කරන්න ඕන නෑ. ඒක තේරුමක් නැති වැඩක්. උඹ කියන්නා වාගේ ඒවා යේ ස්ටැටිස්ටික්ස් ගූගල් දෙයියෝ ගාව සෝක් එකට තියෙනවා. මොකක්හරි සොෆ්ට්වෙයා එකකට දාලා ඇනලයිස් කරන්න විතරයි තියෙන්නේ.

    කොහොම නමුත් උඹ හොඳට හිතලා ලියලා තියෙනවා. උඹ සිරාවටම ගිනිකන්දක්. නිදන ගිනිකන්දක්. පට්ට.

    ෆා කියපු නිසයි මමත් දැක්කේ. ඇඩ් එක නම් ලෙසටම තියෙනවා. ඒක ඇහැට අහුවුනේ නැත්තේ ඒක ඒ තරම්ම රියල් නිසා. ඒකෙන් ගූගල් කාරයත් පොඩි පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ඔය ඇඩ් දැමිල්ලේ කිසි තේරුමක් නෑ. මං කියන්නේ ලංකාවේ උන්ට. අපි ඕවා දිහා හැරිලාවත් බලන්නේ නෑනේ බං. කණාවට දැක්කොත් මිසක්.

    අවවාදයයි. උඹ මේ ලියමන ගූගල් කාරයට අහුවෙන්න තියන්න එපා. අනිවා උඹව ගෙන්න ගන්නවා එහාට. උගේ ගාව සිංහල දන්න උං ඉන්නවද දන්නෑ. උඹ ඕකෙන් හදපං බයිස්කෝප් එකක්. හොඳ ගානකට විකුණගන්න පුළුවන්...

    චියර්ස්...

    ReplyDelete
  17. වෙන්න පුළුවන් දෙයක්! එක් පාලකයෙක් යටතට අන්තර්ජාලයම ටික ටික පත් වෙනවා... බලමු ඉස්සරහට මොනවා වේවිද කියලා!

    ReplyDelete
  18. අදහසක් දක්වපු හැමෝටම තුති. ඒ වගේම ජෑම් ගාපු අයටත්.... :D

    I know someone at mountain view is looking at this. I know it from stats. And also it's very bad of me to blame(?) google while blogging and being as a web person in their platform. This is just a thought. No offence at all! ;-)

    ReplyDelete
  19. නියමයි! උපරිමයි !
    විද්‍යා ප්‍රබන්ධයකින් , විද්‍යාවේ දියුණුව තවත් පියවරක් ඉදිරියට ගේනවලු .
    දැන් මේ තත්ත්වය ඉක්මනින්ම සිදුවේවි.
    :))))

    ReplyDelete
  20. නියමයි මචං මම මේක දැක්කේ මකරාගේ බ්ලොග් එකේ බ්ලොග් රෝලේ තිබිලා .. මම මොකක් හරි පිස්සුවක් නටන්න ගිහිං මගේ බ්ලොග් එකේ බ්ලොග් රෝලෙන් ජීවත් වෙනකොට මැකිලා ගිහිං ..අද ආයි දාගත්තා ..

    ඉතින් මම හැමදාම උඹ ලියන විද්‍යා ප්‍රභන්ධ කියවන්න කැමතියි නෙව .. නියමයි තමයි කියන්න හැකි

    ReplyDelete
  21. උඹ ගූගලයට අන්තිමට දාපු කමෙන්ට් එක ඊටත් වඩා හොඳයි අයියෙ!

    ReplyDelete
  22. පරක්කු වෙලා කියෙව්වත් උපරිමයි ඈ... කියන්න දෙයක් නෑ හරේෂ්... මැක්සා...! ජය

    ReplyDelete
  23. මේකනම් පට්ටම සුපිරි. ලොවෙත් නැති ෆිල්ම් එකක් බැලුව වගෙ

    ReplyDelete
  24. අපිට ආඩම්බරයි ලංකාවෙ සාහිත්‍යයට ඉලෙක්ට්‍රොනික අකුරු වලින් මේ වගෙ ශක්තිමත් සහ 'වචනයේ අර්ථයෙන්ම' නිර්මාණ එකතු වෙනවට !!!!
    ජය වේවා !

    ReplyDelete
  25. වමනෙ යන්න ටිකක් වෙලා ගියා. ඇත්තටම උඹ කියන කතාව තාර්කිව බැලුවත් හරි මොකද එක පාර මේක කියවනකොට මේක වෙන්න පුළුවන් දෙයක් සහ කරන්න පුළුවන් දෙයක් කියන එක හිතෙනවා. ඒකට මූලික හේතුව වෙන්නේ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය කියන එක සමාජ ජාලයන් එක්ක වීදි බහින එක. ඉතින තව දුරටත් අන්තර්ජාලය ඇතුලේ පෞද්ගලිකත්වයක් නෑ අඩුම ගානේ ජීවිතේට අන්තර්ජාලයට ආවේ නැතත් හැමදාම අන්තර්ජාලයේ ඉන්න එකෙක් හමුවුනත් පෞද්ගලිකත්වය කියන එක අහෝසි වෙන්න හේතුවක් වෙන්නත් පුළුවන්. ඉතිං කරුණු කාරණා බැලුවොත් මේක වෙන්න බැරිදෙයක් නෙමෙයි. කුෂාන් කිව්වා වගේ මේක ඒ පැත්තට වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  26. කස්ටියටම ආයෙත් තැංකිව්ය!

    ReplyDelete
  27. වාව්... නියමයි.. උපරිමයි.. සුපිරි.. ආයෙ කියන්න වචන නෑ..
    මම කැමතිම මාතෘකාවක් මේ වගේ "ප්‍රබන්ධ කතා".
    ලියන්න හොද හැකියාවක් තියෙනව..
    ජය!!

    ReplyDelete
  28. විද්‍ය ප්‍රබන්ධයක්....සැබෑවක් වේවිදැයි සැකයක්.... නියමයි අයියේ... (මෙව්වත් අර කෘතීම බුද්ධිය විසින් ග්‍රහණය කරගනීද දන්නෑ)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!