Wednesday, 23 January 2013

අරිසාන කතා වස්තුව - පොතේ නැති වෙනම කතාවක්!


තවද එක් සමයෙක්හි අසම සම වූ මහා ප්‍රාඥයන් දඹදිව ද්වීපාරාමයේ වැඩවසන කල්හි දිනක් ධර්මාලෝක ලබනු පිණිස පිණිස රැස්ව හුන් දහසක් වූ ජනයා ධර්ම ශ්‍රවණයෙහි යෙදෙති. උන් සියල්ලෝ සාවධානයෙන් මත්ව මහා ප්‍රාඥයන් දෙස සවන් දෑස් අයා සිටින ඇසිල්ලේ ඒ මහ සෙනග අතරින් උන් ධර්ම සිත් සිඳවමින් පිලිකුල් ධවනිත කරමින් ධර්ම මණ්ඩපය වෙත රෝගී කුෂ්ඨයන්ගෙන් වැසි දුර්ගන්ධයෙන් පිරි කෘෂව ගිය දස දහසෙක පමණ වූ සූකර රැලක් පැමිණෙන්නට පටන්ගත්තේය.

ධර්ම සිත් සිඳී ගිය ජනයා කලබල කරන්නටත් ඒ මේ අත දිවෙන්නටත් ආක්‍රෝෂයෙන් පරිභව කරන්නටත් වූයේ ප්‍රාඥයන්ගේ එක් බැල්මෙකින් දැමුණු සිත් ඇතිව දුර්ගන්ධය ඉසමින් නැවත ධර්ම ශ්‍රවණයට පිලිපන්නාහුය.

උන් අතර වූ එක් වියපත් උපාසකයෙක් සකල ගුණ නිධාන වූ මහා ප්‍රාඥයන් අසබඩින්ම හිඳ ධර්ම ශ්‍රවණය කරන්නේ උන් වහන්සේ අමතා මෙසේ විචාරන්නේය.

"ස්වාමීනී භාග්‍යවතුන්වහන්ස අප දහසක් වූ ගම්වැසි ජනයා කිසිවකුට අවමන් නොකරන්නේය, කහටක් නොකරන්නේය. අප සියළු දෙනා මෙහි වැඩ සිටින ඔබ වහන්සේට අපමණ භක්ත්‍යාදර ‍වන්නෙමු. පැහැදුණු සිත් ඇති වෙමු. ඔබගේ ධර්මයෙන් බිඳකට සවන් යොමා ආලෝකය ලබන්නට අද ද මෙහි පැමිණියා වෙමු. එවුවද අපගේ පහන් සිත් බිඳවමින් මේ විසල් වූ කිලිටිව ගිය සූකර රැල මෙහි වැද ඇත. අතීතෙකදී අප මහා පාපයක කොටස් කරුවන් වී දැයි දෝමනස්සයක් දැනේ. මෙහි අරුමය කියා දෙනු මැනව."

එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් රැස්ව හුන් ජනයා අරභයා පහත වූ අරිසාන කථා වස්තුව වදාල සේක.

ඒ කෙසේද යත්,

පෙර එක් දවස සොලොසාසංක්‍ය කල්ප දෙලක්ෂයකට පෙර තිලෝ ප්‍රදීප වූ ගෞතම බුදුන් ලොව පහලව වසර දෙදහසකුත් පන්සියයක් ඉක්ම ගියා වූ කල එක් දුර්භාග්‍යමත් වූ කාලයක් පහල විය. එකල්හි සියළු ධර්මයෝ අමනයන් කෙරෙන් ප්‍රකාශිත හෙයින් අමනෝඥ වන්නාහ. අන්ධයන් සේ ධර්මයේ හැසිරෙන්නා වූ ජනයා ස්වයංවම ධර්මය කෙලෙසන්නේය. උන්ගේ ධර්ම ශාස්තෘන්ගේ ධර්මයන් අව්‍යක්තව ව්‍යාජයෙන් අර්ථ නිරූපණය කොට තූ තූ කොට හැරපියා ඇත්තේය. උන්ගේ රිසි ලෙස ධර්මය අර්ථදක්වමින් වියරුවෙන් අධර්මයේම හැසිරෙන්නෝය. ධර්මය වැපිරීම පිණිස සිටිනවුන් ධර්මයෙන් සුඛ විහරණයම උපයමින් අධර්මයම වපුරන්නේය. පාලකයෝද පාලිතයෝද අධර්මිෂ්ඨයන්ම වන්නේය. මිනිස් ලොව කහවණුව වැජඹෙන්නට ගෙන උතුම් වූ මනුස් දම් වියැකී ලොව මහත් වූ ව්‍යසනයන්ගෙන්ද අශ්ශීලයෙන්ද වහනයව පවතින්නේය.

එසමයෙහි එක් විභූතීය වූ දිළිඳු රාජ්‍යයක තරුණියන් හා කාන්තාවන් තම රාජ්‍යය විභූතික වුවද එහි ජීවිකාවෙන් සුඛය සෙවීම දුෂ්කර වූ හෙයින් වඩා උසස් වූ දිවි ගෙවුමකට රිසිව වෙනත් පොහොසත් රාජ්‍යයන්හි බැල මෙහෙවරට පැමිණ බැල මෙහෙ කරන්නට හුරුව සිටින්නේය. ඒ පොහොසත් රාජ්‍යයන්ද උක්තවූ ලෙසින්ම අධම මිසදිටු අධර්මයෙන් දූෂිත වන්නේ හෙයින් ඒ තරුණියන් විඳින්නට වන දු:ක්ඛ දෝමනස්සයෙන් ඍජුව ගිය හිතැත්තේ ඒ පොහොසත් හාම්පුතුන්ගේ පෙළීම් ගර්ජනයන් ඉවසා වදාරමින් බැල මෙහෙ කරන්නේය. උන්ගේ දාහයෙන් උපයන කහවණුවෙන් උන් උපන් රාජ්‍යයේ පවුල පෝෂණය කරන්නේය.

උන් අතර එක් දුගී බමුණු කුළයක අරිසාන නම් වූ දැරියක තම සොයුරු සොයුරියන්ගේ ශිල්ප හැදෑරීමේ උවමනාවද, කැලෑ දර කහවණු කොට පවුල රැක්කා වූ ස්ව පියාණන්ගේ දුක්බර ස්වභාවයද වටහා තම පවුල රක්ෂා කරනු වස් එපරිද්දෙන් වෙනත් රාජ්‍යයක බැල කෙරුමට පිටව ගොස් සිට්න්නේය. ඈ ඒ රට සුඛිත හාම්පුතුන්ගේ දරු නලවමින් කහවණු උපයන්නේ දිනක සිය මනෝඥහානියෙන් හේතුප්‍රාප්තව මහත්ව අභාග්‍යමත් වීය. එනම්, ඈ නලවමින් හුන් දරුවා කිසියම් හේතුවකින් නාසයෙන් මුඛයෙන් කිරි වමනය කර ක්ෂණයකින් මරුමුවට පත්වූයේ උහු රකිමින් හුන් අරිසාන දැරිය එහි දෝෂයට පාත්‍රවීය.

පුරා පස් වසක් මතු නඩු අස්සවා ඇය දෝෂ මුක්ත කෙරුමට හේතු හිස්ව ගියෙන්ද ඒ අධම හාම්පුතුන්ගේ ක්ෂමා හීනව ගියෙන්ද අරිසාන තරුණිය දඬුවමට පාත්‍රවූයේ දින ස්වල්පයක් මත්තෙන් ඇගේ හිස කඳෙන් වෙන්වන්නටම ගසාපියාලීය. එකී අකටයුත්තට හේතු වූ අධමයන් හට උන්ගේ අමනුෂ්‍යය වූ නීතිය මිනිස්කම දෙවෙනි වන තරමට විසල් වූයේ නිර්දෝෂී තරුණිය හිස් සිඳුමෙන් මහත්ම වූ පාපයකටම වග කියන්නේය.

මෙකල්හි මෙසේ වූ මහත් අපරාධය ඒ තරුණියගේ උපන් බිම කැළඹූයේ දෙකෝටික වූ ජනයා තුඩග රැව් දෙවමින් උනුන් බේද භින්න කෙරෙමින් කම්පාවෙන් වියවුලට පත්වීය. ඇසූ ඇසූ තැනැත්තේ තරුණිය නැසූ අධම රාජ්‍යයට දෝෂ පහ කලේ ඇයගේ විමුක්තිය මත්තේ හඬ නොනැග නිෂ්චලව හුන් රටේ පීතෘ වූ මහ රජුන් කෙරේද සිත් බිඳවා ගත්තේය.

මෙකල්හි රූපවහර්ණිකාව නම් වූ අරුම වූ උපාංගයක් වන්නේ මාර්ගඵල ලද්දෙක් ඍධි ප්‍රාතිහාර්යය පාන්නේ යම් සේද එවූ ලෙසින් යම් තැනෙක යම් දෙයක් සිදුවන්නේද ඒ දසුන ඒ ලෙසින්ම වෙනත් තැනෙක ප්‍රාදුර්භූත කරන්නට සමත් වන්නේය. මෙවූ රූපවහර්ණිකා එකල නෙක දනන් මනස් විසූක දස්සනයෙන් විකෘත කරවමින් උන් කෘරත්වයටම මෙහෙයවන්නේ කහවණු අපේක්ෂාවෙන්ම මිනිස් ගති අම‍තක කරදමන්නට දනන් පොළඹවමින් හුන්නේය.

එවන් එක් වහර්ණිකාවක් තරුණිය හිස සිඳින්නේ මෙපරිද්දෙන් යැයි මහ ජනයා මුලා කොට වෙනත් වූ අපරාධයක් ප්‍රාතිහාර්යයෙන් පෙන්වන්නේ අවබෝධ හීන ජනයා මුලාවෙන් මුලාවටම ඇද හෙලන්නේය. එකල්හි රටේ ජනයා ඉන් පෙර කලෙක පුරා තිස් වසක් මුළුල්ලේ පැවතුනා වූ යුධයෙන් මනෝ විපරිතව අපරාධයම දකින්නට අසන්නට ඉඳුරන් ගෝචරව හිඳින්නේ මහත් අභිරුචියෙන් අපරාධය රූපවහර්ණිකාවෙන් නැරඹීය.

උන් එපමණකිනුදු නොනැවතී එය නැවත නැවත නරඹන්නටත්, නොනැරඹූවන් නරඹන්නට පොළඹවන්නටත් අපරාධය කෙරේ සිතමින් සිත් දූෂ්‍ය කරගන්නටත් සමත් වී මහත්ම වූ පාපකර්මයකටම මග පාදාගත්තේය.

එහි ඇවෑමෙන් උන් සියළු දෙනා මරණින් මතු දුගතියෙහි ඉපිද වසර සොලොසාසංක්‍ය කල්ප දෙලක්ෂයක් පුරා අපා දුක් විඳිමින් තවමත් නිරයේම වෙසෙන්නේය. උන්ගෙන් ඇතැමෙක් මරණය එක් වරක් පමණක් දැක පිළිකුල් සහගතව එය සිතෙන් ඉවතලන්නට තැත් දැරීම හේතුවෙන්ද හුදු අකුසල සිතක් පමණක් ඇතිකරගැනීමෙන්ද අකුසල කර්මය දුර්වල වූයේ නිරා දුක් අවසන්ව මේ භවයේදී කුෂ්ඨයෙන් වෙලී දුක් විඳින සූකරයන් ලෙසට උපත් ලබා ඇත්තේය. අද දින මාගෙ දහම් පඬුරෙන් මුන් සිත් පිරිසිදුව වඩා උසස් කුලයක උපත ලබන්නට පින් ලබන්නේ දුක් සහිත භවයන් අවසන් කොට සුඛිත වූ භවයන්හි උපත ලබන්නේය. මුන් සමගම නිරයේ උපන් තවත් කෝටියකට අධික වූ මිනිසුන් කොටසක් මරණයේ ආරංචිය පැතිරූ හෙයින්ද, නැවත නැවත ඒ නරඹමින් දූෂ්‍ය වූ හිත් ඇත්තේ වූ හෙයින්ද උන්ගෙ අකුසලය විසල්ව ඇත්තේ තවත් මහත් වූ කාලයකට දුකෙන් නොමිදෙන්නේය. එමෙන්ම අරිසාන තරුණිය මරණයට කැප කල වූවන් තවත් කල්ප ගණනාවකට අපා දුකෙන් නොමිදෙන්නේය.

ශ්‍රාවකයෙනි, මේ සූකරයන් මාගේ ධර්ම ප්‍රකාශයෙන් මතු වනයට නික්මෙන්නේය. උන්ගෙ විමුක්ති මාර්ගයේ ඇරඹුම වන්නේ අද දින ලබන ධර්ම අවබෝධයේ බිජුවටම වන්නේය. උන්ගෙන් පසෙකට වී ධර්ම ශ්‍රවණය කරනු මැනවයි වදාලා ප්‍රාඥයයන් අතීත කළාව නිමා කල සේක.

ඉක්බිත්තෙන් මැද පෙළක හිඳි තරුණ කොළු ගැටයෙක් අතීත කතාවේ වූ අරුමයෙන් ඉවසා සිටිනු නොහැක්කේ මෙසේ විචාලේය.

"ස්වාමීනී රූපවහර්ණිකාව පිළිබඳව විස්තර කරනු මැනව. මාර්ගඵල නොලබාම එසේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑ හැකි වේද? නොඑසේ නම් ඒ කිනම් අරුමයක්ද?"

මෙයට කරුණා බැල්මක් හෙලූ ප්‍රාඥයයන් තරුණයාගේ විමසිල්ල පාදක කර ගනිමින් මනා වූ ධර්ම කතිකාවක නියැලෙන්නට වී ය.

ශ්‍රාවකයෙනි, රූපවහර්ණිකාව උපාංගයකි. එය අදින් වසර ගණනාවක් මත්තේ නැවත ලොව වෙනස් මගක් ගත් කළෙක නැවත බිහිවනවා ඇත. එය වටහා ගැනීම අර්ථ ඇත්තක් නොවේ.

මිනිසුන් සියල්ල අවබෝධ කරගැනීමට වෙහෙසෙන්නේය. උන් දැනුමින්ද, සෙවීමෙන්ද සන්නද්ධ වන්නටත් සියල්ල සතු කරගන්නටත් වෙහෙසෙන්නේය. එහෙත් පරම සත්‍යය වූ 'අවබෝධ කරගැනීමටත් සතු කරගැනීමටත් කිසිවක් නොමැති බව' අවබෝධ කරගන්නට උන් වෙහෙස නොවේ. සියල්ල අවබෝධ කිරීමට වඩා කිසිවක් නොමැති හිස් බව අවබෝධ කිරීම වඩා ප්‍රඥා ගෝචර නොවන්නේද?

9 comments:

  1. ඇඬෙනවා. ඌරෝ වුනාම හලාල් සද්ද වැහෙයි එහෙනම්..

    ReplyDelete
  2. සාධු...... සාධු............ සාධු...............!!!

    ReplyDelete
  3. පට්ටයි.අපේ උන් කොහොමත් ඔය මරණ දේවල් බලන්ඩ හරි ආසයි.මම හිතන්නේ ඔය යුද්ධෙ අන්තිම කාලේ ඔළුවට ආපු චූන් එක.කීයක් අද මැරිලද කියලා බලන්ඩ හවසට ගෙදර දුවපු ජාතියක් නේ.

    ReplyDelete
  4. තේරෙන ක්‍රමේට කියන්න එපැයි..... නේද?

    ReplyDelete
  5. සාදු සාදු :)

    ReplyDelete
  6. සාදු සාදු සාආආආආආදු....... !!!

    ReplyDelete
  7. මරු බං
    උඹේ හොඳම එක මේක තමයි.

    "ස්වාමීනී රූපවහර්ණිකාව පිළිබඳව විස්තර කරනු මැනව. මාර්ගඵල නොලබාම එසේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑ හැකි වේද? නොඑසේ නම් ඒ කිනම් අරුමයක්ද?"

    ටැලිවිෂන් එක ගැන හොඳම කියමන මේකයි. නොදකින් මේ රූපවාහිණිය හොයා ගත්ත එකාත් කල්ප ගාණක් නිරාදුක් විදින්න ඕනි. (මමනම් බලන්නෙ නෑ).

    ReplyDelete
  8. ඇත්තටම පට්ටයි.. ඒක දැනුනා.. මේක අපි දන්න වචන වලින් නැතිව කිව්ව විදිය නියමයි

    ReplyDelete
  9. කට්ටියටම ස්තූතියි කියෙව්වට සහ අදහසක් දුන්නට! අර කිව්වත් වගේ තේරෙණ බාසාවෙං කියන්ට එපැයි... ;-)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!