Thursday, 26 May 2011

පින්තූරේ...


ආරියපාල මහත්තය විසි අටවෙනිද පෙන්ෂන් ගන්නව. ඒ ගැන කාටත් තිබුණෙ පුංචි දුකක්. කාර්යාලෙ වැඩ කරපු බොහොම සුහදශීලී මනුස්සයෙක්. අපට වඩා ලොක්කෙක් වුණාට හිටියෙම ‍පොඩි මිනිස්සු එක්ක. රාජකාරියට පණ ඇරලා. වැඩක් කරගන්න ආපු මනුස්සයෙක්ව වැඩේ කරල දෙන්න බැරි වුණත් පුළුවන් තරම් සතුටින් පිටත් කරන්න හැකියාව තිබුණ නිලධාරියෙක්.

පුද්ගලිකවම මට බොහොම දැනමුතුකම් දීපු ගුරුවරයෙක්. කාර්යාලයේ රාජකාරිවලදි වගේම මගේ පුද්ගලික සහ වෙනත් ආර්ථික ගැටළු වලදිත් හොඳ යාළුවෙක් වගේ උදව් කලේ ආරියපාල මහත්තයා.

සමහර විට ඒ මිතුරුකම ඇතිවුණේ එයාටත් මගේ වයසෙම වගේ පුතාල දෙන්නෙක් හිටපු නිසා වෙන්න පුළුවන්.

පෙන්ෂන් යද්දි එයාට මොනවද දෙන්නේ...? ඒක හැමෝටම තිබුණ ගැටළුවක්.

මට තදින්ම දැණුන ගැටළුවක්.

හිතල හිතල අන්තිමේ මම තීරණය කලේ සමරුවක් විධියට එයාගෙ පින්තූරයක් රාමු කරල දෙන්න.

කාර්යාලෙන් අවුරුදු දෙකකට කලින් ත්‍රිකුණාමලේ ට්‍රිප් එක ගිය වෙලේ ගත්තු පින්තූර වගයක් මගෙ ළඟ තිබුණා. ඒ අතර ආරියපාල මහත්තයව බොහොම සුන්දර කෝණ කීපයකින් අරගත්තු ලස්සන පින්තූරය කීපයක්ම තිබුණා.

මම ඉන් එකක් අරන් කොම්පියුටරෙන් කපලා කොටල ඇද හදල ලස්සන මතුකරල ගත්තා. ඒක පින්තූර ස්ටුඩියෝවකින් ප්‍රින්ට් කරලා පෙනුම තියෙන රාමුවකුත් දැම්මෙව්වා. අපරාදෙ කියන්න බෑ බැලූ බැල්මට නියම පින්තූරයක්. මම ඒක ආරියපාල මහත්තයට හොරෙන් කාර්යාලෙ අනිත් යාළුවන්ට පෙන්නුවා. කට්ටියම ඒක බැලුවෙ ලොකු පෙරේතකමකින්. උපරිම වර්ණනාවකින් මගේ හිතේ ආඩම්බරයක් ඇති කරමින්.

කට්ටිය බැලුවට පස්සෙ අදාල දවස වෙනකල් මම ඒක ඔතල අරන් තිබ්බා.

විසි අටවෙනිද උදා වුණා. දවසම ගෙවුණෙ ටිකක් පාළු මූසල බවක් එක්ක. බොහොම තදින් අපේ දුක සැප බෙදාගත්තු සහෝදරයෙක් වගේ වැඩිහිටියෙක් අදින් පස්සෙ අපෙන් සමුගන්නවා. ඒ ගැන තිබුණ දුක නොකිව්වට කාටත් තදින් දැණිල තිබුණා. ආරියපාල මහත්තයා සුපුරුදු හිනාවෙන් වෙනදටත් වඩා ලෙන්ගතුකමින් දවස ගෙවන්න ලොකු උත්සාහයක යෙදුණත් එයාගෙ හිතේ තිබුණ දුකත් හැමෝටම තේරුණා.

හවස ‍තේ වෙලාවත් එක්ක පුංචි සාදයක් පිලියෙල වුණා. ගුණ කථන, ගුණ වැයුම්, සින්දු, කවි, කතා එක්ක බටර් පාරවල් කීපයක්ම අවකාශයට එකතු වුණා. සේරම ලොක්කොයි සොක්කොයි කතා කරල ඉවර වුණාම කවුරුත් තම තමන්ගෙ තෑගි ආරියපාල මහත්තයට දුන්නා. ඊට පස්සෙ තමයි එයාගෙ කතාව පටන්ගත්තේ...

සාම්ප්‍රදායික ස්තූතියකින් පටන් අරන් කාර්යාලෙ හැමෝගෙම හොඳ කියපු ආරියපාල මහත්තයා තමන්ගෙ ඉතිහාසය ගැනත් රාජකාරි ජීවිතය ගැනත් දිගට කතා කලා. රාජකාරියේ නොයෙක් දුක් විඳල කැපීම්, ඇදීම්, නොසැලකීම් ගොඩකට මූණ දීල හොඳ ස්ථාවරයකට ආපු ගමන්මග ගැන දැණෙන්න කියන්න එයාට පුළුවන් වුණා. රාජකාරියට තිබුණ ආදරයත් රාජකාරියෙන් තෘප්තිමත් වීමත් ඒක ජීවිතේටම විහිදුවීමත් වගේ දාර්ශණික දේවල් ගැනත් කතා කලා.

අපට තේරුණේ එයා රාජකාරියට තදින් ඇලිල හිටපු නිලධාරියෙක් කියලයි. ජීවිතේ අවුරුදු හතලිහක්ම රාජකාරියේ නියැලිලා හිටපු නිලධාරියෙක් විධියට එයාගෙ ජීවිතේම වෙලා තිබුණෙ රාජකාරිය. ඒකෙන් ගැලවීම ජීවිතේ නෙවෙයි වගේ කියල එයා හිතන බව අපට තේරුණා.

කතාව අවසානයේ එයාට ඇඬුම් ආවා. ලේන්සුවෙන් ඇස් දෙක පිහින ගමන් එයා කතාව නතර කරල ඉඳගත්තා. කාටත් තිබුණෙ දැඩි දුකක්. ඒත් වන්දනා කිරීම්, වැළඳගැනීම් ගොඩකට පස්සෙ එයාට සමුදෙන්න අපට සිද්ධ වුණා. වාහනේට තෑගි ටික පටවල දීපු කිට්ටුවෙන්ම හිටිය අපි කීප දෙනෙක්ව ආයෙත් වැළඳගෙන ආරියපාල මහත්තයා ගෙදර යන්න පිටත් වුණා.


********************


පහුවදා උදේ වැඩට යද්දි හැමෝම කලබල වෙලා හිටිය හේතුව දැනගත්තම මට උන් හිටි තැන් අමතක වුණා. විජිතවත් ඇදගෙන එවෙලෙම පිටත්වෙන්න මට උවමනා වුණත් කාර්යාලෙම පොදු වාහනයකින් කට්ටියක්ම පිටත් වෙන්න සූදානමින් හිටියා.

ආරියපාල මහත්තය දුක වැඩිකමටද කොහෙද කලින්දා හොඳටම බීල වාහනේ හප්පගෙන.

අපි යද්දි බොඩිය ගෙදරට ගෙනල්ලත් ඉවරයි. ගෙදරට යන පාරෙ දිගටම වාහන නතර කරල නිසා අපේ වාහනේ ඈතින් නතර කරල අපි පයින් ගේ දිහාවට පිටත් වුණා. ආරියපාල මහත්තයගෙ පොඩි පුතා ඇස් රතු කරගෙන අපිව පිළිගත්තා.

කලින්දා රාජකාරියෙන් සමුගත්තු ආරියපාල මහත්තය අද ජීවිතයෙනුත් සමු අරන් තිබුණා. එයාගෙ නිසල දේහය ගේ මැදක නිහඬව තිබුණා. අනතුරක් වුණ බවක් පේන්න නැහැ. මිය ගිහින් වුණත් ‍තේජාන්විත මුහුණ ඒ වගේමයි.

මගේ ඇස් වලට සීරුවෙන් කඳුළු ගලාගෙන ආවා.

මට පේන දර්ශනය ටිකෙන් ටික බොඳ වුණා. ඒ අතරින් මට පෙණුනා...

මම දුන්නු පින්තූරෙ ආරියපාල මහත්තයගෙ ඉහ අද්දරින් තියලා....

ඒකට මල් මාලයකුත් දාලා...




පින්තූරයේ ඉන්නේ Wilfrid Brambell නම් අයර්ලන්ත ජාතික නළුවෙකි.

Tuesday, 24 May 2011

අලුත් වැඩක් එක්ක අලුත්ම අලුත් ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්!

කාලෙන් කාලෙට කරන්න හිතාගෙන ඉන්න වැඩ අතරෙ තව වැඩක් ඔෆීෂයල් විධියට පටන්ගන්නයි මේ සූදානම. පටන් අරන් කාලයක් වුණත් දැන් තමයි වැඩේ හරියට කරගෙන යන්න පටන්ගන්නේ. ඉතිං ඔය ඉන්න කවුරු හරි කතුර අරන් රිබන් එක කපන එකයි ඇත්තේ... කතුර දාපු බන්දේසිය අල්ලගෙන ඉන්න ලස්සන ගෑණු ළමයව පේනව නේද? ;-)

අවුරුදු ගාණක් පරිගණක චිත්‍රණය ආශ්‍රිත රස්සාවල් කරල දැන් නිකංම නිකං මෙලෝ රහක් නැති රස්සාවක් කරගෙන ඉද්දි තමයි නිකංම නිකං අකුරු විතරක් ලියනවට වඩා කරන්න දේවල් තියෙනව නේද කියල හිතුණෙ. ඒ අදහසත් හිතේ තියාගෙන කම්මැලිකමේ කාලයක් හිටියත් කවද හරි කරන්න ඕන දේ කරන්න සිද්ධ වෙනව. ඒ නිසා මගේ චිත්‍රණමය අත්දැකීම් බෙදාගන්න වෙනම අඩවියක් පටන්ගන්න හිතුවා. ද්විමය තලයක කරන පෙරළි ගැන තමයි මේකෙ කතාකරන්න සූදානම. කෙටියෙන් දන්න විධියට කිව්වොත් පරිගණක ආශ්‍රිත චිත්‍රණය හෙවත් සිංහලෙන් graphic designing ගැන තමයි කියන්න සූදානම. ඊට අමතරව ඒක මගේ නිර්මාණ, ඔය කොමික් කෑලි වගේ ඒව පබිලිස් කරන්නත් යොදාගන්නව. දැනට තියෙන්නෙත් ඒව විතරයි තමයි.

මේක එක විධියක පිම්මක්. සාමාන්‍යයෙන් ජීවිතේ සම්බන්ධ ලිවීම් ඇතුලට මුදල් සම්බන්ධකරගන්න එක ගැන මගේ මනාපයක් නැතත් මේක එහෙම කරන්න මගේ අදහසක් නෑ. ඒ කියන්නෙ බලන්න ටිකට් ගන්න ඕන කියල නෙවෙයි. නමුත් ඒක ඔන්නොහේ විකිණෙන්න දාල කියලයි. ඒ නිසා ‍මේකෙ සයිඩ් බාර් එකේ පිං කැටයක් තියෙනවා. ඒක ගැනත් කියල ඉන්න ඕන නිසා මෙතනම කිව්වා. ඔය පිං කැටේ ඔහේ තිබුණාවෙ. සමහර විට ඕක කඩන්න ඕන වෙන එකක් නැතිවෙයි.

එහෙනම් කියවන්න විඳගන්න අළුත් අත්දැකීමක්.

එන්න... ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් එක බලන්න.

පිවිසෙන්න මෙතනින්.....


Monday, 23 May 2011

බැරි වැඩ වලටත් ට්‍රයිම කරපන් පුතා...


ලංකාවේ අපිට දැන් හරිහමන් ජීවිත විලාසයක් නැත. අපි ඉන්දියාවේ විලාසයෙන් ජීවත් වෙන අතර ඉන්දියාවට ඒ ක්‍රමය එන්නේ ඇමරිකාවෙනි. ඉතිං ටිකෙන් ටික අපි ඇමරිකානුවන් වෙමින් යන අතරෙ (පුහ්! කාටද ආඩම්බර) දැනට අල්ප වශයෙන් හෝ නමට පමණක් පවතින අපේ පැරණි ජීවන විලාසය උත්කර්ෂයට නංවා තෘප්තිමත් වෙමු. ඇතැම් විට ඒ කෙතරම් නොදන්නේ වුවත් පැරණි ලංකාවේ ජනජීවිතය තුල තිබූ වත්මනේ අපට නැති යමක් ගැන අපි සවිඥාණික නිසා වන්නටත් පුළුවන. නමුත් බොහෝවිට වන්නේ පැරණි දේ ඇගයීමේ සාම්ප්‍රදායික වතාවත් අනුකූලව එය වර්ණනය කිරීමයි. නැතහොත් එය ජනප්‍රිය ජීවන විලාසයේ පොෂ් අංගයක් වීම නිසා ඩෙනිමට යටින් ඇත්තේ ජැක්සන් කෙනෙකු වුව පැරැන්නාගේ අමුඩයට ආ වඩා එක දමාගැනීමයි.

මා දන්නා ඉතිහාසයක් නැත. යම් පමණකින් දනිතත් මා එය කරපින්නාගෙනත් නැත. මට මතක ඉතිහාසයේ සිටම මා සිතූ අයුරින් වඩා වැදගත්ව ඇත්තේ වත්මනේ මා ඇත්තේ කොතැනකද යන්නයි. මා සිටිනා ස්ථානය වෙත මා රැගෙන විත් ඇත්තේ මා දන්නා ඉතිහාසය විසින් බැවින් ලැබෙන හැම විටෙකම මම ඉතිහාසය කියවන්නට වෙර දරමි. එහෙත් ඉන් පාඩමක් උකහාගැනීම එකට මුසු වූ ගොමෙන් කිර වෙන්කිරීම තරමටම අපහසුය. මන්ද චිරාත් කාලයක ඇවෑමෙන් ඉතිහාසය යන්න සත්‍යය, මිථ්‍යාව, යුද්ධ, දේශපාලනය ඇතුළු වර්තමානය ගිණි අවුළුවන බොහෝ දෑ විවිධාකාරයෙන් කලවම් වී ඇති තලපයක් වැන්නක් හෙයිනි. එහෙයින් ඉතිහාසය මත පදනම්ව තීරණ ගැනීම නම් අතිශය භයානකය.

ලංකාවේ අපට හරිහමන් ජීවිත විලාසයක් නැතැයි මම මුලින් කීවෙමි. එය අසත්‍යයකි. අප‍ට ඇත්තේ මේ අප ජීවත්වෙන විලාසයයි. එය පැමිණෙන්නේ කුමන දෙසකින් වුව අද අපි ඒ විලාසයේ ජීවත් වන්නෙමු. ඉතිහාසයත් නූතනත්වයත් එකිනෙක එකඟ නොවන අවස්ථා වලදී අපි වඩා වාසිදායක ආකාරය පිළිගනිමු. ඒ අපේ විලාසය වේ. එක් අතකින් එය ඔබ මම ඇතුළු මුළු මිනිස් වර්ගයාගේම විලාසය බැවින් ලිවීමට තරම් එහි අරුමයක් නැත.

සුද්දා කිව්වෙ ට්‍රයි ට්‍රයි ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කියාය... කෙල්ලකට හිත වැටුණු විගස අපි ඔය පාඨය මෙනෙහි කරමු. දැඩි තරගයකදී අපි නිරතුරුව උත්සාහයේ යෙදෙමු. එහෙත් සුද්දා කීවේ එසේ වූවාට ලංකා ඉතිහාසෙ උපහැරණයක කියවෙන්නේ බැරි වැඩ නොකරන් අබරෝ කියාය... ඒ සම්බන්ධ නිධාන කතාව මා දන්නේ නැත. එහෙත් කතාවේ හැටියට අපේ පැරණි උදවිය නොදන්නා දෙමළෙට ගොස් නැති බව ඉන් කියවේද? දැන් අපි අහන්නේ කාවද? සුද්දාද? නැත්නම් දේශීය පැරැන්නාද?

ඇත්තෙන්ම අපි අපේ වාසිය අනුව ඔය දෙපසටම සවන් දෙන්නෙමු. ඒ අපේ ජීවන විලාසයයි.


පින්තූර සඳහා අනුග්‍රහය දැනගැනීමට අවශ්‍ය නම් ඒ මත කොටාබලන්ට

Friday, 20 May 2011

අනේ ඒකත් කරල දෙන්න...



ගිය පාර වර්ල්ඩ් කප් එක දිනවන්න කියල සක්‍ර දේවෙන්ද්‍රව හොයාගෙන ගිය ලාසිංහ දෙවියන්ව ඔයාල දන්නවනේ. පහුගිය වතාවෙ වැඩේ අප්සෙට් වුණ හින්දා උන්නැහේ කාලයක් ඉහල පාලනාධිකාරිය ගැන කලකිරිල තමයි හිටියෙ. පස්සෙ බැලින්නම් ඔය ඉහල පාලනාධිකාරි කියන ඒව සේරම එකයි කියල උන්නාන්සෙට තේරුණා. කොහෙද ඉතිං උදේ ඇහැ ඇරුණු වෙලේ ඉඳන් රෑ සැතපෙනකල්ම ඇසිල්ලක් ලද ඇසිල්ලේ රූප පෙට්ටියට ඔළුව ඔබාගෙන ඉන්නව මිසක් බ්ලොග් එකක්, පොතක් පත්තරයක් කියවනව කියලයැ. ඔය නිසා උන්නාන්සෙ හිතාගෙන හිටියෙම රූප පෙට්ටියෙන් පෙන්නන තරමටම පාලනාධිකාරිය සුන්දරයි කියලා. අනික ගතවුණ කාලෙ ඇතුලත ලංකාවෙ මිනිස්සුන්ට ඒ තරම් යාතිකා කරගෙන ඉන්න තරම් දෙයකුත් ලැබුණෙ නෑ වෙන්න ඇති. මොකද ඊට පස්සෙ උන්නාන්සෙට ලක්වැසියන් කෙරෙහි නැමී ඉන්න වුණේ නෑ...

ඉතිං ලාසිංහ දෙවියො තමන්ගෙ වාසභවනෙ ස්විමිං පූල් එකට වෙලා ලෝකල් අමෘතය ටිකක් තොලගාන ගමන් දිව්‍යාංගනාවන්ගෙ සුමුදු පිරිමැදීම් විඳගෙන ඉන්න අතරෙ උන්නාන්සෙගෙ මොබයිල් එක කෑගහන්න ගත්තා. ෂුවර් එකට පහල ලංකා පුරේ දේවාලෙකින් ඇමතුමක්‍. ඉස්සරනම් ඕවට මොබයිල් ෆෝන් තිබුණේ නෑ. සක්‍රතුමාගෙ වගේම පඬුපුල් පුටුවක් තමයි තිබුණෙ. ඒත් ඒකත් සක්‍රතුමාගෙ එක වගේම ඔරිජිනල් එකක් නෙවෙයි. ඔය චීන දෙයියො ටිකක් ආධාර වශයෙන් මවල දීපුවනේ... හත් අටවතාවක් රත්වෙද්දි ඒකෙත් ෆියුස් ගියා. ඒ නිසා සක්‍රතුමාගෙ නියෝගය මත හැම දෙයියෙක්ටම හායි කියල කට ඇරල කියන්න පුළුවන් ගොඩ්ඩ්‍රොයිඩ් කිරි ටොයියා ෆෝන් එක ගානෙ හම්බ වුණා.

ලාසිංහ දෙවියො ෆෝන් එක දිහා බැළුව. දෙයියන්ටම තියෙන ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් කෙලින්ම දෙයියො බැලුම් දානව වගේ ලයිව් ලෝකෙ වෙන දේවල් බලන්න පුළුවන්. කොළොම්පුරේ පොරසිද්ධ දේවාලෙක මහා යාතිකාවක්. කපුවා රෙදි ගලවගෙන කන්නලව් කරනවා. පණ යනකල් නටනවා.. දිගටම නැටුවොත් හන්දි ගැලවිලා විසිවෙන තරමට. දේවාලෙ වටේ සෙනගත් ටිකක් ඉන්නවා. අත්වල පඬුරුත් යහමින් තියෙනව වගේ. ලාසිංහ දෙයියො ක්ෂණයෙන් ඇඟ පිහිදගෙන දේවාලෙට වැඩම කරා.

"පස්වාන්දහසකට බුදුවන්ඩ දෙවියනේ... ගැත්තන්ට අනුකම්පා කර මේ කන්නලව්වට හිත් යොමන ‍සේක්වා...
උඩ උඩ වර බිම බිම වර පොළොව යටින් වර...
අහ අහ වර කහ කහ වර ගන්ධ බලන් වර...
ලැට්ටොප් ගෙන අයි පෝන් ගෙන වයර් ගහන් වර...
ලිමෝ කෘසර් හැමර් පොෂේ ඕන එකක වර...
නා නා නා නා නා නා නා නා නා නා නා..."

කපුවා කියවන්න ගත්තා... මොඩන් යාතිකාවක් නිසා දෙයියන්ට ටොක්කක් ඇන්න වගේ තේරුණා. ඉතිං දෙයියො කපුවට ආවේස වුණා ඔහෙ හිටු කියලා. දැන් කතාව යන්නෙ කපුවගෙ හඬින් ලාසිංහ දෙයියො අර දේවාලෙ ඉදිරිපිට හිටපු මහජනතාව අමතන විධියට.

"මෙතරම් ජන පිරිසක් එකතු වී මාගේ උපකාරය බලාපොරොත්තු වෙන කාරණේ කුමක්ද?"

අර ජනතාව සේරම දෙනා බිම බලාගෙන දොහොත් මුදුන් දීල වැඳගත්තා. ඒ අතරෙ හිටපු ප්‍රධාන සංවිධායක වගේ පෙණුන මනුස්සයෙක් දෙකට නැමීගෙන ඉදිරියට ආවා.

"අවසර දේවයිනේ... අපි මේ සමස්ථ ලංකා සිල්ලර කඩහිමියන්ගේ සංගමයෙන්..."

ඒ මනුස්සය බැගෑපත්ව කිව්වා...

"ඔව්... කාරණාව කියන්න..."

"අනේ දේවයිනේ... ඔබ වහන්සෙ දන්නවනෙ පෝය දවසෙ මත්පැන් විකුණන්න නීතියෙන් තහනම් කියල."

සංගමේ සභාපති බිම බලාගෙන වැඳගෙන කිව්වා...

"ඔව් ඔව්... අපට දිවැස් කියා එකක් තියෙන්නේ අල්මාරියේ දා තියන්ට නොවෙයි නරය! ඒක බොහොම අගේ ඇති නීතියක්. තොපලාගේ පාලකයින්ගේ අලංකාරවත් ධාර්මික රාජ්‍ය පාලනකෘත්‍යය මැනවින් විදහාපාන අවස්ථාවක්."

"එහෙමයි එහෙමයි... අපි මේ ආවෙ ඔබ වහන්සේට කියල පෝය දවස් වලට මේ...."

"තෙපර බාන්නේ නැතිව වහා කියනු කාරණය..."

"නෑ දේවයිනේ... අපි මේ සිල්ලර කඩ හිමියන්ගේ සංගමය විධියට මේ ඉල්ලීම කරන්න වෙන කෙනෙකුත් නෑ... ඔබ වහන්සේට කන්නලව්වක් කරන එක විතරයි අපට ඉතිරි වෙලා තිබුණේ..."

"අගෙයි අගෙයි.. දෙවියන් ජෝකර්ලා වී ඇති රටක මා හට තවමත් මෙතරම් භක්ත්‍යාදරයක් දැක්වීම ඔබගේ හිතසුව පිණිසම වන්නේය... ඉතින් කාරණය කියව..."

ලාසිංහ දෙයියන්ට පුංචි ආඩම්බරයක් දැණුනා...

"දෙවියනේ අපේ පාලක උන්නාන්සෙල ලව්වා පෝය දවස් වලට දුම්වැටි විකිණීමත් තහනම් කොරල දෙන්ට ඇහැක්නං.."

"මොනවා...? දුම්වැටි? ඇයි එව්ව විකුණන්න තහනම් කරන්නේ...?"

"මේකයි දේවයිනේ... ඔය මත්පැන් විකුණන උදවිය පෝය දවස් වලට තමයි වැඩියෙන්ම ආදායම ලබන්නේ... මොකද එදාට බෝතලේ විකිණෙන්නෙ බෝතල් දෙකේ මිලට නෙව... ඉතිං අපිත් කල්පනා කළේ සංගමයක් විධියට සංවිධානය වෙලා දුම්වැටි තහනමකුත් පෝය දාට ඉල්ලගන්න. එතකොට අපිට එව්වත් දෙගුණෙකට විකුණලා හොඳ ගාණක් හෙව්වෑකි..."

ලා සිංහ දෙයියන්ට තරු පෙණුනා... උන්නාන්සෙ කොයිතරම් කම්පනය වුනාද කිව්වොත් වහාම එතනින් චුත වුණා. කපු උන්නැහේ ඇදගෙන වැටුණා.

සිල්ලර කඩහිමියන්ගේ සංගමයේ උදවිය සෑහෙන්න වෙලාවක් බිම බලාගෙන වැඳගෙන හිටියා...

Thursday, 19 May 2011

මාළු කෑම එකක්!

සර්යි මැඩමුයි දෙන්නව කොට්ටාවෙන් වාහනේ නග්ගවගෙන මම පිළියන්දල පැත්තට වාහනේ කැරකෙව්වෙ සීරුවෙන්... සර්ට නම් ලංකාවෙ පාරවල ඩ්‍රයිවින් ගැන දැනුමක් තිබුණට මැඩම්ට නම් පොඩි මිස්ටේක් එකටත් හොඳටම තද වෙන හින්දා එයා එක්ක යද්දි පරෙස්සම් වෙන්න ඕන සෑහෙන්න.

පිළියන්දල පාරයි හොරණ පාරයි වෙන්වෙන හන්දියෙ කොහොමත් ටිකක් ඉන්න වෙනවා.

ඔතන තියෙනවා සත්තු විකුණන කඩයක්. කූඩු වල දාල කුරුල්ලො, බල්ලො, පූසො විකුණනවා. වැඩියෙන්ම ඉන්නෙ කුරුල්ලෝ. එතනදි පැහැදිලිව කුරුළු සද්දෙ ඇහෙනවා දැණෙන්න.

"අනේ පව් නේද මේ සත්තු..."

‍මැඩම් කිව්වා..

"පව් නෑ ඉතිං උන් කාල බීල ඉන්නවනේ..."

ඒ කිව්වෙ සර්.

"ඒ වුණාට උන්ගෙ ස්වභාවික පරිසරේ හැදෙන්න නැතිව හිර වෙලානෙ ඉන්නේ.... මොනව වුණත් වටවුණු සීමාවකනෙ උන්ගෙ ජීවිතේ තියෙන්නෙ..."

"හ්ම්ම්..."

සර් කට වහගෙන හිටියා...

මැඩම්ට පිළියන්දල සුපර් මාකට් එකට යන්න ඕන වුණා...

"මම ලිස්ට් එක අරගෙන ආවෙ..."

"හරි යමු එහෙනම්"

"ආ.... මාළුන්ගෙ කෑම ඉවරයි. මතක ඇතිව මාළු කෑම එකක් ගන්න මතක් කරන්න."

Sunday, 15 May 2011

ආයුබොවන් ගුඩ් මෝනින් ||| ත්‍රී ||| රන්වල බලකායෙන්


හරිම හොඳයි හැම බබාම අද ඇවිල්ල වේලසනින්
අපි පන්තිය පටන් ගනිමු ආයුබොවන් ගුඩ් මෝනින්

ආයුබොවන් ගුඩ් මෝනින්

අද පාඩම පටන්ගන්න කලින් සැවොම මේ අහන්න
ලොකු වුණාම වෙන්න කැමති කවුද කියල මට කියන්න
අත උස්සල මට කියන්න

කලින් ලියපු රන්වල බලකායෙ ත්‍රී ප්‍රසංගය ගැන සටහන කියෙව්වනම් මම ඒක කොහොම හරි බලන්න උවමනාවෙන් පෙලුන බව ගැන දන්නව ඇති. මගෙ චාන්ස් එකකටද කොහෙද ඒකෙ කමෙන්ට් එකක් දාපු නවීන් මාධව සහෘදයා ත්‍රී ප්‍රසංගයේ ඊලඟ දර්ශන වාරය ගැන ඔත්තුවක් දීල තිබුණ. ඒක අනුව අදාල දවස්වලදි ක්‍රියාත්මක වෙලා ත්‍රී බලන්න අවස්ථාවක් ලබාගන්න මට පුළුවන් වුණා. අපි කව්රුත් දන්න පොරක් නම් වියදම් කරපු සල්ලිත් අපරාදෙ කියල කිව්වට මටනම් එහෙම හිතුණෙ නෑ. මම සහ මාත් එක්ක ඒක බලපු එයා, මෙයා, මෙයා සහ මෙයා කියන හතර දෙනාම ත්‍රී හොඳට එන්ජෝයි කලා. ප්‍රේක්ෂකාගාරයෙන් ආපු ප්‍රතිචාර අනුවත් එහෙම අවුලක් නම් පෙණුනෙ නෑ. සමහර විට ඉතිං ජස්ටින් බීබර්, ලේඩි ගාගා, රිහානා අහද්දි දොම්කිට දොං තරිකිට වගේ සද්ද ටිකක් අජූත වෙන්න පුළුවන්... :ඇහැක් ගහමි.


මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කරවන
එන්ජීඕ එකක් දමා ගන්නෙමි එහි මුල් තැන


ත්‍රී කියන්නෙ ලංකාවෙ සිංහල ගැමියාගේ ජීවිතයේ සංස්කෘතික ප්‍රසංගයක්. දැන් ගැමියො නෑ කියල අපි හිතුවට අවුරුදු ගාණක් පරණ ගැමියන්ටත් වඩා පරණ අය තමයි දැන් ලංකාවෙ ඉන්නේ.... ඒව වැඩක් නෑ... ත්‍රී, ලංකාවෙ අක්මුල් විහිදුවල තියෙන සිංහල ජනගීය සහ වෙනත් සංගීතමය මූලාශ්‍ර ඇසුරු කරගනිමින් නිර්මාණය වුණ නූතන නිර්මාණ සරණියක්. රුහුණු මායා පිහිටි කියන තුන් සිංහලයේ උඩරට, පහතරට සහ සබරගමු කියන ත්‍රිවිධ සම්පුදායන්ගේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් තමයි ත්‍රී තුල නිරූපණය වෙන්නේ. ලයනල් රන්වල මහත්මයාගෙ අහසෙ ඉන්නවලු, ගම අවුලඤ්ඤං, යුද්දෙටත් ඇවිත් කියන ප්‍රසංග තුනම එහෙම ඒවා තමයි. නමුත් ත්‍රී කියන්නෙ ලයනල් රන්වල මහතාගේ ඝෘජු දායකත්වය අහිමි වුණත් එතුමා බිහිකරපු සම්ප්‍රදාය රැකගනිමින් සිංහල ජන නාද රටා නූතනය එක්ක එකතු වුණ අවස්ථාවක්.


ගයන නටන ඉස්ටාර්ල දැක මගෙ බඩ දනවා
සීසන් ටෙන් එකේදි හරි මම තරුවක් වෙනවා


මේකෙදි තර්ක කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. නිකං ජන ගීයක කෑල්ලක් දාපු පමණින් කොහොමද ඒක සිංහල ජන ගීතය වෙන්නෙ කියලා... ඒ තර්කෙ හරි. සමහර විට එහෙම කෙරුණ නිර්මාණත් අපට අහන්න තියෙනවා. බෙර සද්දයක්, තම්මැට්ටමක් දාපු පමණින් සංගීතය ජන ගී ආරක් ගන්නෙ නෑ. එහෙම ගත්තොත් භාතිය සන්තුෂ්, සෙන්ටිග්‍රේඩ්ස් වගේ අයත් එහෙම නිර්මාණ කරල තියෙනවනේ. නමුත් ඒ නිර්මාණ සේරම ජන ගී විලාසයකින් ගැයෙන්නෙ නෑ. ත්‍රී සහ රන්වල බලකායෙ වෙනත් නිර්මාණ විශේෂ වෙන්නෙ එතනදි. ඒ නිර්මාණවලදි ගීත ගැයෙන රටාව, හඬ උස් පහත් වීම්, එතකොට අර මල ඉලව් ශ්‍රැතිය කියන එක සහ සංගීත රටාවන් වගේ අංග තියෙන්නෙ විවිධ ජන ගී නිර්මාණ වල ඒ ඒ ලක්ෂණ අනුව.

එහෙම කියලා ත්‍රී එකෙත් හැම නිර්මාණයක්ම එහෙමය කියල කියන්නත් බෑ.


තම තමාගෙ ගැන විතරක් දරුවනි හොඳ නෑ හිතන්න
ආස කෙනෙක් නැද්ද මෙතන රටට සේවයක් කරන්න


රඟපෑම් වලදි නළු නිලියන් සියළු දෙනාම සෑහෙන්න කැපවෙලා තිබුණ. වෙනස් නාට්‍යමය අංග ගණනාවකදි ඒවයෙ ප්‍රධාන චරිත නිරූපනය වුණ විධිය සහ පසුබිම් රඟපෑම් අති විශිෂ්ඨයි. කොහොමත් ඔය පසුබිම් රංගනය රන්වල බලකායෙ නිර්මාණ වල ‍ලොකු දෙයක් කරනවා. එක් එක් රංගන ශිල්පායා‍ට එක එක නිර්මාණයෙදි කරන්න වෙනම චරිතයක් තියෙනවා. උවමනා කෙනෙක්ට මේ වීඩියෝවෙන් ඒ ගැන සහතික කරගන්න පුළුවන්.


මම ඉපදුණ මගේ රටට නිහඬ සේවයක් කරන්න
මම ආසයි ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න


මුළු ශාලාවම දෙදුරුම් කවපු බෙර සද්දෙ නම් අමතක කරන්න බෑ. නම් වලින් මතක නැති එක එක බෙර වර්ග කීපයකින් සහ තම්මැට්ටම්, වයලින්, බටනලා එක්ක ගිටාර් සහ ඩ්‍රම් ඇතුළු වෙනත් අපරදිග භාණ්ඩ පාවිච්චි කරල සංගීතය කම්මැලි නැති ගති තැනක පවත්වගන්න ඒ නිර්මාණකරුවො සමත්වෙලා තිබුණ. කලින් සටහනෙත් කියපු විධියට පැරණි දේ පැරණි විධියටම තිබීමෙන් ඒවට සෙතක් වෙන්නෙ නෑ සමහර දේවල් සැලකුවම. පැරණි ගෘහ නිර්මාණ වගේ එව ඒ විධියටම තිබීම මත ජනප්‍රිය වුණාට සංගීතය ඇතුළු වෙනත් ඇතැම් කලාවන් පැරණි වේශයෙන් පවතින්නෙ නෑ. විශේෂයෙන් ලංකාව වගේ රටවල ඒක එහෙම වෙන්නෙ නෑ. ඒව අළුත් වෙන්නෙ නූතනත්වය එක්ක එකතු වුණාම විතරයි. ඒකෙදි පැරණි දේ සමහරක් නැති වෙනවා. නමුත් කිසි දෙයක් එකම විධියෙන් දීර්ඝ කාලයක් පවතින්නෙ නෑනේ. එහෙමවත් ඒ දේවල් ඇහුණෙ නැත්තං ඕව කට්ටිය අහයිද? ඒව සිංහල දෙමළ අවුරුදු කාලෙට ඔහේ ඇහෙනව විතරනේ සහ කලම්බෝ කලම්බෝ බලපු තරම් පිරිසක් ත්‍රී නොබැලුවෙ ඒ නිසා නේ...


මාධ්‍යවේදියෙක් වෙනව මමනම් ලොකු වීලා
රටට සේවෙ කරනව ඉල්ලන සින්දුව දීලා

කැමතිම සින්දුව දීලා


කොහොමත් මම ත්‍රී බලපු බිෂොප් විද්‍යාලයේ රංග පීඨය ඒ නළු නිලියන්ට පුමාණවත් මදි බවක් දැණුනා. ඔවුන්ගෙ මුල් ප්‍රසංගයේ වීඩියෝ ට්‍රේලරයෙදි ඔවුන් දුව පැන නටපු තරමට නටන්න බිෂොප් වේදිකාවෙදි ඉඩක් ලැබුණෙ නෑ වගේ. කොහොමත් මට දැණුනු එක අඩුවක් වුණේ නර්තනයන්ගේ අඩුව. ඇතැම් ගීත වලට මීට වඩා ප්‍රසාංගික බවක් එකතු කරන්න තිබුණා නම් හොඳයි වගේ කියල මට හිතුණ. ගම අවුලඤ්ඤං ප්‍රසංගයේ ගීත රූපවාහිනියෙන් බලල තියෙන මට ඒ නිර්මාණ නර්තණ සහ නාට්‍යමය අංග වලින් ගොඩක් පොහොසත් කියල හිතුණ. ඒ අතින් ත්‍රී ට තවත් පියවරක් දෙකක් ඉදිරියට යන්න අවකාශ තියෙනවා.


මෙගා නාට්ටියක් කරමි කොටස් දෙතුන්දහක
එහෙන් මෙහෙන් රඟපානව මමත් එහෙක දෙහෙක

අනෙ අපිත් එහෙක දෙහෙක



හැබැයි ඒක ගැන එහෙම චෝදනා කරන එකත් වැරදියි. මොකද නළු නිලියන් 15ක් පමණ පිරිසක් නිර්මාණ 10ක් 12ක් අතරෙ විවිධ රංග වේශයන්ට මාරු වෙමින් ඇඳුම් මාරු කරගනිමින් රඟපාද්දි ඔවුන්ට ඒ මත නියැලෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ හින්දා හැම නිර්මාණයකදිම දැණෙන්න නටයි කියල බලාපොරොත්තු වෙන එක තේරුමක් නෑ. නමුත් ත්‍රී වඩා නාට්‍යමය වීමේ අවශ්‍යතාවය නම් මට පසුවත් දැණුනා. අපි හිතමු ආයෙ බලන්න අවස්ථාවක් ලැබුණොත් මොකක් හරි වෙනසක් :D මොනව වුණත් ත්‍රී තුල තිබුණ නිර්මාණ විවිධත්වය සෑහෙන්න හොඳයි. බොහොම මන්දගාමී වගේම නටන්න ඕන නම් කෙනෙක්ට නටන්නත් පුළුවන් රිද්මයේ නිර්මාණ කීපයක්ම තිබුණා. ඒ එක්කම ඒ නිර්මාණ වල අවස්ථාවන් නිරෑපණය සෑහෙන්න හොඳින් වුණා කියල මගේ දුර්වල නිරීක්ෂණ වලදි තේරුණා. අනාගතේ කවුද වෙන්නෙ කියන නිර්මාණයේ පුංචි එවුන්ගෙ මවා නොගත් සජීවී රඟපෑම් හැමෝටම දැණුනා. මම හිතන්නෙ වයස් බේදයකින් තොරව හැමෝම ඒකට කැමති වුණා. ගාමින්ද ප්‍රියවිරාජ්නෙ ලියල තියෙන්නෙ. මේ සටහනේ මැද්දෙ තැනින් තැන තියෙන්නෙ ඒ සින්දුව තමයි. ඊට අමතරව සිහිගිරි පුරේ කියන චිත්‍රපටි ගීතයෙ රංගනයට මම සෑහෙන්න කැමති වුණා. දිලීපගෙ ලිවිල්ලයි, සහන්ගෙ සංගීතයයි සුරේන්ද්‍ර එක්ක උරේෂාගෙ ගැයිල්ලයි ගැන කියන්න දෙයක් නෑ. ඊ ළඟට මහ බඹාට මූණු දෙකයි, මං මැරිලා, අනේ රකෝ (අනේ යකෝ?) එක්ක නැගෙනා හිරු කියන නිර්මාණයත් මගේ හිතට හොඳටම වැදුණා. ඔය මං මැරිලා කියන සින්දුවත් අපි කරන වැඩවලටම හිනා වෙන්න පුළුවන් සින්දුවක්. අනේ රකෝ කියන සින්දුව බොහොම ලස්සනට ගැයෙන ලස්සන තනුවක් තියෙන ප්‍රේම ගීතයක්. අවසාන අංගය විධියට තිබුණ බෙර වර්ග වලින් කෙරුණ නිර්මාණය විශිෂ්ඨයි. මට මතක් වුණේ හික්කඩුවෙ Elephant Foot බෑන්ඩ් එකේ නිර්මාණ. තම්මැට්ටම් දවුල් සහ උණ කඳන් වලින් නැගුණ සද්ද සේරම එක තාලයක් හදන්න සුසර වුණා හරිම සීරුවට... Tyronne Silvaගෙ ඩ්‍රම්ස් වල සද්දෙ වගේ දැණෙන්න තම්මැට්ටම ගහපු අයිය ගැන මාත් එක්ක හිටපු එක්කෙනෙක්ගෙ හිත ගිහිං තව පොඩ්ඩෙන් ලොකු අලකලංචියකුත් වෙන්න තිබුණා.


කෙනෙක් කරන දේ වැදගත් තමන්ට වාගෙම රටටත්
තමන් කැමති දේ කියන්න අත උස්සල කෙනෙක් තවත්


ත්‍රී ප්‍රසංගයේ නිර්මාණ අඩංගු සංයුක්ත තැටියේ සඳහන් විධියට ඒ හැම නිර්මාණයකම ජන ගී මූලයන් අඩංගුයි. ඒ සංයුක්ත තැටියෙ තියෙන නිර්මාණ බොහොමයකට මම දැන් වහ වැටිලා. විශේෂයෙන් ප්‍රදීප් මුතුකුඩආරච්චි සහ ශිරාණි වික්‍රමසිංහ දෙපලගේ කට හඬ එක්ක මම හොඳටම බැඳිලා. ප්‍රසංගය අතර මිලට ගත්තු රන්වල බලකායෙ කලින් ප්‍රසංග වල නිර්මාණ ඇතුලත් වුණ ගම අවුලඤ්ඤං ඩීවීඩී තැටියෙ තිබුණ විධියට ප්‍රදීප් මුතුකුඩආරච්චි කියන්නෙ ලංකාවෙන්ම විශිෂ්ට ස්ථාන ලබපු ගායන ශිල්පියෙක්. තරුවක් වීම අත්හැරල ඔහු ඉන්නෙ ලාංකික ජන සංගීතය පවත්වාගැනීමේ ව්‍යාපෘතියක. ශිරාණිගේ ක‍ට හඬ ජන ගී ආරටම ගැලපෙන තියුණු හඬක්. ඒ හඬෙන් කුෂානි සඳරේකා, ඉන්දිකා උපමාලි වගේ කෙනෙක්ගෙ සින්දුවක් අහන්න ඇත්නම්...


මම කැමතියි ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න
ලොකු වුණාම හරි ආසයි ක්‍රිකට් වලට යන්න


කෙනෙක්ට හිතන්න පුළුවන් මෙතන තියෙන්නෙ මරිසියක් කියලා. රන්වලලා ජනගීය මාකට් කරල සල්ලි හොයනව නේද කියල කෙනෙක් කියයි. ඒක එහෙම තමයි. එහෙම වටිනාකමකින් තොරව කිසිම දේකට පවතින්න බැරි තර්කයක් ඇතුලෙ ඔවුන් කරන දේ වෙනුවෙන් ඔවුන්ගේ පැවැත්ම ස්ථිර කර ගන්න මූල්‍යමය ගණුදෙනු පැවතීම අවුලක් නෙවෙයි. ඒක අවුලක් නම් ඒ සිස්ටම් එක හැදිල තියෙන විධියෙ අවුලක් මිස රන්වලලගෙ අවුලක් නෙවෙයි. දන්න තරමින් රජය හෝ කිසිම සංවිධානයක් හෝ ආයතනයක් ඔවුන්ට අනුග්‍රහය දක්වන්නෙ නෑ මේ නිර්මාණවල නියැලෙන්න. ඔවුන්ගෙ ප්‍රසංගය යම් අනුග්‍රහයක් මත සිද්ධ වුණාට ඔවුන්ගේ ජීවිත වලට අනුග්‍රහයක් වෙන්නෙ ඔවුන්ගෙ නිර්මාණ විතරයි. ඒකෙදි මැසිවිල්ලක් නැතිව ඔවුන් කරගෙන යන වැඩේ ප්‍රශසංසනීයයි. සමහර විට ජන ගීය හරහා නිර්මාණකරණයේ යෙදෙන එක ඔවුන්ට ආර්ථිකව වාසියක් දෙන කාරණයක් වෙන්න පුළුවන්. මොකද ඔවුන්ට තරගයක් නැති නිසා.


ක්‍රීඩාවත් හොඳයි පුතේ පෙරටම යන්න
උපන් රටට ගෞරවයක් අත්කර දෙන්න


ප්‍රසංගය බලන්න ඇවිත් හිටපු අයගෙන් සැලකිය යුතු කොටසක් අවුරුදු 15ට විතර අඩු දරුවන්. අපට ඉදිරියෙ හිටියෙ එක් දරුවෙක් කරපින්නගෙන තවත් දඟ මලු දෙකක් පාලනය කරගෙන හිටපු තරුණ යුවලක්. ඔවුන්ගේ රසය පවතින තැන සහ ඔවුන්ගේ දරුවන් ඒ තැන් වලට යොමු කරන්න දරන වෑයම ගැන සතුටක් ආවා. ඒ නිසා ප්‍රසංගය මැද පුංචි එවුන්ගෙ බෙරිහන් දීම්, කෑ ගැසීම් එක්ක සුරතල් ප්‍රතිචාරත් ඉවසගන්න අපට පුළුවන් වුණා.

සාමාන්‍යයෙන් කාර්යාලයෙදි හැමදාම ජාතික ගීය අහල මට ඒක දැණෙන්නෙ නැති නිකංම නිකං සින්දුවක් විතරක් වෙලා තිබුණට තම්මැටිටම් බෙර සහ වයලීන වලින් සංගීතවත් වුණ ජාතික ගීය මට ජීවිතේ පළවෙනි වතාවට දැණුනමද කොහෙද. පස්සෙ දැනගත්තු විධියට ඒක මට විතරක් වුණ දෙයක් නෙවෙයි. ඒක ඇහුවමයි හිතුණෙ මෙච්චර දවසක් ජාතික ගීය කියල අහපු එකේ සංගීතය විසින් ඒකෙ වචන වල අර්ථ මරල නේද කියල. ඇත්තට හැමදාම අහපු ජාතික ගීය වෙනුවට ඔය වර්ෂන් එක හොයාගන්න පුළුවන් නම්... උත්සාහයක් දරමු.

මම කියන්නෙ ලංකාවෙ මුල් තියෙන හැමෝටම ත්‍රී දැණෙයි. විශේෂයෙන් අපේකම, දේශීයත්වය ගැන පම්පෝරිය විතරක් තියෙන ගොඩක් දෙනෙක්ට මේක තමන්ව පරීක්ෂා කරන්න හොඳ අවස්ථාවක් වෙයි. බ්‍රිට්නි, එකෝන් අහන ගමන් බටහිරට බණින හෙළයන්ට මේක හොඳ අවස්ථාවක් තමන් ඉන්න තැන ගැන බලන්න. තමන් පෙනී ඉන්න යන දේ තුල තමන් ඇත්තටම ඉන්නවද බලන්න. (එකෝන්, බ්‍රිට්නි මාත් අහනවා. එයාල මේ පෝස්ට් එකේ ආරාධිත රංගණයක ඉන්නේ)

ඉතිං ආයෙ තිබුණොත් ගිහින් බලන්න. එක එක්කෙනාගෙ කතා වලට අහු නොවී තමන් ගිහින් වින්දනය කරන්න. තියෙන දවසක් ආරංචි වුණොත් මටත් කියන්න. මොකද හොඳට ඉඩකඩ තියෙන වේදිකාවක ආයෙමත් ත්‍රී අපූර්වත්වය විඳගන්න ආසයි...


මටනම් බෑ අව්වෙ දිගට ක්‍රිකට් ගහන්න
මෙමට ඕන ක්‍රිකට් බෝඩ් එකට පනින්න
බෝඩ් එකට පනින්න
පැනල සේවෙ කරන්න
ක්‍රීඩකයින් තෝරන්න
වර්ල්ඩ් කප් එක ගන්න


Wednesday, 11 May 2011

ගිටාරයයි මමයි කොළඹ!


ඒ දවස්වල මම ගිටාර් එකක් ගත්තෙ මගෙ කතාව ඒකෙන් කියන්න. ගිටාරයක් සහිත පිරිමියෙක් හෝ ගැහැණියක් හැමවෙලේම කියාගන්න කතාවක් තියෙන කෙනෙක් වගෙයි මට දැණෙන්නේ. ඒක අනිත් කිසිම භාණ්ඩයකට වඩා දැණෙන්න තියෙනවා ගිටාර් එකේ. සමහර විට ඒක ඔය එක එක ඉතිහාස කතා සහ වර්තමාන කතා එක්ක මම හදාගත්ත තවත් මනෝ විකාරයක් වෙන්න ඇති.

කොහොමත් මනෝ විකාර ඇත්ත ජීවිතේට වඩා සුන්දරයි. ඒක හුදෙක්ම මගේ ලෝකය තුල පවතින එකක් මිස ඇත්ත එක්ක කිසි සම්බන්ධයක් නෑ. ඒ නිසා ඇත්ත ලෝකෙ ඉන්න පණ්ඩිතයන්ගෙ පඬි වාක්‍යවලින් විනාස නොවී මනෝ විකාරයකට පවතින්න පුළුවන්.

කොහොම හරි ඔය කියපු ගිටාර් එක මම කවදාවත් ඉගෙනගත්තෙ නෑ. ඒක කළු පාට රෙදි බෑග් එකකින් ආවරණය වෙලා තාමත් මගෙ කාමරේ මුල්ලක. එයාට තනියට ඉන්නවා ඒ වගේම කළු බෑග් එකක හිරවුණ බොංගෝ එකක්.

ඔය ගිටාර් එක පිටේ ගැටගහන් මම ඇයව හම්බවෙන්න ගියේ නිවාඩුවක් දාල. ඇත්තම කිව්වොත් දෙන්නම හවස් වරුවෙ දවස් බාගයක් නිවාඩු දාල ඇවිත් හිටියෙ. විහාර මහ දේවි පාක් එක පැත්තට අපි දෙන්න ගියෙ ඇත්තටම යන්න වෙන තැනක් නොතිබුණ නිසාමත් නෙවෙයි. ඒ වෙනකොට මාස කීපයක් විතරක් වයස්ගත වුණ අපේ ආදර කතාව ඇතුලෙ නිදහසේ ආදරේ කරන්න යන්න පුළුවන් ගොඩක් තැන් වල අපි ඒ වෙද්දිත් ගිහින් හිටපු නිසයි. ඒක අපි දෙන්න කතා වෙලා දාගත්තු ගමණක්. ෆිල්ම් හෝල් එකකට ගියොත් දෙන්නම ෆිල්ම් එක බලනව මිස කතාවක් නැති නිසා ඒක හරිගියේ නෑ. ඒ අවට අපට දරාගන්න පුළුවන් ගානකට පැයගානක් කතාකරන්න පුළුවන් අවන්හලක් ගැන අපි දැනගෙන හිටියෙත් නෑ. ඉතිං එදා දවසෙ අපේ විකල්පය වුණේ විහාර මහ දේවි එක.

ඒක ඇතුලෙ අපට ඉඳගන්න තැනක් හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා. ඒකෙ එක කෙලවරක පෙම්කරන අය විතරක් හිටපු පැත්ත දිහා යන්තම් බලල ඒ ගැන හිතෙන් අයින් කරගත්තෙ ඒක බොහොම හිර වෙලා තිබුණ බව පෙනුණ නිසා. ඉඳගන්න බංකුවක් හොයාගන්න බැරිවුණ පෙම් යුවලවල් විතරක් පාක් එක පුරා පාරවල් දිගේ ඉබාගාතෙ ඇවිදිමින් හිටිය. අන්තිමේ කෙලවරක තිබුණ ඉස්සර කුරුල්ලන්ගෙ වැසිකිලියක් වෙලා තිබුණ බංකුවක් පිහිදල අපි ඉඳගත්ත.

ඊට පස්සෙ එයා සින්දුවක් කියන්න ගත්ත. මම ගිටාර් එක ගැහුව. එයාට හරියට සින්දු කියාගන්න බැරි වුණා වගේම මට හරියකට ගිටාර් එක ගහගන්න පුළුවන් වුණෙත් නෑ. සැරින් සැරේ එක එක යුවල ඇවිත් අපි දිහාත් බලල අපි හිටපු බංකුව දිහාත් බලල මූණ බර කරගෙන යන්න ගියා. එක යුවලක් අන්තිමේ වහල තිබුණ ලොකු කුණු බක්කියක ඉඳගත්තා.

අපට වැඩි වෙලාවක් එතන ඉන්න වුණේ නෑ. හවස තුන වෙද්දි ගාඩ් කෙනෙක් ඇවිත් අපට යන්න කිව්වා. අර තැන් තැන් වල තමන්ගෙ ලෝක අස්සෙ හිටපු පෙම්යුවල එක දෙක ඒ තැන් වලින් එලියට ආවා. හවස තුනෙන් පස්සෙ පාක් එක වෙන් වෙන්නෙ පෙම් කරල හෝ නොකරල අන්තිමේ කසාද බැඳල ළමයි හදපු පවුල් වලට. ඒ පවුල්වල ළමයින්ට අපව පේන්න හොඳ නැති නිසා තමයි අපට එලියට යන්න වුණේ. ඔය පාක් එකේ රෑට නිදාගන්නව වයසක සීයල ආච්චිල කීප දෙනෙක්. ඒ අය දවල්ට ඔය පුංචි වෙළඳාම් කරන අය. පාක් එකේ කාලෙ වෙන්වෙලා තිබුණෙත් ජීවිතේ අනුවද මන්දා.

ඊට පස්සෙ අපි ආවෙ බොරැල්ලට. බත්තරමුල්ලට බස් එක ගන්න අපි වෝඩ් ප්ලේස් එක පැත්තෙ තියෙන උමගට ඇතුල් වුණා. ඒක අස්සෙ අපට පාර වැරදුණා. කොහොමත් දැන්වීමක් නොකියවන මිනිස් පුරුද්ද අපි දෙන්නටම තිබුණ නිසා දෙන්නම එකිනෙකාගෙ අතින් ඇදන් එහෙ මෙහෙ ගියා. ඒක ඇතුලෙ වෙනම ලෝකයක්. පාරවල් කීපයකින් එක මැදකට එකතු වුණ මිනිස්සු එකිනෙකා හරහා වෙන වෙන පැති වලට ගියා. අපි දෙන්න වගේම තවත් දවස විනාස කරගත්තු යුවල ගනණාවක් අස්සෙ අර පාක් එකේ කුණු බක්කියෙ ඉඳගෙන හිටපු යුවලත් අපි දැක්කා. ඒ දෙන්න හිටියෙ අරගලයක. මං වගේම හීනයක් අරන් කොළඹ ඇවිත් නන්නත්තාර වුණ කොල්ලෙක්... පාර හොයාගන්න බැරිව අතරමං වෙන එකටත් වඩා ජීවිතේ අතරමං කරගෙන. අපට වඩා වෙනසක් නෑ වගේ. පුංචි කාලෙ ඉඳන් තිබුණ හීන... අම්මල තාත්තල එක්ක උගන්නපු ගුරුවරුන්ගෙ ඉඳල නෑදෑයො හිතවත්තු හැමෝගෙම හීන... හැමදේම අන්තිමේ ජීවිතේ කටුකත්වය අස්සෙ දියවෙලා ගිහින්. ඒ හීන ඉටු කරවන්න ඉත්තො වෙලා ඇත්ත ජීවි‍තේ අස්සෙ සෙල්ලමෙන් කැපිල බෝඩ් එකෙන් ඉවත් වෙනකල් අපි ඒ කොටුවට මේ කොටුවට එහෙට මෙහෙට නොනැවතී. එකෙක් දෙන්නෙක් කෙලවරට යද්දි ගොඩක් අය බිමට. දිනන්න යන හරි පාර හොයාගන්න එක එක පාරක් දෙපාරක් වරද්දල හරි බොරැල්ල මංසන්ධියෙදි පාර හොයාගන්නව තරම් ලේසි නෑ. ඒක ඒ වගේ තරගයක්!

ඒ හීන තරග වලින් ගැලවිල ජීවිතේ හොයාගන්න එක ලේසි නෑ වගේම ඒකට අපි උත්සාහ කරන්නෙත් නැති තරම්...

අන්තිමේ ඒක එහෙම තමයි කියල සැනසෙනව ඇරන්න වෙන දෙයක් නෑ. හැමෝම අන්තිමේ මොනව හරි කරමින් ජීවත් වෙනව. ඒ දේවල් අස්සෙ එදිනෙදා දකින, සිද්ධ වෙන මිනිස්සුන්ට වින්නැහියක්ම කරන බෝම්බ කියා සැකකල හැකි බොහෝ දේවල් ගැන සංවේදී වෙන්නෙ කොහොමද?

බත්තරමුල්ලට යන බස් එකේ අපට ඉඳගන්න හම්බ වුණේ තැන් දෙකක. එක ළඟ ඉඳගන්න එක වගේම තැන් දෙකක ඉඳගන්න එකත් ඒ වෙනකොට අපි දෙන්නට ඒ හැටි දෙයක් වුණේ නෑ. අපි දෙන්නම අපි දෙන්නගෙ ලෝක දෙකකට වෙලා වෙන්නෙ ඒ වගේ මොහොතවල. ඒත් දැහැනකට වැටෙමින් හිටපු මම ගැස්සුණේ පැත්තකින් ඇහුණ සද්දයකින්. තරුණ කොල්ලො දෙන්නෙක් අතරෙ තදින් ඇදෙන කතාවක්. පේන විධියට එක කොල්ලෙක් එක්ක හිටපු එයාගෙ ගෑණු ළමයට අනිත් කොල්ල හේත්තුවක් දාල. ඒ අර කුණු බක්කිය උඩ ඉඳගත්තු, බොරැල්ලෙදි ආයෙ හම්බවුණ කපල් එක. පෙම්වතා වීරයට රඟපාන්න අරන්. මට උන් දෙන්නගෙ වලියට වඩා හිතට ඇල්ලුවෙ අර කෙල්ලව. කලින් හරියට දැක්කෙ නෑ. හැඩකාර කෙල්ලක්. කො‍හොමත් ඔය බස් එකේ ජැක් වදින වර්ගයේ කෙනෙක්. සැබෑවට කරගන්න බැරි වුණත් ඇයව මම ක්ෂණයෙන් නිරුවත් කලා... කතාව අහන අතරෙ මගේ ඇස් දෙකින් එලියට ආපු අත් දෙකකින් මම ඒ කෙල්ලගෙ පහස වින්දා...

කොල්ලො දෙන්නගෙ වලිය ඉවර වුණේ හේත්තුව දාපු කොල්ල කලිසමේ දකුණු කකුල උඩට උස්සල පෙන්නුවට පස්සෙ. මිනිහගෙ දකුණු දණහිස දෙපැත්තෙන්ම සැත්කම් කරපු ලකුණු. ඇහුණ විධියට කලින් ආමි එකේ ඉඳල මිනිහගෙ කකුලට වෙඩි වැදිල. අස්ථිය බිඳිල නිසා ඒකට ප්ලේට් දාල ඇණ හයි කරලලු. බ්රේක් පාරකදි මිනිහ අර පෙම්වතීගෙ ඇඟට නොදැනුවත්වම හේත්තු වෙලා. පෙම්වතාට තද වෙලා තියෙන්නෙ ඒකට. කතාව දැනගත්තට පස්සෙ ඒ ළඟ ඉඳගෙගන හිටපු වෙන කොල්ලෙක් නැගිටල මිනිහට සීට් එක දුන්නා.

බත්තරමුල්ලෙදි අපි දෙන්න ඊළඟ හමුව ගැන පසුව කතාවෙන තීරණය මත දෙපැත්තට වෙන්වුණාට පස්සෙ මම ගත්ත සිගරට් එකක් එක්ක පත්තරයක්. ඒකෙ තියෙනව කෙටිකතාවක්. සිගරට් එක පිටකොටුවෙ ඉඳන් මරදානට එද්දි මම එක හුස්මට ඒක කියෙව්වා.

විජේරත්න හොස්පිටල් එකක කාර්යාලෙ වැඩකරන ලිපිකාරයෙක්. දවස් කීපෙකට කලින් මිනිහගෙ ගෑණි මිනිහට ගෑස් එකක් ගේන්න කියල කිව්වට කලින් දා මිල වැඩි කරපු නිසා සල්ලි මදිවෙලා ගෑස් ගෙනියන්න වෙන්නෙ නෑ. ඒකට තද වෙලා ගෑණි  විජේරත්නට ඇ‍ඳේදි ගෑස් පෙන්නන්නෙ මිනිහට තමන්ගෙ නිධානෙ පලාතෙවත් එන්න නොදී. ඒක මිනිහට තදින් දැණෙනව. තමන්ගෙ උවමනාව සපල කරගන්න ක්‍රමයක් නැති වෙලා ලතවෙමින් තමයි විජේරත්න ඒ දවස් ගෙවන්නේ. ඉස්පිරිතාලෙදි හැමදාම සිගරට් ගේන්න කඩේට යවන මෝචරියෙ වැඩකරන සුමතිපාල ඕක ගැන විජේරත්නගෙන් අහනව. මිනිහගෙ ප්‍රශ්ණෙ ගැන දුක් වෙන සුමතිපාල විජේරත්නව එක්ක යන්නෙ මෝචරියට. මෝචරියෙ තියෙනව පැය කීපයකට කලින් ගෙනාපු අවුරුදු 20ක විතර කෙල්ලකගෙ මල කඳක්. කලින් ඉඳන්ම මේ කෙරුවාව කරල තිබුණ, ඒ ගැන දැනගෙන හිටපු විජේරත්නට මල කඳක් කියන එක අමතක කරල තමන්ගෙ උවමනාව වෙනුවෙන් සූදානම් වෙන එක ඒ තරම් අමාරු වුණේ නෑ. ඒත් අන්තිමේ වැඩේ ගැස්සිල විජේරත්නට විරුද්ධව නඩුවක් වැටෙනව. විජේරත්නව චූදිතය කරල තියෙද්දි මනෝ ලෝකෙක තනිවෙලා ගෑස් මිල වැඩි කරපු ආණ්ඩුවට වරද පවරන විජේරත්නගෙ ඊළඟ මොහොත ගැන හිතන්න ඉඩක් එක්ක කතාව ඉවර වෙනව. මේක ලියද්දි ඒ ලේඛකය කවුද කියල මගෙ මතකෙට එන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

අන්තිමේදි නාට්‍යය ඉවර වුණා.

කලම්බෝ කලම්බෝ!

කලම්බෝ කලම්බෝ වී ලව් යූ කලම්බෝ!

දැණෙන කම්පනයක් එක්ක ආයෙත් ඒක බලන්න ඕන කියන අදහස හිතට ආවා. දැකපු දැණුන දේවල් මහත් තොගයක් වුණ නිසා සහ මගේ මතකය අතිශය සුළු එකක් නිසා එක එක ගැන කියන්න තරම් දෙයක් මත‍කයෙ නෑ. ඒ වුණත් සමස්ථයක් විධියට කොළඹ තුල තියෙන ලංකාවෙ මිනිස්සුන්ගෙ අතරමං වුණ ජීවිතේ, ආදරේ සහ බලාපොරොත්තු ඇතුළු හැමදේම ගැන නාට්‍යයේ ‍තේමාවත් රංගනය සහ සංගීතයත් මාව ඒකට ගැටගහල තියාගන්න සමත් වුණා.

ආයෙ තිබුණොත්, යන්තම් හරි නාට්‍යය පිස්සුවක් තියෙනවනම් හෝ ඒ නැතත් අනිවාර්යයෙන් බලන්න යන්න.



මට වඩා හොඳට මේ පහතින් තියෙන තැන් වල එක එක අය මේක ගැන හොඳට කියල තියෙනව. මේව සහ මගේ සටහන නිසා මොලේ මඥ්ඥං වෙනව වගේ නම් ඒක නාට්‍යය බැලුවම හරි යනවා...


බොබ් මාලේ | මුකුත් නැතිවට වඩා මොකක් හරි...


මම ඔහුව දැනගෙන සෑහෙන්න කාලයක් වුණාට ඔහුව දැණෙන්නෙ අවුරුදු 8-9කට විතර කලින්. ඊට පස්සෙ නොනැවතී අද දක්වාම අපේ ඇසුරුකිරීම් අස්සෙ ඔහු මාව වෙනස් කරනව. ටියුන් කරනව. සමහර විට ඒ කිසිම වැඩකට නැති දේවල් උදෙසා වෙන්න පුළුවන් වුණාට ජීවිතේ කොහොමත් ඒ තරම් වැඩකට ඇති එකක් නෙවෙයි. අපියි ඒක වැඩකට ඇති එකක් කරගන්නේ. විශ්ව තියරියක් වෙන "මුකුත් නැති එකට වඩා මොනව හරි තියෙන එක හොඳයි" නිසා.

මට ඔහු කියල දුන්න ලොකුම දේ කිසි දෙයක් ගණන් ගන්න එපා කියන එක. ඒ එක්කම මම නිදහස් විය යුත්තෙ මගෙන්මයි කියන එක. ඒ කතාව ගොඩක් අය දැනගෙන හිටියත් බොහොමයක් දෙනෙක්ට එක පාරම තේරුම් යන එකක් නෙවෙයි. හැබැයි මිනිස්සු අවුරුදු සෑහෙන්න ගාණක් ඒ දේ දැනගෙන හිටියා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ සම්බන්ධ ලොකු දැනුමක් මිනිස්සු අතර විසිරිල තිබුණ. ඒත් ඒ දැනුම පාලනය කරන පිරිස අතින් එක එක ‍කාරණා උඩ ඒව වෙනස් වෙලයි තියෙන්නෙ. ඒ නිසා දැනගත්ත පමණින් වැඩක් ගන්න බැරි ගොඩක් දේ අතරෙ තවත් එකක් විධියට ඒ දැණුම සැඟවිලා ගිහින්. එක අතකට කාලාන්තරයක් පවතිනකොට ඕනෙම දේකට ඒ දේ වෙන එක පුදුමයක් නෙවෙයි.

ඇත්තටම ලෝකයේ ආගම් කියල කියන දේවල් තව දුරටත් මිනිස්සුන්ට විමුක්තිය උදාකරවන දේවල් නෙවෙයි. තමන්ට හිතන්න තියෙන හැකියාව පාවිච්චි කරල ජීවිතේ තේරුම්ගන්න එක ගැන ඉගැන්වීමට වඩා ආගම් වල තියෙන්නෙ වතාවත් කරන එක. පිළිවෙත් රකින එක. ගොඩක් විට ඒ දේවල් සැබෑ අර්ථයට වඩා වෙන වෙන සාධක මත පදනම් වුණ වතාවත්. ඒ නිසා තව දුරටත් ආගම කියන්නෙ මිනිස්සුන්ට වැඩක් ඇති දෙයක් නෙවෙයි. තව තවත් මිනිස්සු අතර බෙදීම් ඇති කරන දෙයක් විතරයි ඒක. පාලකයන්ටත් තමන්ගෙ වාසියට පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක්. ඒත් මිනිස්සුන්ට ආගම ඕන. ඒක වර්තමානයේදි හොඳට හෝ නරකට සමාජයක් තුල තියෙන යම් පාලන ක්‍රමවේදයක්.

ලෝකය යා යුත්තෙ තනි යායක් දෙසට. ඒකෙදි අපි හදාගෙන වෙලිල ඉන්න සීමාවල් ගොඩක් අතාරින්න සිද්ධ වෙන්න පුළුවන්. අපේ සහ මගේ කියන වචන වලට අළුත් තේරුම් හොයාගන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් ලෝකය තව තවත් බෙදෙමින් පවතින එකක් නිසා ඒක තනි යායක් වීම පේන අනාගතේක සිද්ධ නොවුණත් යම් කාලෙකදි ඒක විය හැකි සත්‍යයක්. බලාපොරොත්තුවක් කියන්නෙ එහෙම එකක්. මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි.

ඒත් ඒ වෙනුවෙන් සමාගම් අටවගන්නවට වඩා තනි තනි සෙල්ලමක් තුලින් වඩා හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්ද මන්දා. ඒ ගැන ස්ථිරවම කියන්න අමාරුයි. ඔය සංගම් සංස්ථා දැනටත් මිනිස්සුන්ට ලැබිල තියෙන දැණුම වෙනස්වෙන්න බලපාල තියෙන විධියට ඒක හොඳම ක්‍රමය නම් නෙවෙයි. ඒත් ආයෙමත් ඒක මුකුත් නැති තැනකට උවමනා දෙයක්.

මම දැනගෙන හිටපු සළු පෙරවගත්තු බුද්ධ සහ ජේසුස් සහමුලින්ම නිරුවත් කරල ඔවුන් අමු මිනිසුන් බව මට පෙන්නුවේ ඔහු. ඒ විග්‍රහයත් එක්ක මට බුද්ධ සහ ජේසුස් අළුත් වුණා. ඔවුන්ගේ කතාවේ එකම රටාවල් මට පෙණුනා. ඒත් ඒ ඔවුන් සම්බන්ධයෙන් පමණයි. ඔවුන්ගේ සමාගම් වෙනම එකක්.

ඉතින් මේ සටහන සංගම් වලට විරුද්ධ වුණ දේශකයෙක් වෙනුවෙන්. තමන්ගෙන් තමන්ව ගලවාගැනීම තුල විමුක්තියට පවතින්න සරල අර්ථයක් සපයපු මිතුරා වෙනුවෙන්. ඊයේට (2011-05-11) යෙදුණු ඔහුගේ සමුගැන්මේ තිස් වෙනි සැමරුම් දිනය වෙනුවෙන්. බොබ් මාලේ වෙනුවෙන්. ඔය සැමරීම් ඒ තරම් දේවල් නොවුණට ආයෙමත්......

................

මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි.

බැලවෙමි මිදුලට බැස.
පුදුමයක් ය!

වෙසක් පහන් වලින් ගලන
සවණක් ගන රැසින් වැසී
පොළොව බෙදූ තාප්ප හා කටු කම්බි ද
මොහොතින් අතුරු දහන් වී ගොසින් ය.


උපුටාගැන්ම: 58 පිටුව, ප්‍රබුද්ධ, මහගම සේකර

(උපුටාගැනීම - මිලින්දගේ පියසටහන් අඩවියෙන්)



Bob Marley speed painting from Jonathan Olson on Vimeo.

Monday, 2 May 2011

සාමාන්‍ය වසයෙං ඉන්ටනෙට් පොරක්!