Sunday, 23 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමින් තටමමි


අලුතෙන් හොයාගත්තු තටමන ක්‍රමේ සාමාන්‍ය වෙලාවලදි බොහොම ප්‍රයෝජනවත්. ඒ උණාට අසාමාන්‍ය වෙලාවලදි ඒකත් හරියන්නෙ නෑ කියල මට මේ දැන් හිතුණා. ඇත්තට ඒකෙ අලුත් දේකුත් නෑ. ඉස්කෝලෙදි ඉගෙනගත්තු ආහාර මාර්ග පද්ධතියෙ රූපෙ අමතක වෙලා නැත්තං වැඩි ප්‍රතිඵල ලැබෙන විදියට තටමන්නෙ කොහොමද කියන එක ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඔය මහ බඩවැල කියන එක ඇඟ ඇතුළෙ විහිදිල තියෙන විධිය හොයාගත්තම හරි. ඒ අනුව සිරුර නම්‍යශීලීව හසුරවන්නෙ කොහොමද කියල අත්හදාබැලුවම ගොඩ!

දැන් මේ ඉඳගත්තු දෙවෙනි වතාව ගෙවෙන්නෙ. මුල් වතාවෙ ගොඩක් සැහැල්ලුවෙන් එළියට ගියාට පැය භාගයක් ඇතුළත ආයෙම ඇතුළට එන්න වුණා. අම්මට නෝටිෆයි කරගෙනම රිංගපු නිසා දැන් මට ඇහෙනව එයා බැදපු දුරු කොටන සද්දෙ. දාඩිය දාන්න තරං වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉද්දිත් අම්ම ගැන ආදරේ ෂොක් වෙන්න මට මොහොතක් ගියෙ නෑ. වැඩිය සමාජ ආශ්‍රයට කැමති නැතත් එයා ආදරේ කරන අය එක්ක විතරක් ජීවත්වෙලා ඉගෙනගෙන තිබුණු එයාගෙ සංවේදීකම හැමදාම එහෙමයි. ඒ නිසා එයා මටත් නොකියම බෙහෙත ලෑස්ති කරනව. තුන්වෙනි වතාවෙ ආයෙ ඉඳගන්න නොවෙන බව මට දැන් ෂුවර්. බඩේ අමාරුවට දුරු ටිකක් බැදල කුඩු කරල උණු වතුර ටිකක කලවම් කරල ටිකක් වෙලා තැම්බෙන්න තියල බොන එක ෂුවර් ෂොට්! හැබැයි හැම ජාතියෙම රුජාවලට ඒක සෙට් වෙනවද කියල මං දන්නෙ නෑ.

දවල් ඔපිස් එකටම කෑම ගෙනත් දුන්නෙ දානෙ ගෙදරකින්. සෙක්ෂන් එකේ වැඩ කරන ළඟපාත ගෙවල් තිබුණ පොරක් බාස්කට් තුන හතරකට බතුයි වෑංජනයි දාගෙන ඇවිත් තිබුණා. සාමාන්‍යයෙන් සෙනසුරාදාව කෑම සම්බන්ධයෙන් ආතල් දවසක්. එදාට හැමෝම කැෂුවල් එන්නෙ ගොඩක් රිලැක්ස් එකේ. සතියෙ දවස්වල කරල ඉවර කරගන්න බැරි වැඩ කොටස සෙනසුරාදා නිවි සැනසිල්ලෙ කරන්නෙ වෙනදට නැති සැහැල්ලුවකින්. ඒ සැහැල්ලුව වැඩි වෙන්නෙ කවුරු හරි ගෙදරින් හදාගෙන එන කිරිබතක්, රොටියක් වගේ එකක් සෙට් වුණාම. එහෙම නැත්තං දවල් එකයි කාලට රුහුණු බේකරියෙන් උණු උණුවෙන් දාන පාන් දෙක තුනක් කට්ටිය සල්ලි දාල ගේන්නෙ සිසිල හෝටලේ පරිප්පු මාළු හොදි මික්ස් එකත් එක්ක. පාං ගෙඩි තුන විනාඩි දහයක් ඇතුළත ඉවර වෙන්නෙ ඇඟට පතට නොදැනී. ඒකත් එක්කම හැදෙන ප්ලේන්ටියත් ගැහුවම මරු.

දවල් දාණෙ ගිලල හවස ගෙදර ඇවිත් නෙට් එකෙත් එහෙ මෙහෙ රවුම් ගහලා මේ දවස්වල බලන එක්ස් ෆයිල්ස් එකෙත් තව එපිසෝඩ් එකක් දෙකක් බලාගෙන හිටියෙ බුදු ෆිට් එකේ. මායා දමයන්ති කියන 'පුරහඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ' සින්දුව මොකක්දෝ රියැලිටි ෂෝ එකක කෙල්ලෙක් කියනව නියමෙට. ඒක ඉස්සර ටීවි එකේ ගියා විෂුවල් එකකුත් එක්ක. මායා දමයන්ති සාරියකුත් පටලගෙන වැවක් අයිනට වෙලාද කොහෙද ඒ සින්දුව කියනවා. නළලෙ තිලකයක් තිබුණද කියල මතක නෑ. ඇත්තට මරු සින්දුව. ගී පැදුරට ලිව්වද මන්දා. මොනව වුණත් රියැලිටි කෙල්ලගෙ වොයිස් මරු. සින්දුව ඉවරයි. දැන් ඇහෙන්නෙ විනිශ්චය බුවාල ඒකිට මොනව හරි කියන්න ඕන කමට කියවන බයිල ටිකක්. අම්මල පැල් බැඳගෙන ඒව ෆලෝ කරනව. මම මගේ ලෝකෙ වෙනම ෆලෝ කරනව. අපි දෙන්නගෙ වෙනසක් නෑ. ඒ අතරෙ චිකන් ගන්න සල්ලි නැති නිසා ගෙනාපු චිකන් රසැති සෝයා මීට් එක්ක අම්ම අලුතෙන් හොයාගෙන තිබුණ බිත්තර පපඩං අනාගෙන රතු ලූණු ගෙඩි දෙක තුනකුත් හපාගෙන බත් ටිකකුත් කාල හැරෙද්දි තමයි අභ්‍යන්තර විප්ලවයක් පටංගන්නව කියල තේරුණේ.

දානෙට හම්බුණ කිසිම එකක් අවුල් වෙලා තිබුණෙ නෑ. මස් මාළු මුකුත් නොතිබුණ පියෝ වෙජිටේරියන් කෑමක් නිසා එහෙම අවුලක් වෙන්නත් බෑ. ඒත් මොකක් හරි අවුල් ගිහින් තියෙනවා. මුලින් වැඩේ සිම්පල් එකක් වගේ වුණාට පිඟාන හෝදන්න කුස්සියට ගිහින් ටිකකින් තමා බරපතල වෙන්න ආවෙ. හොඳ වෙලාවට වෙන කවුරුවත් ටොයිලට් එකට රිංගල නොහිටියෙ. ඇතුළට ගියෙ පැය බාගෙකට එන්නෙ නෑ කියාගෙන. කොහොමත් වැඩේ බරපතල වුණත් නැතත් ටොයිලට් එක කියන්නෙ පැය කාලක් බාගයක් නිදහසේ ගත කරන්න පුළුවන් තැනක්.

ඒක ගැන ගොඩක් ඉස්සර ඉඳන් අපි කතා කරල තියෙනව. ටොයිලට් එක මාර නිදහස් තැනක්. අතිශය පෞද්ගලික තැනක්. ඒකෙන් එළියෙදි ඕන කෙනෙක්ට, අපේ ජීවිතේට එබෙන්න පුළුවන්. අපිව මොනිටර් කරන්න පුළුවන්. අපි ගැන තීරණය කරන්න පුළුවන්. ඒත් ටොයිලට් එක එහෙම නෙවෙයි. දොර වහගත්තට පස්සෙ ඒක කොච්චර ගඳ ගැහුවත් ගාණක් නෑ. අපි බොහොම සැහැල්ලු වෙන තැනක් ඒක. මානසිකව ගත්තත් ශාරීරික ක්‍රියාවලිය පැත්තෙන් ගත්තත් ටොයිලට් එක අපිව බරකින් නිදහස් කරන තැනක්.

දොරක් සම්පූර්ණයෙන් වැහුණම තියෙන ආරක්ෂිත හැඟීමත් එක්ක මිනිස්සු වැඩි වෙලාවක් ටොයිලට් එකේ ඉන්න හින්දද මන්දා ඔය පොෂ් තැන්වල පොදු වැසිකිළිවල සම්පූර්ණ දොරක් වෙනුවට දො‍රේ යටින් හිස් ඉඩක් තියෙන බාග දොරක් තියෙන්නෙ. සමහර විට ඒකට වෙන හේතුවක් ඇති. නමුත් ඒක මානසිකවත් බලපානවා වෙන්න ඕන. මොකද සම්පූර්ණයෙන් නොවැහුණු දොරකින් කූඩු වෙල ඉද්දි ආරක්ෂිත හැඟීමක් දැනෙන්නෙ නෑ. ඒ නිසා එහෙම ටොයිලට් එකක් ඇතුළෙදි මනෝ ගහන්න වෙන්නෙ නෑ. ඒ නිසා පොෂ් තැන් වල තියෙන පොදු වැසිකිළිවල ට්‍රැෆික් හිටින්න ඉඩ අඩුයි. මොකද කට්ටිය ඒකට යන්නෙ වැඩේ කරන්න මිස සැහැල්ලු ‍වීමේ මානසික අවශ්‍යතාවය නිසා නෙවෙයි.

පින්තූර කඩේ වැඩ කරද්දි දවසක් රෙසිප්ෂන් එකේ වැඩ කරපු කෙල්ලෙක් පින්තූර කපල කොටල දාමින් හිටපු අපි ළඟට ඇවිත් හිනා වෙවී ආතල් කතාවක් කිව්ව. 'ලේඩීස් ටොයිලට් එක මාර සුවඳයි අප්පා... අර දැන් එළියට ගිය කස්ටමර් මගෙනුයි ලොකේෂන් අහගත්තෙ. එයා එළියට ඇවිත් හෙණ සන්තෝසෙං ගියේ. ලොකූ අමාරුවකින් ගැලවුණා වගේ...' ඒ දවස්වල ස්ටාෆ් එකට වෙනම ටොයිලට් තිබුණෙ නෑ. ස්ටාෆ් එකයි කස්ටමර්ලයි එකම ටොයිලට් සිස්ටම් එක තමයි පාවිච්චි කළේ. මොනව වුණත් අනුන්ගෙ ඒව තරං තමංගෙ ඒව ගඳ නෑ නේද කියල එදා අපි හෙණ වාදයක් පටංගත්තා.

ඒක කියද්දි තමයි ගනේගොඩයට මොරකැටිය හන්දියෙ තිබුණ ටොයිලට් හෝටලේ මතක් වෙන්නෙ. මිනිහට සෙක්ෂන් එකක හෙඩ් තනතුර දුන්නට පස්සෙ උදේ 8 වෙද්දි වැඩට එන්න ඕන වුණා. වෙනද මිනිහ ආවෙ 9 ට. මාසයක් දෙකක් යනකල් මිනිහ 8 ට ආවා. හැබැයි එන අතරමග මොරකැටියෙදි බස් එකෙන් බැහැල අර හෝටලේ ටොයිලට් එකටත් ගිහින් තමයි පොර එන්නේ. මොකද මාසයක් විතර යනකල් මිනිහට ටොයිලට් ටයිම් එක ටියුන් කරගැනීමේ ප්‍රශ්නෙ ආවා. පස්සෙ හෝටලේ මිනිස්සු ගනේගොඩයව දකිද්දිම 'ආ එන්න මහත්තයා' කියල කෙළින්ම ටොයිලට් එක ක්ලියර් කරල දුන්නලු. කොහොම වුණත් පස්සෙ කාලෙක දුමක් ගන්න හෝටලේට ගියත් ඒකෙ කොල්ලො බුවා දිහා බැලුවෙ නෝන්ඩි හිනාවකින්.

ගොඩක් ඉස්සර දවසක මහ රෑ ගමේ ඉඳන් කොළඹ එද්දි රෑ එකොළහට විතර කුරුවිට හරියෙදි මටත් අද වගේම පෙරළිල්ලක් ආවා. දෙතුන් වතාවක් ඉවසල බැරි තැන 'ඉස්සරහ දාල යන්න' කියල බැහැල කෙළින්ම ගියෙ වහන්න ඔන්න මෙන්න කියල තිබුණ සිල්ලර කඩේකට. මං හිතන්නෙ ඒක සිගරට් විකුණන්නම රෑ වෙනකල් ඇරගෙන හිටපු කඩයක්. හොඳ වෙලාවට පිටිපස්සෙ මෝඩ ගඩොල් බිත්ති තිබුණ ටොයිලට් එකක් තිබුණා. ඒක ලෑල්ලක් හේත්තු කරල දොර වහගන්න වෙන විදියෙ එකක්. ලෑල්ලත් දොරට හේත්තු කරලම දියවෙලා ගිහින්. ඇතුළෙ ලයිට් එකකුත් නෑ. ඒ දවස්වල මගෙ ෆෝන් එක ටෝච්, ෆ්ලෑෂ් තිබුණ එකක් නෙවෙයි. ස්ක්‍රීන් එකේ එළියෙන් වැඩ ටික කරගත්ත. මුදලාලි මහත්තය මොනව වුණත් වතුර එකත් ගෙනත් තිබ්බ දොර ගාවින්. මිනිහට ස්තූති කරල මදි හින්දා මම ක්‍රිස්කො පැකට් එකකුයි රට ඉඳි පන්සීයකුයි ගත්ත. සිගරට් ගන්න ඇවිත් හිටපු තවත් හොඳ කොල්ලෙක් උගෙ මොපෙඩ් එකේ දාගෙන ගිහින් මාව කුරුවිට හන්දියෙන් බැස්සුවා.

ඵලදායි තැටමිල්ලත් හරි යන්නෙ නෑ වගේ. මම ආයෙමත් ඉරියව්ව වෙනස් කළේ ඒකෙන්වත් සෙතක් වෙයිද බලන්න.. ම්හු... ඒක හරියන්නෙත් නෑ... උණ්ඩුකපුච්චෙ හරියෙ ඉඳන් මහාන්ත්‍රය දිගේ එහෙ මෙහෙ හතර අතට අඬු විහිදුන ලොකු යකඩ බැකෝ එකක් හිමින් හිමින් බඩවැල් බිත්ති හාරගෙන එනවා. මට දාඩිය දානවා. අම්ම උණු වතුර බෝතලෙන් කෝප්පෙට වතුර වක් කරනවා. ඇඟ ඇතුල ත්‍රීඩී බලන්න පුළුවන් සයිට් එකකින් දැකපු අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතියෙ රූපරාමු හතර පහක් වේගෙන් හිතේ මැවෙනවා. අන්තිමේ රූපයි සිතුවිලියි නැති වෙලා වේදනාව ඉතිරි වෙනවා. කොමඩ් එක උඩ මම ඇඹරෙනවා.

අන්තර්ජාල වැසියෙක් වුණ මුල්ම කාලෙක ලියපු ජරාම ජරා කවිය මගේ නිර්මාණයක්මත් නෙවෙයි. ඒක රවි මහත්තයගෙයි මගෙයි සම නිර්මාණයක්. අයියෝ මිස්ටර් රවි... මට මගඇරුණු සිරා පොරවල් අතරෙ තවත් එකෙක්. ටොයිලට් යන එක සිල්ගන්න එකට වඩා ප්‍රැක්ටිකල් බව කියනව ඇහුණ මුල්ම මනුස්සයා. ඒ වෙද්දි වාක්‍යයක් නොවී මගේ හිතේ තිබුණ ඒ අදහස මගේ පිස්සු අදහසක් නොවෙන බව කියපු මනුස්සයා.

වේදනාව ගුද මාර්ගයේ කෙළවරට ඇවිත් නතර වෙලා තියෙන්නෙ මොන කෙහෙල්මලකටද?.. සාමාන්‍යයෙන් අන්තිම හරියෙදි සාම්ප්‍රදායික තැටමිල්ල හොඳට වැඩකරනව වුණාට මේ පාර ඒකටත් උත්තර නොදී ඉන්න තරං හයිය තියෙන්නෙ මොන විධියෙ එකකටද? මම කාපු මොකක්ද මේ පිස්සු කෙළල තියෙන්නෙ... බැකෝ එකේ දිග අඬුව මොකක හරි පැටලිලාද? මොන මල මගුලක්ද... මට තේරෙනව මේකෙන් පස්සෙ බඩු ඉවරයි කියල. ආයෙ කොහෙවත් වේදනාවක් දැනෙන්නෙ නෑ. ඉතිං මේකෙන් පස්සෙ සම්පූර්ණයෙන් මං නිදහස් කියල මං දන්නව. මට ස්වර්ගස්ථ වෙන්න පුළුවන් කියල මං දන්නව. මට මොහොතකට නිර්වාණයට සමවදින්න පුළුවන් කියල මං දන්නව. මං ඉන්නෙ ඒකෙ දොර ගාව කියලත් මට තේරෙනව. අයියෝ..හ්... ඉක්මනට එළියට පලයංකො බෙට්ට!

9 comments:

  1. පුල් සීරියස් කියවගෙන ආවේ මම කතාව මුළ ඉඳලා.. අන්තිමට කියලා තියෙන එකට තාමත් හිනා... :D //ඉක්මනට එළියට පලයංකො බෙට්ට!\\

    ReplyDelete
    Replies
    1. ඒක තමා සීරියස්ම කෑල්ල ;-)

      Delete
  2. මට නම් බෙට්ට එලියට පනින්න දගලන්නේ ගේ ලං වෙද්දි.. කොමඩ් කටට ලං වෙද්දි පැනල ඉවරයි..

    ReplyDelete
    Replies
    1. තටමන්න ඕනම නෑනෙ වෙලාවකට ;-)

      Delete
  3. මට තේරෙනව මේකෙන් පස්සෙ බඩු ඉවරයි කියල. ආයෙ කොහෙවත් වේදනාවක් දැනෙන්නෙ නෑ. ඉතිං මේකෙන් පස්සෙ සම්පූර්ණයෙන් මං නිදහස් කියල මං දන්නව. මට ස්වර්ගස්ථ වෙන්න පුළුවන් කියල මං දන්නව. මට මොහොතකට නිර්වාණයට සමවදින්න පුළුවන් කියල මං දන්නව. මං ඉන්නෙ ඒකෙ දොර ගාව කියලත් මට තේරෙනව......
    මේක කියෙව්ව පමණින්ම මටත් තේරෙනව.

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති ;-)

      Delete
  4. ඔය වැඩේ මගේ ජීවිතේ ඉතාම වැදගත් කර්තව්‍යයක්. බොග, මළපහ, ශරීර කෘත්‍යය, සිරුරු කිස......." ඔයාට ඉතිං ඕකට වැඩිය දෙයක් තියනවය " අපෙ උන්දැ කියන්නෙ විහිලුවටමත් නෙවෙයි.ඉතාම අවම වශයෙන් අඩ හෝරා අඩක් නම් මම ගන්නවමයි ඔය වැඩේට....ඔය හින්දම ටොයිලට් දෙකක් හදා ගත්ත අපි දෙන්න. රෑ බඩ පිරෙන්ඩ ගල් ගහල උදේ රුන්නහම එන සුගන්දය මටවත් ඉවසන්ට බැරිකොට ඒ මනුස්සය කොහොම ඉවසන්ටද?..අන්න ඒකත් ඔය වෙනම ටොයිලට් කේස් එකට තුඩුදුන්න ප්‍රබල විදිහට.

    ReplyDelete
    Replies
    1. ගල් ගහන අපේ මාමණ්ඩිට යස අගේට තියෙන ටොයිලට් එක මදි වෙලා තව එකක් හදන්න ඕන වුණ හේතුව මේකයි එහෙනං... :-D

      Delete
    2. //ගල් ගහල උදේ රුන්නහම එන සුගන්දය මටවත් ඉවසන්ට බැරිකොට //

      මෙහෙත් ඒමයි අනේ..

      Delete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!