Tuesday, 3 January 2012

අවස්ථිතියෙන් මිදී....




පෑනයි කොලයයි අතර අඟලක ඉඩක්.... දිග... විනාඩි ගාණකට පස්සෙත් ඒක ඒ විධියටමයි.

සුපුරුදු ඇඟිලි දෙක අතරෙ අවසාන වෙන්න කිට්ටු දැල්වෙන දුම්වැටියක් රැඳුණු අනෙක් අත තිබුණෙ නිකටට තද වෙලා. අඟල් තුන්කාලක අළු දුම්වැටියෙ කෙලවර රැඳිලා.

විදුලි ලාම්පුවෙන් විහිදෙන එලි තීරුවක් කම්මුල එලිය කරලා....

ඒක උවමනා නම් පොතක පසු කවරෙ දාන්න පුළුවන් පින්තූරයක්... නැත්තං හොඳ පැතිකඩ ඡායාරූපයක්...

ලියන්න ඕන වෙනස්ම ලියවිල්ලක්...

ඔහු මුලින් හිතුවෙ එහෙම.

එහෙම හිතලා ලියන්න හිතපු ලියවිල්ල තවම ආරම්භ වෙලා නෑ... ලියන්න ඕන විධිය ගැන හිතුනට පේන්නෙ නම් ලියන්න දෙයක් හිතට නොඑන බවක්... තවමත් කොලයයි පෑනයි අතරෙ අඟලක ඉඩක්...

ඉලව් අවස්ථිතිය... පැතිකඩ රූපයි, විදුලි එලියයි, දුමයි එක්ක ඉදිරියට නොයන්නම හිරවුණ හිත...

ඔහු ඉරියව්ව වෙනස් කරල දුම්වැටියෙ අළු කැඩුවා.

ඊට පස්සෙ දිග දුම් උගුරක්. පෙනහළු වල ගර්ත සේරම පිරිල යන්න...

වෙනස්ම ලියවිල්ලක්? හැම වෙලේම ලියන්න පටන්ගන්නෙ එහෙම. ඒත් ලියවෙන්නෙ හැම වෙලේම එකම දේවල් ටිකක් ගැන. එකම විධියට. වෙනසක් නැතුවම...

සමහර විට ඒ චරිත එකිනෙකින් වෙනස් ඇති. මිනිස්සු ඒ චරිත වලට කැමති ඇති. ඉතිහාසෙ පුරාම වෙන්න ඇත්තෙ එහෙම වෙන්න ඇති.

අවසන් වුනු දුම් වැටිය නිවල පොඩි කරපු ඔහු පුටුවෙන් නැගිට්ටා. බෝල රාමුවෙ එල්ලුණ කෝට් එක දාගෙන කාමරයෙන් එලියට අඩිය තිබ්බා. ඔහුගෙ ගත පුරා දැවටුණෙ උහුලගන්න අමාරු දෙසැම්බර් සීතලක්. ඒක තෙතමනයක් නැති වියලි සීතලක්. ඒ සීතලේ ගැහෙන්න පටන්ගන්න කලින් ඔහුගෙ අත ආයෙමත් දුම් වැටියක් හෙව්වා.

නිවසේ ඉදිරි වැට උඩ ඉඳගත්තු ඔහු වලාකුළෙන් වැහුණු අඳුරු අහසට දුම් උගුරක් විද්දා... ඒ දුමින් කිසි දෙයක් මැවුණෙ නෑ. පාවෙන රුවල් නැවක්, මායාකාරියක්, හිම මිනිහෙක්.... කිසි දෙයක් මැවුණෙ නෑ...

ඒත්  ඒ දුම වියැකිලා යද්දි වලාකුළු අතරෙ ඔහුට එක තරුවක් පෙණුනා.

ඔහු ඒක දැක්කෙ අද. මේ දැන්.

ඒක අළුත් තරුවක්.

ඒත් ඒ තරුව ඊයෙත් පායන්න ඇති... හැමදාම පායන්න ඇති. ඒක ඔහුට අළුත් වුණේ ඔහු ඒක අද දැකපු නිසා මිස තරුව අළුත් නිසා නෙවෙයි.

ඒ මොහොතෙදි ඒ තරුව කවදාවත් නොදිලුණ තරම් දිලිසෙන්න ගත්තා. තරුවේ එලියෙන් ආයෙමත් ඔහුගෙ අනර්ඝ පැතිකඩ රූපයක් මැවුණා.

වෙනස් වෙන්නෙ මම! වටපිටාව හැමදාම එකවගේ... නැත්තං අඩුගානෙ වටපිටාවෙ වෙන වෙනස්කම් දිග කාලයක් පුරා වෙන නිසා ඒව එකපාරම දැණෙන්නෙ නෑ.

ඔහුට එහෙම හිතුණ. ඒක බොහොම වතාවක් හිතිල තියෙන දෙයක් බවත්, මේ මොහොතෙ ආයෙම ඒක මතක් වුණ බවත් ඔහුට ඒ එක්කම මතක් වුණා.

මල ඉලව්ව!

ඔහු දුම් වැටියෙ කොටේ ඉවතට විසි කරල නැගිට්ටා... ආයෙමත් කාමරේට වැදුණ.

පෑනයි කොලයයි අතරෙ ඉඩ ආයෙමත් විනාඩි ගාණක තිස්සෙ පැවතුණා....

ඊට පස්සෙ කොලය මත ගැටුණ පෑනෙ තීන්ත නොකඩවා ගලාගෙන ගියා.

10 කට සුවඳටම වමනෙ ගිහින්:

දුකා said...

අර දහස් වෙනි වතාවටත් සිගරට් බීමෙන් මිදෙනවා වගේ දෙයක් නේද මේ . . ??

හැම අවුරුද්දේම මුල හිතනවා මේ අවුරුද්දේ වත් වෙනස් වෙනවා කියලා . . .!!

ලබන අවුරුද්දෙත් එහෙම හිතනවා . . ඊට පස්සේ ඊලඟ ඊලඟ . . .. . .. . >>>>>

Lishan Puwakowita said...

අපි හිතන්නේ අපි එකතැන වැයවෙන්නේ වටපිටාව කියලා. ඒත් ඇත්තටම බැලුවම අපි ඇරෙන්න අනික් හැම වටපිටාවක්ම නිශ්චලයි.., moving object එක වෙන්නේ අපි.., සමහර වෙලාවට පෑන අතේ තියාගෙන නිදි කිරා වැටෙනකල්ම කල්පනාකරන කොලේට අකුරු හලන්න.., ම්හු.., නෝ අයිඩියා.., මෙන්න කොල විසික්කා කරලා එළිපහළියට බැහැල විනාඩි 10න් මෙන්න ගලනවා අයිඩියා ඕසේට..,ඇත්තටම වයස් ගත වෙන්නේ අපි.., ඒත් ගොඩක් අපි හිතන්නේම අපි මැරෙන්නෑ නෑ කියලයි..!
හරි පුදුමයි...!
මිනිස්සු එහෙම කරන එකට කියන්නේ "ජීවත් වෙනවා" කියලලු..!

පූසා said...

අපි හැමෝම වගේ අලුත් අවුරුද්දත් එක්ක වෙනස් වෙනවයි කියලා හිතුවට ඔය අවස්‍ථිතිය එහෙමත් නැත්තම් වෙනස් වෙන්න තියෙන අකමැත්ත අපිව වෙනස් නොකර තියනවා.
තවත් සමහර වෙලාවට අපි වෙනස් කියලා හිතන්නේ අපි කලින් දැකලා නොතිබ්බ දේවලට. ඒ දේවල් සෑහෙන කාලයක් ඒ විදිහටම තියෙන්නෙ ඇති. නමුත් පළවෙනි පාරට දැක්කාම ඒක වෙනසක්.
මේ කතාවේ අවසානයේ කතා නායකයා ලිව්වේ වෙනස්ම ලියවිල්ලක් වෙන්න ඇති. හැබැයි ආයේ කියවලා බැලුවාම පරණ විදියමයි කියලා හිතෙන්නත් බැරි නෑ.

වන්නි said...

අවසානයේ ඔහු වෙනස්ම දෙයක් ලියලා. මං මේ දැං ඒ වෙනස් දේ කියෙව්වා!

``` Outsider``` said...

එකම දේ තමයි හිතෙන්නෙ අනේ මන්දා.. එක අතකින් මොකට අලුත් දෙයක් හිතෙන්න කියල හිතනවද..
ඒ අස්සෙ හැම දෙයක්ම හෙමින් ගමන් කරද්දි අපි හයියෙන් දුවල. ඕක තමයි ජීවිතේ අන්තිමට.

සරත් ලංකාප්‍රිය said...

ඇත්තම කියන්නම් ..අවස්ථිතිය කියන එකේ තේරුම මං දන්නේ නැහැ !

චමිල said...

මේක කියවල ලියන්නෙ මොකද්ද කිය කියා හිටියෙ. තරුවකට ජීවිතයක් වෙනස් කරන්ඩත් පුලුවන්. කාලෙකට කලින් මං ලියපු පොඩි සටහනක් මතක් වුනා මේක කියවද්දි.

http://ambagaha.blogspot.com/2010/09/blog-post.html

Anonymous said...

අහලා බලන්න

සාතන් said...

ටික දවසකට කලින් ෆලෝ බටන් එක ඔබල ගියෙ... කියවන්න වෙලාව ලැබුනෙ අද...

ඉලව් අවස්ථිතිය... එල :)

Anonymous said...

ඉතින් අපිට පාන්ද? :-D